Apr 4, 2012

ආදරයේ පැහැය | Color of the Love

සමහර  හැන්දෑවරුවල මහ හයියෙන් වහිනවා. දෙකට තුනට පටන් ගන්න අනෝරා වැස්ස  හවස හතර පහ වෙද්දි නැවතිනවා. මම ආසම අන්න ඒ වෙලාවට. වැහි වෙලාවේ  ඇඳට ගුලි වෙලා නිදාගෙන වැස්ස පායද්දි මිදුලේ තෙත තණකොල ගොල්ලේ ඇවිදින්න මම ගොඩාක් ආසයි.

ඒ මහා වැස්සට පස්සේ පරිසරය කොයිතරම්නම් නිහඬද. ඒ නිහඬ බව මම විදින්නේ හදවතේ ගැඹුරුම තැනකින්. වැස්ට හැංගිලා හිටිය කුරුළු රංචු  තම තමන්ගේ  රාත්‍රී නවාතැන් වලට යන්නේ අහස පුරාවට මිහිරි කන්කරච්චලයක් ඉතිරි කරගෙන. ඒත් ඒ  ගෝෂාව නිහඬ  බවට බාධාවක් නෙවෙයි.

මිදුලේ  ලස්සනට පිපිලා තිබුණු ඩේලියා මල් මැලවිලා සිනිදු පෙති වැහිදියට දියවෙලා. පිච්ච මල් වල සුවඳ සේදිලා ගිහින්. ඒත් මම වැස්සට ආදරෙයි. මැලවුනු මල් වෙනුවට අළුත් මල් ආයතේ පිපෙයි.. ඒත් වැස්ස නිසානේ..

වැහි   හැන්දෑවේ නිහඬ සුන්දරත්වය වැඩි කරන්න ඈත නැගෙන හිර අහසේ  දේදුන්නක් පායලා. ඉස්සර පුංචි කාලේ යාළුවෝ කතා වෙන්නේ දේදුන්න දිහාට ඇගිල්ල දික් කලාම දේදුන්න අතුරු දහන් වෙනවා කියලා. ඒ නිසා පුංචි කාලේ කවදාවත් දේදුන්නට ඇඟිල්ල දික් කලේ නැහැ.. ඒත් ටික ටික වයසින් වැඩෙනකොට ඒක ඇත්තක්ද කියලා බලන්න ඇඟිල්ල දික් කරලා බලනවා. ඒක මහා බොරු කතාවක්. දේදුන්න කියන්නේ  පරිසරයේ විද්‍යාත්මක සංසිද්දියක් විතරයි.

ඒ කොහොම උනත් දේදුන්නේ පාටකොයි තරම් ලස්සනද. පුංචි  කාලේදි ඉස්කෝලේ වැඩට පාට පෙට්ටියක් ගේන්න කියනකොට මම කියන දෙයක් තමයි. දේදුන්නේ පාට සේරම තියෙන පෙට්ටියක් ගේන්න කියලා. මගේ බොළඳ කතාවට අප්පච්චි හිනා වෙනවා. එදා මට එයා කිව්වේ නැහැ. දේදුන්නේ පාටින් පාට පෙට්ටි විකුනන්න නැහැ කියලා. වයසින් වැඩෙද්දි මම ඒක තේරුම් ගත්තා.

අපි හැමෝම එහෙමයි නේද.. පුංචි කාලේ අපි මවාගත්ත අපේම ලෝකෙක පුංචි පුංචි දේවල් එක්ක ජීවත් වෙලා වයසත් එක්ක අපිම පුංචි කලේ කරපු දේවල් වලට හිනා වෙනවා නේද...

මටත් එහෙම දෙයක් උනා.

ඉස්සර දේදුන්නේ පාට තියෙන පාට පෙට්ටිය  හෙව්වා වගේම. පාසැල් වයසේ මගේම  යෙහෙලියන් පෙම්වතියන් වෙනකොට මාත් හිතේ රූපයක් මවා ගත්තා කවදා හරි මෙන්න මේ වගේ කෙනෙක්ට මම ආදරේ කරනවා. මම මෙන්න මේ  තරම් ආදරේ කරනවා කියලා.  එක වයසකදි පන්තියේ පෙම්වතෙක් නැති  එකම කෙල්ල මම වෙද්දි  මනෝ චරිතයක් මවා ගත්තා. කතාවක් ගොතා ගත්තා. ඒ මටත් කෙනෙක් ඉන්නවා කියලා යාළුවන් ඉස්සරහා කියන්න.

නම නිසල් සූරිය බණ්ඩාර. මුණ ගැහෙන්නේ නුවර එළියේ ටියුෂන් ක්ලාස් එකේදී. ඒක හරියට මල් පත්තරේට ආදර කතාවක් වගේ. මාස ගානක් ඒ විහිලුව කරලා යාළුළුන්ව අන්දන්න පුළුවන් උනා. මමම ලියන කවි,  ලියුම් මගේ හොඳට යාළුවා දිල්ට කියලා ආයි ලස්සන කොල වල ලියවගෙන දිලුයි මායි දෙන්නා පන්තියේ අනිත් කෙල්ලන්ව හොඳට ඇන්දුවා.

මට තාමත් මතකයි අපි ඒ  ලියුම් වල ලියපුවා.

බබා ඔයාට  කොහාමද.. අද ඉස්කෝලෙ යන්න නැගිට්ටේ කියටද.. උදේට කෑවේ මොනවද.. අද මොනවද හොම් වර්ක් දුන්නේ.  එදා ක්ලාස් එකට ඔයා දැන්න ගවුමට මගේ පැටියා හරිම ලස්සනයි.. බ්ලා බ්ලා බ්ලා.. අන්න ඔය වගේ දේවල්...

ඉතින් ඔය ලියුම් කියවලා.. නිසල් කියන මනෝ චරිකට ඇත්තම චරිතයක් විදියට මවන්න අපිට පුළුවන් උනා.  පන්තියේ කෙල්ලෝ පිස්සු වැටිලා හිටියේ නිසල් කවීට ඊලඟට එවන ලියුම කියවන්න. මොකද ඒ දවස් වල වැඩි ඉලෙක්ට්‍රොණික ආදර මෙවලම් තිබුනේ නැහැනේ. ජංගමදුරකතන  ඊමේල් වගේ දේවල්.

කාලයක් යද්දි මටත් එපා උනා ලියන්න. දිල්ටත් එපා උනා. අපි නිසල්ගේ කතාව එහෙමම අමතක  වෙන්න ඇරියා. ඒත් අදටත් මම දන්නවා  නදීශා මං ගැන පුදුම ඉරිසියාවකින් හිටියේ. අර චන්දන ලියනාරච්චිගේ ප්‍රේමය හැමදාමත් නිසලයි සින්දුවටත් එයා වෛර කලා මගේ නිසල් නිසා… :D

ඒ ඉස්කෝලේ යන වයසේ  පුංචි කෙල්ලන්ගේ ආදරේ. එයාලා ආදරේ කියලා බලාපොරොත්තු වෙන්නේ ඔය වගේ දේවල්. (ඉස්සර අපි ඉස්කෝලේ යන කාලේ) දැන් තත්වය ඊට ගොඩක් වෙනස්. අහන්න දකින්න  ලැබෙන දේවල් එක්ක පාසල් යන යුවතියන් සමහර විවාහක ගැහැණුන්ටත් වඩා පරිනතයි.

ඒත් මට කියන්න ඔනි වුනේ ගොඩක්ම බොළඳ වසයක කෙල්ලෙක් ආදරේ කියලා බලා පොරාත්තු වෙන්නේ මොකක්ද කියන එක  කියන්න.

මුළු දවසම විනාඩියෙන්  විනාඩියට කතා කර කර ඉන්න එක. කරන කියන හැම දෙයක්ම කෙටිපණිවිඩයකින් හරි දැනුම් දෙක එක. බොළද ආදරේ කාලසටහනේ අනිවාර්‍යෙයන් තියෙන දෙයක්.  මාත් මේ ලඟක් වෙනකල්ම අන්න ඒ වගේ ආදරයක් ගොය ගොය අයාලේ ගිය චරිතයක් බව මගේ සිහින තවලම එක්ක ඉන්න ඔයාලා නොදන්න දෙයක් නෙවෙයිනේ...

ඒත් ටිකක් නැවතිල්ලේ කල්පනා කරලා බැලුවහම ආදරේ කියන්නේ  මොනම විදියකින්වත් තේර්මක් හොයන්න බැරි අකුරු හතරේ වචනයකත් විතරක්ම නේද කියලා හිතෙනවා. ආදරේ හරියට වතුර වගේ

මුලින් කිසිම පාටක් නැහැ.  ඒ ආදරේ පාට කරන්න පුළුවන් ආදරේ කියන බැදි  මෙදි එක්වෙන   දෙදෙනට. ගොඩාක්ම බොළඳ ආදරයක්නම් අපිට පුළුවන් ඒ ආදරේ රෝසපාටින් පාට කරන්න.  ඒත් ඒක මොන්ටිසෝරියක ළමයෙක් ටීචර්ට දෙන්න ඇඳපු  චිත්‍රයක් වගේ වෙයි නේද..

ආදරේ දි ගොඩක් බොළඳ දේවල් බලා පොරොත්තු වෙන කෙල්ලෝ කොල්ලෝ නිකරුනේ තමන්ගේ අනෙකට වද දෙනවා කියලයි මම හිතන්නේ ඔයා මෙහෙ ඉන්න.. මෙහෙ කරන්න.. කන්න කලින් මට sms කරන්න.. නිදා ගන්න කලින් මට සුබ පතන්න, උදේට නැගිටිද්දි මට ඔනි ඔයාගේ කට හඬ අහන්න.. තවත් ගොඩක් නීති රීති...

ඒත් ඒ රෝසපාට ආදරේ ටික දවසක් යද්දි දෙන්නගේම හිත්වලින් ඈතට ගිහින් තියේවි.. හැමදචාම එකට දේ එකම විදියට.. ජීවිතේට විවිධත්වයක් ඔනි නේද...

එහෙනම් අපි පාට  කරමුද  රතු පාටින්..

ඒත්.. තද රතු කියන්නේ ලේ වල පාට. ආදරේ කියන්නේ උතුරණ ලේ කැටිති වලට  ලෝබකම් කරන එක  නෙවෙයි.. හරියට වැම්පයර් කෙනෙක් වගේ.. සමහර විට තද  රතුපාටින් පාට කලොත් ඒත ගොඩාරියක් සරාගි වෙන්න පුළුවන්. අනෙක් කෙනාගේ  ශරීර අවයව වලට ලොබ වෙන එක හිත්වල ගිනි ගන්න රගික හැඟිම් වෙනුවෙන් ආදරේදි  බොළඳ වෙන එක. තමන්ගේ  හැඟිම් සන්සිඳවා ගැනීමමද ආදරේ  කියන්නේ.. නෑ ඊට එහා යන දෙයක් වෙන්න ඇති.

එහෙනම් ආදරේට සුදුසුම පාට සුදු පාටද...

සුදු කියන්නේ උදාසීන පාටක්..  නිසිම හැඩයක් නැහැ. ආදරයක් ජීවිතේට ගන්නේ  තනියම ජීවත් වෙනවාට වඩා ජීවිතේට කෙනක් අවශ්‍ය නිසා වෙන්න ඇති. ඒත් ඒ එන කෙනා  නමට ජීවිතේ ඉන්නවානම් ආදරේදි බලා පොරොතු වෙන කිසිම දෙයක් ඉටු වෙන්නේනැහැ නේද..


ආදරේට  සුදුසුම පාට මොකක්ද එහෙනම්.....

මටනම් ආදරේ තාමත්  තදම තද කළුපාටක් විතරයි...... අත් නොවිඳපු අත් නොදැකපු දෙයක......... හිස් මන්දාකිණියක්... ආදරේ පාට කළු!!!



ඔයාගේ ආදරේ පාට මොකක්ද....??



12 comments:

  1. හපොයි සුද්දියේ මම හිතන්නේ ආදරේ ඔය කොයි පාටත් තියෙනවා. හරියට දේදුන්නක වගේ. අපි හිතන හැටියට, හිතුවිල්ලට ගැලපෙන පාට ඒ වෙලාවට ඉස්මතු වෙලා පේනවා. ඔය ඉතින් මට හිතෙන හැටි.:D

    ReplyDelete
  2. එක එක අය ආදරයෙන් බලා පොරොත්තු වෙන දේ වෙනස්....
    පලවෙනි දවසෙ කතාකරල දෙවනි දවසෙ හමුවෙලා තුන්වෙන දවසෙ රූම් එකට යන එක ආදරේ නෙමෙයි කියල කෙනෙක් කියන්න පුලුවං...
    එක අතකින් හොඳට බැලුවොත් අනේ ඉතින් ඒ දෙන්නට අවුලකුත් නැත්තං අපිට මොකෑ...
    හැබැයි හැමෝම තමුන්ගෙ ආදරේ ගැන හෙන ලොකුවට මහන්තත්තෙන් ඉන්න ඕනි...කෙල්ලගෙ අතින්වත් අල්ලල නැත්තං ඒක කියන්නෙ ඕනි..මගේ අාදරේ ඒ තරං පිවිතුරුයි යකෝ කියල..
    ඉන් පස්සෙ හැමතැනින්ම අල්ලල නම් අපි අතර හංගන්න දෙයක් නෑ කියල ඒක ගැන ලොකුව කියවන්න ඕනි...
    තමුන් කරන දේ තමුන් හිතන දේ වඩා නිවැරදිය කියන ඝට එන්න ඕනි ආදරවන්තයන්ට..අර පිලිම් එකේ මේමය, අර කතාවෙ මේමය, යාලුවා මේමය, පොතේ මේමය කියල ලව් කරන්න බෑ...

    ReplyDelete
  3. මට නම් ආදරය අවර්ණයි.

    ReplyDelete
  4. මගෙ නම් එක එක පාටයි..... :D

    ReplyDelete
  5. මගේ ආදරේනම් අනේ මංදා.. හැමදාම මම ආසම කලේ රෝස පාටට..ඉතිං... ආදරේත් රෝස පාටම තමා...

    ReplyDelete
  6. ආදරේ හරියට වම්බොටු ගෙදියක් පීදීගෙන එනකොට අග්ගිස්සෙන් මතුවෙන ඉන්ඩිගෝ පාටට ආසන්න පාටක් වෙන්න ඕන

    ReplyDelete
  7. උත්තරයක් දෙන්න බැරි ප්‍රශ්ණයක්නේ මේක සුදු අක්කේ..

    ReplyDelete
  8. පාටක් රසක් සුවදක් නැහැ..

    හැගීමක් විතරයි..

    ReplyDelete
  9. Colour of Love?

    (Color -is American spelling and incorrect)

    ReplyDelete
  10. කැම්පස් එකේදී ආදරේ පාට කියන්නේ ඔය සේරටම වඩා වෙනස් එකක්. ඒක දන්නව ඇතිනේ

    ReplyDelete
  11. ආදරේ කියන්නෙ හැම පාටක්ම එකතු වෙලා ඇදෙන චිත්‍රයක්. අවංකවම සසර පුරුද්දට ඇදෙන චිත්‍ර පුදුමාකාර විදිහට ලස්සන වෙනව වගේ, අවංක ආදරයක් නම් මොන පාට උනත් ලස්සනට පේනව.

    ReplyDelete
  12. ආදරය හෑමෝම දකින්නේ එක එක ව්දිහටනේ..ඉතින් හරී සත්‍යය ආදරයකට පාටක් නෑ කියලයි මම නම් හිතන්නේ...

    ReplyDelete