මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Mar 30, 2012

පඩු පැහැ සමනලයා

දහදියෙන් නැහැවුනු කම්මුල් තෙත මාත්තු කල ලේන්සුව කනප්පුව මත  තැබූ මා ප්‍රධාන දොරටුව විවර කර නිවස ඉදිරිපස පඩියේ වාඩි උනෙමි.  වේලාව හවස හතට කිට්ටු වන්නට ඇත. යාබද බොධි මළුව දෙසින් ඇසෙන ගාථා නාදය තවමත් බෝධි පුජාව අවසන් නොමැති වබට සාක්කී කීවේය. ගැඹුරු නින්දකින් පසු එක්වර අවදිව සිටි මා උන්නේ සිතිවිලි වලින් මෙන්ම කායිකවද මලානිකවය.






මේසය මත වු සමන් පිච්ච වට්ටිය බුදු කුටියේ තබා පහන් දැල්වු මම ගාථා මුමුනන්නට උත්සහ ගතිමි.. නැත.. කිසිදු ගාථාවක් මා හට මතක නැත. අසරණ සිතිවිලි විසිර යද්දී පිරිත් පැන් පොදකින් මුවත් හිසත් තෙතමාත්තු කරගත් මා නැවත සිමෙන්ති පඩිය මත වාඩි උනෙමි. 


කඳු මුදුනේ සිට බලනා කල නිම්නය පෙනෙන්නේ ඉතාමත්ම සුන්දර  ලෙසකටයි. කුඩා කල පටන් මේලෙස පරිසරය විඳින්නට හුරුව සිටි මා අවසන් වරට එසේ කල දිනය මට මතක නැත.. එහෙත්. අද මා යලිත් හිස් බැල්මෙන් කඳු බෑවුම දෙස බලා හිඳමි..


බෝ මළුවේ ගාථා නාදය නැවතිනි. නිවැසියන් විගසින් එන බවට එය සලකුණකි. මම හිස් බැල්මකින් අහසට නෙත් යොමා ගතිමි..
වැහි වලාකුළුවලිනි බරිත අහසේ තරුවක ඡායාවකදු නැත.. ඉඳ හිට ඇදෙන විදුලි රේඛාවක් හැරෙන්නට මුළු අහසම අන්ධකාරයෙන් වෙලී ඇත..


මා සිතද එවැනිම යයි මට සිතුනි.  ඉඳ හිට ඔබේ මතකය පැමිණියහොත් මිසක මගේ සිත තනිකරම අඳුරු අහසකි.


හෙමි හෙමින් නෙත් බැල්ම පෘතුවිය දෙසය  යොමද්දි වැරදීමකින් නෙත්සර වැදුනේ සීලිමේ දැල්වෙමින් තිබුණු විදුලි පහන දෙසටය. නොයෙක් ආකාරයේ කෘමි සතුන් විදුලි එලියට පොරකමින් ඒ වටා රැස්ව සිටී. පඩු පැහැ පියාපත් සහිත සමනලයෙක් විදුලි එළිය වෙනුවෙන් දරන වෙහෙස දෙස මා බොහෝ වේලාවක් බලාසිටියෙමි. 


තරුවක් ලෙසින් බබලන ඔබ ලබන්නට මමද ඒසා ප්‍රයත්නයක් දැරුවා මට මතකය. එහෙත් නොසැලෙන විදුලි එලිය සේම ඔබද නිහිඬවම සිටි අරුමය සිත රිදවීය.


ඔබට පෙනෙන්නට කියා  මම දඟකාරකම් කලෙමි. අනෙකුන් හා වාද කලෙමි.. ඒ ඔබේ අවධානය ගන්නට මිස ඒවා මට පුරුදු නිසාම නොවේ. ඒහෙත් ඒවා  ඔබට කිසිදු විශේෂයක් නොවන බව දැනී මම ඔහේ බලා සිටියෙමි.. ඔබ විදුලි එලිය සේම නිහඬව සිටියේය. දැන් මා හති වැටී සිටිමි.  මා අහිමි කරගත් ඔබ පසුතැවෙනවා දකින්නට සිටි මා,  මාවම රිදවාගෙන තනිවම විඳවමි. නිමාවක් නොපෙනෙන කායික රෝගත් අස්වැසිල්ලක් නොදෙන මානසික පීඩනයත් විසින් මා  පරාජිතයෙකු බවට පත්කොට ඇත. එහෙත්  තවමත් ඔබ  කොයිදැයි සොයන්නට මම වෙහෙසෙමි..


සිතිවිලි වල වේදනාව දරාගන්නට මොහොතකට පියා ගත් විවිර කරද්දී හති වැටුණු  පඩු පැහැ  සමනල් දේහය සිමෙන්ති පොළව මත අඟුරු වී තිබුනි. 



4 comments:

  1. නගේ මේ ඉන්නෙ සමනලයෙක් නෙමේ . . සලබයෙක්

    ReplyDelete
  2. මම මේ තාම කල්පනා කරන්නේ සුදු අක්කට මේක හදිස්සියෙම ලියන්න හිතුනේ මොකද කියලා..

    ReplyDelete
  3. හරි ලස්සන සමනලයෙක් නේ...

    ReplyDelete
  4. හැබෑට මේ සලබයෙක්නෙ.

    ReplyDelete