මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Mar 6, 2012

බට්ටියි අයියලා දෙන්නායි


කාර්‍යබහුල දවසක්.. ඒ වගේම හිත සැනසුන,  හිත රිදුන දවසක්.. හිත සැනසුනේ පොඩි උන්ගේ දඟකාරකම්  නිසා.. හිත රිදුනේ අද ක්ලාස් එකේ දවසේ බයිට් එක මම වීම නිසා.. හොම් වර්ක් නොකර අන්තිම මොහෝතේ ලියපු අකුරු ඇක්සිඩන්ට් වෙලා කියලා සර් පටන් ගත්ත නෝන්ඩි කිරිල්ල ඉවර වුනේ ඊලග සතියට ගෙදර වැඩ දේදදී කවීට අන්තිම මොහෝතේ  ඇක්සිඩන්ට් වෙච්චි අකුරු වලින් ලියන්න ප්‍රශ්ණයක් දෙන්න ඔනි කියලා...

කොයින්දෝ ආව සැහැල්ලුවක් හිතට දැනුනේ සනීපෙට.. හැමදාම පන්තියේ හොඳම ළමයා නොවී දවසක් හරි නරකම ළමයා වීමත් එක අතකට හොඳයි... ඒත් අවිවේකි බව  ශරීර ශක්තිය හීන කරලා,  ගෙදරට ගොඩ උනේ මහන්සිය පිටින්ම වෙලාට පහයි හතලිස් පහයි.. ඇදුම් මාරු කර ගන්න  හිතාන ඇඳ උඩින් ඉඳගත්තා විතරයි මතක,, අත්තාම්මා ඇවිත් සුදූ නැගිටින්න නැගිටින්න.. මෙන්න ඔයා බලන්න යාළුවෝ ඇවිත් කියද්දී.. මම උඩ විසි වෙලා ඇහැරුනේ.. ඇස් ඇරලා විනාඩියක් දෙකක් කල්පනා කරද්දියි මතක් උනේ මම පන්ති ඇරිලා ආව ගමන් තාම උදේට ඉස්කෝලේට ඇඳපු සාරිය පිටින් නේද කියලා,

නිදි මතේම සාලෙට යද්දි සැටිය  උඩ කෙල්ලෙකුයි කොල්ලෙකුයි.. ගිය අවුරුද්දට එපිට අවුරුද්දේ ඔලෙවල් කරපු මේ කොල්ලා බැඳලාවත්ද... ක්ෂණිකව හිතට ආවේ එමෙ දෙයක්.. ඒත් කෙල්ල දිහා හොඳින් බලද්දියි මතක් උනේ මීට අවුරුදු ගානකට කලින් කාටත් නොකියා ගමෙන් ගිය පොඩි කෙල්ල කියලා...

මම දන්නවා ඔයාලාට කිසි දෙයක් පැහැදිලි නැහැ කියලා... ඉන්න මම පැහැදිලි කරන්නම්..

මට ඉස්සර පෙරපාසැල් යන්න නැගිටින්නේ හතහමාරත් පහුවෙලා..  මට මතකයි මගේ රෝසපාට බේබි කප් එකට අපේ පුංචි හදලා තියෙන කිරි එක.. එක හුස්මට ඒක බීලා පොරපාසලට දුවන්නේ අඬ අඬා...


දවල්වෙනකල් ඉගෙන ගෙන  දොළහා කිට්ටුව පුංචි මාව එක්කරන් යන්න එන්නේ තවත් කෙනෙක් එක්ක.. ඒ තමයි සමන්ති, අපේ අල්ලපු වත්තේ ඉන්න දුප්පත් ගෑණු ළමයා.. පුංචිනම් කියන්නේ එයා මට වැඩිමහල් කියලා.. ඒත් මල්ලිටයි මටයි දෙන්නාටම සමන්ති මල්ලී කෙනෙක්.. අපේ සෙල්ලම් වල අතිරේක චරිත සේරම කරන්න උනේ සමන්තිට.. මට මොන්ටිසෝරියට ගේන්න කියන දේවල් ලෑස්ති  කලේ සමන්ති..  හවසට අපේ ගෙදර ඇවිත් වත්ත පුරා ඇවිදලා ඉඟුරු මල්.. රෑකුමාරි  මල් වල සුදුපාට ගෙඩි, අන්දර ගෙඩි , අන්නදර මල්... ඔය වගේ දේවල් හොයන්න වත්ත පුරා මා එක්ක යන්න ආවේ සමන්ති..

හොරා පොලිස් සෙල්ලම කරද්දි හැමදාම හොරා උනෙත් සමන්ති... අල්ලන සෙල්ලම කරද්දි අපිව අල්ලන්න උනෙත් එයාටමයි.. ඒ දේවල් වලින් එයා සතුටු උනා.. මම මොන්ටිසොරියේ ඉගෙන ගන්න දේවල් හවසට සමන්ති මගෙන් අහ ගත්තා.. ඒත් වැරදිලාවත් සමන්ති අපේ ගෙදර ඉන්න බව එයාගේ අම්මාට ආරංචි උනොත්  අපේ පුංචිට හොඳ වචන වලින් බැනගෙන සමන්තිගේ අම්මා එනවා.. සමන්තිගේ අම්මා කැමති උනේ නැහැ සමන්ති ඉගෙන ගන්නවාට. ඒ නිසා සමන්තිට ඉස්කෝලේ යන්න බැරි උනා.. ඒකයි එයා හවසට ආවේ මට උදව් කරන්න..

සමන්තිගේ අම්මා විමලාවතී.  හොඳින් ඉගෙන ගෙන ගුරුපත්වීමක් ලබන්න තරම් වාසනාවන්ත වුනු කෙනක්.. ඒත් දුප්පත් කම නිසාම එයාලාට ඒ කාලේ ජීවත් වෙන්න වෙලා තියෙන්නේ ගමේ  ලොකු මිනිස්සුන්ගේ යටතේ.. ඒ නිසාම සමන්තිගේ අම්මාට ඉස්කෝලේ හාමිනේ කෙනක් වෙන්න බැරි වෙලා.. එයාගේ පත්වීම ගියේ ගමේම ලොකු පවුලක විමලරත්න කෙනෙක්ට. අවසානයේ සිද්දවුනේ සමන්තිගේ අම්මාට පිස්සු හැඳුන එක. සමන්තිගේ අම්මා හිටියේ එයාගේ අයියා ගාව.. පිස්සු නංගිගෙන්  නිදහස් වෙන්න ගමේම හිටිය අමන මෝඩම මනුස්සයෙක්ට කසාද බන්දලා දීලා ඒ අය ගමෙන් ගියා..

සමන්තිට එයාට වැඩිමහල් අයියා කෙනක් හිටියා  තව මල්ලි කෙනෙකුත් හිටියා ඒ වෙද්දී  එයාගේ අම්මා තවත් ළමයෙක් ලැබෙන්න හිටියේ..  සමන්ති මගෙන් ඉල්ලගෙන යන ගිය පොත් පෑන් පැන්සල් සේරම අම්මාට පිස්සුව වැඩි අනාම අපේ කඩුල්ල ලඟට ගෙනත් දාලා යනවා.. සමන්ති ආයිත් ඇවිත් ඒවා අරන් ගිහින් හංගලා තියා ගන්නවා..

අම්මාගේ උමතු බවයි තාත්තාගේ මෝඩ කමයි හේතු වෙන්න ඇති, සමන්තිලා පවුල එන්න එන්න ලොකු උනා. අයියා, සමන්ති, ලොකු මල්ලී, ලොකු නංගි, මල්ලී සහ නංගි විදියට පවුලේ  ළමයි හය දෙනෙක් වෙද්දි. පවුල බර වැඩි උනා.. කෑම බෑම අතිනුත් ගොඩක් අමාරු උනා.. සමහර දාට එයාලා මිරිස් වතුරෙන් දිය කරලා බත් කාපු දවස් තිබුනා.. අම්මා පිස්සුවෙන් බනින නිසා එයාලා අපේ ගෙදරින් උනත් කෑම කන්න බය උනා. ඔයා කාලේ  සමන්තිගේ ලොකු අම්මා කෙනෙක් ඇවිත්  අයියාවයි සමන්තිවයි ලොකු නංගිවයි ගමෙන් අරන් ගියා.. ගමේ ඉතිරි උනේ සමන්තිගේ මල්ලීලා දෙන්නායි නංගියි විතරයි.

එයාලා ඉගෙන ගත්තේ පොලොන්නරුවේ ඉස්කොලෙක.. අයියා ඉගෙන ගෙන කොළඹ ආවා.. මම ඒ ලෙවල් කරන කාලේ දවසක සමන්ති ආවා අපේ ගෙදර අහම්බෙන්.. එයා වෙනස් වෙලා.. අඳුන ගන්න බැහැ..  ඒ එයා කසාද බැන්දා කියලා අපේ ගදෙර අයිට කියලා යන්න.. ඔලෙවල් වලින් පස්සේ එයා විවාහ වෙලා. ගමට ආව ගමන් එයා දුවගෙන ආවේ මාව බලන්න. එදත් මම සමන්ති වෙනුවෙන් දුක් උනා.. මම දන්නවා එයා මට වඩා ඉගෙන ගන්න් දක්ෂයි...

 සමන්තිගේ මහත්තයායි සමන්තියි ගමේ ඉන්න නංගිටයි මල්ලිලාටයි ඉගෙනගන්න උදව් කලා.. ලොකු මල්ලි ඔලෙවල් හොඳින් පාස් උනා.. ඔය අතරේ සමන්ති කාටත් නොකියාම එයාලාගේ නංගිව ගමෙන් අරන් ගිහින් තිබුනා.. ඒකට හේතුව අම්මාගේ  උමතු ගතිය වැඩිවීම.. එ වගේ කෙනෙක් එක්ක ගෑණු ළමයෙක් තියන්න අමාරුයි.. සමන්තිගේ නංගිට අපි කියන්නේ බට්ටි කියලා.. හරිම හුරු බුහුටි කෙල්ල.. ඒ පවුලේ ඉන්න ලස්සනම ළමයා. එයාව ගමෙන් ගෙනියන්න ඒකත් හේතුවක්.. අම්මාට පිස්සුනම්, තාත්තා මොඩයෙක්නම් දුවකට හවුහරණක් නෑ කියන දේ සමන්ති තේරුම් ගන්න ඇති.

අපේ අම්මා බට්ටිට හරි ආදරෙයි.. සීතල දවසට රෑට ගිනි තපින්න පොල්කටු ගෙනියන්න හැමදාම බට්ටි එනවා.. එයාලා ඉන්නේ පොඩි කාමර දෙකක බිමට ගොමගාලා  බිත්ති මැටි ගහලා වහල ටකරන් වහලා.. ඒක දැක්කහම ඇත්තටම දුකයි.. අපේ දිහා ඒ වගේ ගෙදරක රෑ ගෙවන එක ලේසි දෙයක් නෙවෙයි..

මට අඳින්න බැරි ඇඳුම් සේරම අම්මා දෙන්නේ බට්ටීට, එයාට ඒවා  ලොකුයි ඒත් එයා ඒවා ඇඳගෙන ඇවිත් අම්මාට පෙන්වනවා.. ඒක අම්මාට ලොකු සතුටක්..

බට්ටි ගමෙන් ගියා කියලා අපේ අම්මා උන්නේ හරිම දුකෙන්, මටත් පාළුවක් දැනුනා තමයි ඒත් කාලයත් එක්ක බට්ටි අපිට මතකයක් විතරයි.

බට්ටිගේ අයියලා දෙන්නාගේන්  ගමේ හිටිය ලොකු අයියා ඒ ලෙවල් විභාගෙත් හොඳට පාස් උනා. පොඩි අයියා ඔලෙවල් වලින් පස්සේ මැලිබන් එකේ වැඩට ගියා.. මම හිතන්නේ රත්මලානේ වෙන්න ඔනි. ලොකු මල්ලී සුසන්ත හොඳින් ඉගෙන ගත්තත් එයාට කරන්න උනේ ගමේ කුලී වැඩ.. ඒ ළමයාට රස්සාවක් හොයන්න මම නොගත් උත්සහයක් නෑ.. ඒත් ඒ ළමයා කිව්වේ අක්කා මට කොන්ක්‍රීට් අනලා ගෙදර වියදම හෙයන්න පුළුවන් හොඳ රස්සාවක් කරනවාට වඩා කියලා.. කොල්ලා ඒ වැඩ කරන ගමන්ම  බාහිර උපාධියත් පටන් ගත්තා.

පොඩි එක්කෙනා නිතර ගමට ආවාම අපේ ගෙදරට අනිවාර්‍යෙයන් ඇවිත් අම්මා හදන තේ එක්ක බීලා ගියා. ඉඳලා හිටලා ඒ දෙන්නාගෙන් එක්කෙනක් සමන්තිලා දිහා යනවානම් අපේ අම්මාට කියලා මොනවා හරි කැවිල්ලක් හදාගෙන ගියා.

ඉතින් අද මාව බලන්න ඇවිත් හිටියේ බට්ටියි බට්ටිගේ පොඩි අයියායි.

බට්ටි මේ සැරේ ඔලෙවල් ලියලා.. දැන් කෙල්ල හිටියාට වඩා ලස්සනයි, බට්ටිව සමන්තිට කරදරයක් කරන්න බැහැ කියලා පොඩි කොල්ලා රස්සාවෙන් අයින් වෙලා ගමට ඇවිත්. කොළඹ වැඩ කරන කාලේ ජංගම දුරකතන අළුත්වැඩියා කරන්න ඉගෙන ගෙන , සල්ලි පුළුවන් තරම් ඉතිරි කරගෙන, දැන් ගමේ පොඩියට කමියුනිකේෂන් එකක් පටන් ගන්න යන්නේ . දෙන්නා ගමට ඇවිත් තියෙන්නේ ඊයේ හවස.. මම බස් එකෙන් බහැලා එනවා දැකලා තමයි ඇවිත් තියෙන්නේ,

ඇත්තටම මට දැනුනේ පුදුම සතුටක් හැමදෙටම වඩා  පොඩි එකාගේ හිතේ හයිය..නංගියෙක් වෙනුවෙන් පොඩි වයසක ඉන්න අයියා කෙනෙක්ට උනත් කොයිතරම් ලොකු වගකීමක් දැනෙනවා .

දෙන්නා ගොඩක් දේවල් කතා කලා.. අළුත් බිස්නස් එක ගැන අම්මාව දොස්තර කෙන්ට පෙන්වන එක ගැන, ඒ අතර වැදගත්ම දේ උනේ. නංගිව පරෙස්සම් කරන එක ගැන...

අයියලා දෙන්නා නංගිට පන වගේ ආදරෙයි.. බට්ටි මේ ලොකේ ඉන්න වැසනාවන්තම නංගියෙක්.. ඒ සහෝදර කම දිහා බලලා හිත හදාගෙන මම මගේ ගැන හිතලා ආයි පුංචියට හිත රිදෝගත්තා.. පවුලක ලොකු ළමයා වෙලා.. වගකීම් ගොඩක් එක්ක හිර වෙනවට වඩා නංගියෙක් උනානම් අයියා කෙනක් ඉන්න.. අද මාත් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙනක් නේද කියලා..
















8 comments:

  1. හ්ම්ම්ම්ම්ම්ම් මටත් එහෙම හිතිල තියෙනව. ඒත් නෑ නෙ :(

    ReplyDelete
  2. සහෝදරකම් හරිම අපූරුයි.. දවසින් දවස බැදීම ශක්තිමත් වෙනවා..

    ReplyDelete
  3. ඒ උනාට අක්කලා කියන්නේ පවුලක භාරකාරත්වය අයිති කෙනා,මම නම් අයියෙක්,ඒත් අපේ අම්මගේ පවුලේ අම්මගේ අම්මා නැති උනාට පස්සේ ඒ අම්මා තැනට ආවේ අම්මගේ අක්කා,අනිත් සහෝදර සහෝදරියෝ සේරම එයාට ගොඩක් ගරු කරනවා... හංසිට හම්බුනු ස්ථානේ ගැන සතුටු වෙන්න අනේ...

    ReplyDelete
  4. එක හුස්මට කියෙව්වා. බට්ටිට හැමදේම හරියන්ට කියලා ප්‍රාර්ථනා කරමු.

    සමහරුන්ට සමහර දේවල් ලැබෙනකොට, සමහර දේවල් ලැබෙන්නේ නෑ. ඒ හන්දා තියෙන දේවලින් සතුටු වෙන්ට බලමු.

    ReplyDelete
  5. නියමයි සුදු හංසි... මහ ලොකු දෙයක් කියාගන්න් බෑ.. ඒත් හොඳටම දැනුනා...

    ReplyDelete
  6. ම්ම්ම්... එක එක්කෙනාට එක එක දේවල් දැනෙන විදිය වෙනස්නේ. අයියා කෙනෙක් හිටියා නම් අපරාදේ කියලා හිතෙන වෙලාවක් එහෙම ආවොත්? ඊට වඩා හොඳයි ලද දෙයින් සතුටු වෙන එක කියලයි මම හිතන්නේ!

    ReplyDelete
  7. හුගක් දැනුනා ලිපිය. ඇස් දෙකට කදුළුත් ආවා. ඒත් ඔයා අන්තිමට කියපු දේ හැමෝටම ලැබෙන්නෑ. කොටින්ම තවත් බට්ටියෙක් වෙලා බඩපිස්සුයෙක් වෙච්ච මටනම් ඒතරම් රැකවරණයක් ආදරයක් හොයා බැලීමක් ලැබිලා නෑ. එක ලැබීම. ඒ බට්ටි හුගාක් වාසනාවන්තයි.

    ReplyDelete