Aug 2, 2018

ඇයත් තවත් එක ගැහැණියක්


පුතෙක් ඉපදුණු විට මවක් රුජිනක් වන බව රුවන් වැකි වල සඳහන්වේ, පණ ගැහෙන මල් පෙත්තක් දෝතින් ගත්තා සේම දරුවෙකු පපුව මතට ගන්නටත් පෙර මාස නවයක පටන් කුසෙහි වැඩෙන කළලය රකිමින්,අනේකවිද දුක් කන්දරාවක් දරා මෙලොවට බිහි කරන ඇය උතුම් අම්මා නම් වේ. අම්මා යන නාම පදයෙන් ඇය හඳුන්වන්නට ගත් දා පටන්ම, තමන්ගේ කුසගින්න, තමන්ගේ සුවපහසුව, තමන්ගේ රුව ලස්සන නොතකා තවත් ජීවියෙකු වෙනුවෙන් කැප වෙන ලොව එකම ජීවී විශේෂය මව්වරුන් නම් වෙයි. නිදි නොමැති රැය ගන්න ගෙවා තණ පුඩු රිදුම් දෙද්දීත් කිරි පොවා, මහ පාන්දර ඇහැරීගෙන ලිප ගිණි සමඟ පොර බදා, සියල්ලන්ගේම කුසපුරවන්නී ඇයයි අම්මා. කෙනෙක් කුසින් දරාගෙන අනෙකා අනිත් වඩාගෙන, පුතුන් පාසල් ගෙන යන්නිය ඇයමයි අම්මා. දැලි රුවුල් වැවෙද්දි කපන්නට සුදුහඳුන් උරගා, කිරිබතුත් උයා සතට සැමරු අය අම්මා නම් වේ.
මඟුල් කපුවන් පසුපස යමින් දන්නා අඳුනනට අයටත් කියමින් යන්තම් ඝණ රුවුල් වැවෙන විට පුතුට දියනියක් සොයන්නට මුලින් වෙහෙස වන්නේත් ඒ අම්මාමයි. පෝරු මස්තයෙන් බැස පතිනියක් කැන්දාගෙන එන පුතුට නොඉඳුල් කිරි කෝප්පය පොවන්නෙත් අම්මාමයි. නමුත් එතැන් පටන් ඇය දැරූ අම්මා යන රන් කිරුළ උනා දමා ඇයට "නැන්දම්මා" යන කටු කිරුළක් හිස පළඳවන්නේ ඇයි ඔබ?
මිනිසාගේ ආරම්භයේ සිට නොනවත්වාම අදටත් හෙටටත් නොවෙනස් වන එකම ගැටුම නම් නැන්දම්මා හා ලේලිය අතර පවතින මේ සීතල යුද්ධයයි. බොහෝ විට සමාජ ජාල සමූහයන්හී සැරිසරනවිට සිට දක්නට ලැබෙන්නේ ලේලි වරුන් විසින් තම නැන්දම්මා කමෙන්ටු තුල හා පෝස්ටු තුල අමානුශික වශයෙන් හංවඩු ගසන ආකාරයයි.
ගැහැණිය සතු ගැහැණු කම තුල අනිවාර්‍ය අංගයක් කිහිපයක් වන මමත්වය, උඩඟු බව, තන්හාව, ඊර්ෂ්‍යාව ඉතාමත්ම ආදරණිය ස්වරූපයකින් ඉස්මතුවීම තුලින් එක් මවතක් සහ බිරිඳක් විසින් පුතෙකුගේ සහ සැමියෙකුගේ චරිතයට එකවර සමවැදී සිටින පිරිමියෙකුගේ ආදරය ආරක්ෂාව හා අවධානය ලබා ගැනීමට වෙර දරන සමාජ සම්මත යුදධයක අතුරු ප්‍රථිපලයක් ලෙස ඇති වන මෙම සුළු සුළු සිදුවීම් මෙලස සමාජ අඩවි තුලට ගෙනැවිත් බෙදා හදාගැනීම තුලින් එවැනිම වට පිටාවක් සහිත සියල්ලන් තමා තුල ඇති පීඩාවන් ඇඟිලි තුඩින් පිට කිරීම ඇතැම් විට පිටතින් බලනා කෙනක්ට සංවේදනාත්මක දෙයක් විය හැකියි.
පෞද්ගලිකව මාද අතීතයේ බොහෝ පීඩා කාරී අවස්තාවන්වල මෙවන් ක්‍රියා කල වාර අනනන්තයි. නමුත් කාලයා විසින් මා හට තේරුම් කල දෙයක් අද මම ඔබට කියන්නම්.
පුතෙකුගේ මවක් වූ පසු ඉතාමත්ම කුඩා පුතුගේ ආදරෙන් මත්වී සිටින මම හිතේ පුංචි කොනක ඉදිකටු තුඩක් විදනා ලෙසින් වේදනා දෙන හැඟීමක් හැමදාම සඟවා සිටිනවා."කවදා හරි කෙල්ලෙක් හොයා ගත්තම මට මේ තරමට ආදරේ නැති වෙයි.!!!" සැබැවින්ම එය ස්වභාවිකයි. පුතෙක් ස්වභායෙන්ම තමන්ගේ මවට බොහොම ලැදියි. ආදරෙයි, අම්මා කෙනක්ට තමන්ගේ සැමියාගේ ආදරයට වඩා දැනෙන්නේ පුතෙකුගේ ආදරය. එය මම හැබැවට අත්දකින්නේ මගේ මව සහ සොයුරා අතර ඇති බැඳීම දෙස බලමින්. දියණිය වූ මට ගෙදර පාත්තියෙන් ස්ටෝබෙරි ගෙඩි දෙකක් කඩා දෙන විට, ඇය අවුරුදු 31ක් හුරතල් කල සුරතල් පුතාට අයිස්ක්‍රීම් පෙට්ටියකින් එකක් පිරෙන්නට සෑම දාම උදේ පාන්දර පාත්තියෙන් කඩන ස්ටෝබෙරි ගෙඩි ශිත කරණයේ එකතු කරනවා. ඒවාට අයිති කාරයෙක් සිටිනවානම් මාගේ සොයුරා නැතහොත් මාගේ වසය දෙකක් වූ සුරතල් පුතා පමණයි. සැබැවින්ම ඔනෑම මවකට කුමන වයසක සිටියත් තමන්ගේ පුතා හැම මොහොතකම අගනාම වස්තුව. ඉතින්!! එලෙස වටිනා පුතෙකු වෙනත් ගැහැණියටකට අයිති කර දෙන්න තරම් සිත පහදාගන්නට සිදුවුනු මවකට අපි ඇයගෙන් සිදුවන පුංචි අඩුපාඩුවකට මේ තරම් දොස් කියන්නේ මන්ද? මේ තරමින් ගරහන්නේ මන්ද? කිසිවෙකු සර්ව සම්පූර්ණ නොවන මේ ලෝකයේ සැමියාගේ මව පමණක් සර්ව සම්පූර්ණ විය යුතුයැයි නූගත් මානසිකත්වකට ගැහැණු අපි පත්විය යුතුද?

Related image
ඔබ මෙන්ම ඇයත් තවත් එක් ගැහැණියක්, පුතෙකු හැදූ වැඩූ මවක්... අවුරුදු ගණනාවක් ඇය සාත්තු කල පාත්තියෙන් මල් නෙලන්නේ ඔබ, ඉතින් ඔබ පළමුවැනියා වන්නට යාම නෙවෙයිද ගැටුමට හේතුව?
දයාබර සොයුරියනේ.. මා ඇත්තෙන්ම මෙය අත්දැක්කා. මුල් කාලයේ මමත් මාගේ සැමියාගේ මවට සියුම් ලෙස වෛර කලා. වචන වලින්, ක්‍රියාවෙන් ඇයත් මාව බොහෝ රිදවා තිබෙනවා, අදටත් එලෙසම සිදුවෙනවා. නමුත් මම ඇය දෙස බලන කෝණය වෙනස් කලා. ඇය මගේ සැමියාගේ මව, ඒ නිසා මටත් ඇය මවක්ම පමණයි, ඇය නැන්දම්මා කෙනකු නොවෙයි. අම්මා කෙනක්. මම මා මෙලොවට බිහිකල මගේම අම්මා ගැන කියන්නම්, ඒ අම්මාට මට බනින්න අයිතියක් තියෙනවා, මට වැරදි පෙන්නන්න අයිතියක් තියෙනවා, අම්මා මගේ හිත රිදෙව්වට මට ඒක දැනෙන්නේ නෑ.. මොකද මම අම්මට ආදරෙයි. අම්මයි මමයි රණුඩු වෙනවා, ටිකකින් ආයිත් යාළු වෙනවා. ඒ අපිට අපි නැතුව බැරි නිසා. මාව මෙලොවට බිහි කල අම්මාට ඇති අයිතියට සම අයිතියක් මාගේ සැමියා මොලොවට බිහිකල අම්මටාත් තිබෙනවා. දෙදෙනා දෙදෙනෙකු ලෙස නොව එක් අයෙකු ලෙස දකින්න. එය මූනිච්චාවට මුවින් පමණක් නොව හදවතින්ම සිතන්න. ඇතැම් විට ආමරු වෙයි.. ඒත් ඇය කරනා එක හොඳ දෙයකින් ඇයව අගයන්න. නිතැනින්ම ඔබට ඇයගේ හොඳ පෙනෙන්න පටන් ගනිවී. අද මම මං ගැන කියපු නිසාවෙන් මා ඔබට කියන්නම්, මා මගේ සැමියාගේ මවට ආදරය කරන්නට හේතුව, උදෑසන 5.30ට නිවසින් පිටවන මම නැවත නිවසට යන්නේ හවස 4.30ට ඒ වන තුරුත් ඇය මගේ පුතාව බොහෝම ආදරෙන් බලා ගන්නවා. මම බලාගන්නවාටත් වඩා උනන්දුවෙන් සහ වගකීමෙන් යුතුව. ඉතින් මට මේ ලෝකයේ වටිනාම වස්තුව ඇය අතට දෙන්නට පුළුවන් උනානම් ඇයි මට බැරි ඒ වස්තුව දවල් දවස පුරාවට රකින ඇයට ආදරය කරන්නට? ඇයගේ වටිනාම වස්තුව මට දී හිත හදා ගත් ඇයගේ පුංචි නපුරු කමක් ඉවසන්නට? ......
මම ඇයට සැබැවින්ම ආදරෙයි මා පමණට ඇය මට ආදරය නොකරනාවා ඇති, දියණියගේ තැන මට දෙන්නට ඇයට නොහැකි ඇති, නමුත් ඇය මාගේ මව වන්නේ නීතියෙන් පමණක් නොවෙයි මා හදවතින්ම ඇය මාගේ මව සේ සළකනවා, මා මුව විවර කරන්නෙ ඇය හා රණ්ඩු වන්නට නොවෙයි, අපිට නිවසේ එදිනෙදා කටයුතු ගැන කතා කලොත් හැරෙන්නට අන් කිසිවක් කතා කරනවානම්, ඒ මාගේ පුතුත් ඇයගේ පුතුත් අතර ඇති සමානකම් පමණයි. එය බොහෝම ආශ්වාදජනක සහ ආදරණීය කතා බහක්. ඒ තුලින් කලක් එකිනෙකාට මූණට මුලිච්චි වන්නට නොහැකි තරමින් අමනාපෙන් සිටි අප දෙදෙනා නැවත අළුත් සම්බන්ධයක් ගොඩනගා ගනිමින් සිටිනවා.
බිඳුණු බඳුන් පිරියම් කරන්න අපහසු නමුත් අපිට කැටයම් දමා පළුද්ද වසා දැමිය හැකියි...!!

2 comments:

  1. මේ පෙන්වා ඇති කරුණු වලට 100% එකඟයි. 80%ක් දෙනා මේ වපසරිය තුල ඉන්න අයයි. ඒ අතරේ ඉන්නවා ලේලිට බබාලා ලැබෙන්න ආවහම දරු ගැබ නැති වන තැනට වැඩ කරන අයත්. මගේ මිතුරියක් පාසල් කාලයේ සිට අවුරුදු 10ක් මිතුරු වී සිට විවාහ වූ පසු ඔවැනි තත්ත්වයක් ඇති වෙලා අවසානයේ අවුරුදු 7කට පසු දික්කසාදය දක්වා වැඩේ දුරදිග ගියා. සමහර අය නපුරු වචන වලින් නොනැවතී පුතාට කේලම් කියලා, චරිතය ඝාතනය කරලා, පුතා ලව්වා ලේලියට පහර දෙවන අවස්ථාත් නැතිව නොවෙයි. මිනී මැරීම් පවා සිදු වෙනවා. කෝකටත් අම්මායි පුතායි දෙන්නා අයිති වන්නේ මොන සැම්පල් වලටද කියලා දැන හඳුනා ගැනීම ඉතාමත් වැදගත්.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete