Sep 2, 2011

ගයානි

කාලෙකට ඉහත නිවාඩු දිනෙක මා නිවසෙහි සිටින අවස්ථාවකදීල  අපිට දුරින් නෑදෑ වෙන ලොකු අම්මා කෙනෙක් (සීලා)  පැමිණ මගේ මව සමඟ  ඇයගේ ලේලියට විරුද්දව ගොරණාඩු කියන්න පටන් ගත්තාය. 

“මගේ රෙදි ටික ලීලලා දිහාට ගිහින් දාලා... මැණිකේ ලඟටම යන්නලු.. රාජාත් මුකුත් කියන්නේ නැහැ.. මේ බලපන් නංගි මට ඔකි දර සිප්පලකින් දමලා ගහුවා.“  යි කියමින් දකුණතේ තිබුණු නැවුම් සීරුම් කැලල පෙන්වුවාය.. 

ක්‍රියාත්මකව තිබු රෑපවාහිනිය අක්‍රීය කල  මම කාමරයට වැදුනෙමි. වැඩිහිටියන්ගේ කතාවකටඅනවශ්‍ය ලෙස සාහාගි විය යුතු නැතැයි එවෙලේ මට සිතිනි.. පරිඝණක තිරය ඉදිරියේ කල් මරනා විට වටින් පිටින් ඇසුනේ අම්මා අසල් වැසියන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් කතාකොට යමිකිසි පියවරක් ගන්නට හදනා බවකි. පෞද්ගලිකව මම එයට සිත යටින් විරැද්ධ වීමි. මන්ද අර්බුදය ඇත්තේ නැන්දම්මා සහ ලේලිය අතර නම් එය ඔවුන් දෙදෙනාම විසඳා ගත යුතු යැයි යන්න නැන්දම්මා ලේලිය සම්බන්ධය පිළිබඳ කිසිත් දැනුමක් නොමැති මාගේ මතයයි.

එහෙත් නැන්දම්මා කෙනෙකු සමඟ වසර විසි හයකට අධික කාලයක් අත්දැකිම් ඇති අම්මාත්, සීලා ලොකු අම්මාත්, තවත් සීලා ලොකු අම්මාට ලඟින් නෑදෑයින් වන අසල් වැසියන් කිහිප දෙනෙකුත් ඒදිනම ඇයගේ කුඩා නිවසට ගොස් ඇතිව තිබෙන තත්වය සමතයකට පත් කරන්නට උත්සහ කලෝය.. නමුත් ...

ගයානි නම් වු යට කී ලේලිය නැන්දම්මා කෙරෙහි බිදුවක හෝ ගරුත්වයක් නොමැතිව ක්‍රියා කල අයුරු අසා මට ඇගේ මුහුණ බැලීම පවා කලක් අප්‍රියව පැවතිනි. 

ගයානි මා හා සම වයස් වන්නියනි. ඇය මට වඩා මාස තුනකට වැඩිමහලුය. මම උසස් පෙල විභාගයට සුදානම් වන වයසේ සිටින විට ගයානි සීලා ලොකු අම්මාගේ ලේලියව අප ගමට පැමිනියාය. මුලින් කිසිවෙකු හා සමාගමයෙහි නොවු ඇය කල් යත්ම හවස් වරුවන්හීදී අප නිවසට මෙන්ම අසල්වැසි නෑදෑ හිතවතුන්ගේ නිවෙස් වලටද  යාමට පුරුදු වුවාය. අසනීපයෙන් පසුවන මාගේ අම්මාට ඇය පැමිණි විට සුලු උදව්වක් හෝ කර දී ගියාය. ඒ අතර කාලයේ ඇය ගැබිනියක වු කල මාගේ අම්මාත් අත්තම්මාත් ඇයට නිවසේ විශේෂයෙන් ඉදෙනා කුමක් හෝ අහරක් වී නම් එය කතා කොට දුන්නාය. 

කාලයේ ඇවෑමෙන් ඇය පුතෙකු බිහි කලාය. කුඩා දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ඇයත් සිලා ලොකු අම්මාත් අතර විටින් විට ගැටුම් ඇති වුවත් දිනක් දෙකක් යනවිට ඔවුන් යලින් සාමයෙන් පුසූ වුවෝය. මා යට කී ගැටුම ඇති වන්නේ ගයානි දෙවනි පුතාද බිහිකල පසුය..  ගැටුමට හේතුව සීලා ලොකු අම්මා අයගේ දියනියගෙන් සැලකුම් ලබා ගැනීමත් ඇයට උදව් පදව් කිරීමත්ය... 

මවකට තම දරුවන් සියල්ලටම සමව සෙනෙහස දැක්වීමේ මානුශිය අයිතියට පහර ගහන මෙම අමානුශික ප්‍රකාශයන් ඉදිරියේ අසල් වැසියන් සහ ගයානි අතර සිදුවු වාග් ගැටුම ගුටි බැට කෙලියක් බවට පත් වුයේ අසල් වැසියන් පැමින උපදෙස් දෙන තෙක් නිහඩ පිළිවෙතක් අනුගමනය කල සැමියාට ගයානි විසින් පහර දුන් පසුය.. බිරිඳගේ දෙවියායැයි කියනා සැමියෙක් අකීකරු බිරිඳකගෙන් පහර කෑම නොඉවසු අසල්වැසියන් වහාම ක්‍රියාත්මක වී ගයානි යලිත් ඇයගේ මා පියන් වෙත යැවුයේ රාජා නම් වු ඇයගේ සැමියාට කලකට ඇය හමුවීමත් තහනම් කොටයි.. එසේ බ්‍රහ්ම දණ්ඩනයට යටත්ව මාස කිහිපයක් ඇවෑමෙන් රාජා අයියා විසින් යලිදු ගයානි නිවසට කැදවාගෙන පැමිණියේ පසුගිය සිංහල හින්දු අළුත් අවුරුද්දටයි.. 

අවුරුදු නිවාඩුවෙන් පසු ආපසු  මම බෝඩිම කරා යාමට පිටත් වන්නට සුදානම් වන විටම ගයානිත් රාජා අයියාත් පැමින අළුත් අවඅරුදු වාරිත්‍ර ලෙස අම්මාටත් අප්පච්චීටත් වැඳ සමාව  ගත්තෝය. පසුගිය වසරේ හිත් අමනාපකම් නව වසරේ අවසන් කරන්නට සිංහලයන් සතුවු  උතුම් ගුනාංයන් නිසාවෙන් අම්මාගෙන් මෙන්ම අනෙකුත් අසල් වැසියන්ගෙනුත් , සීලා ලොකු අම්මාගෙන්ද ගයානි සමාව ලබුවාය.. මමද සිතින් අයට කමා කලෙමි.

දැන් රැකියා විරහිතව මා සිටින්නේ නිවසෙහිය. පසුගිය දිනයක අම්මා මාළු මිලදී ගන්නා විට ගයානිට දීමට වෙනනමම මාළු කූරියන් කිහිප දෙනෙකු මිලදී ගත්තාය ඇයිදැයි ඇසුවිට ඇය කීවේ තෙවන වරටත් ගයානි මවක වීමේ සූදානමෙන් සිටිනා බවයි.. කලකින් ඇය නුදුටු නිසාවෙන් ඇය මාළු කුරියන් ගන්නට පැමිණි විට මමද  කුස්සියට ගොස් ඇය හා සමඟ විහිලු කරමින් සිටියෙමි... 

විහිලුවෙන්ම අම්මාගෙන් මුදල් ඉල්ලා සිටි ඇය කීවේ රාජා අයියාගේ වකුගඩු වල ගල් සෑදි ඇති නිසා එයට ප්‍රතිකාර ගැනීමට බදුල්ල මහරෝහලට යා යුතු බවයි. එම විස්තරය කියා අනතුරුව ඇය කීවේ මා යට කී ගැටුම සුදුවු දින තම පවුලේ ප්‍රශ්ණ වලට මැදිවු අසල් වැසියන් මේ අවස්ථාවේ සියල්ල බාර ගන්නේනම් ඇය ඉමහත් සතුටට පත්  වන  බවකුයි. ඒ සමඟම ඇය කීවේ

“කොකාට වාරයක් නම් තිත්යාටත් වාරයක් එනවලු නේ නැන්දා.. ඒ වාරේ එනකල් තමයි මමත් මේ ඉන්නේ එදා මහලොකුවට එයා කීවනේ පුතාට සලකගන්න පුළුවන් කියලා... මම දැන් ඉන්නෙ කියාපු විදියට සලක ගන්න කියන්න“

ඒය ඉවසීමෙන් අසා සිට ඇයට උපකාර කිරිමට ක්‍රමයක් සලසන බව කී අම්මා තව දුරටත් ඇය  සමඟ කතා කරමින්ද මම ඇයගේ කුඩා දරුවා සමඟ සෙල්ලම් කරමින්ද පසුවුනෙමු.. ඇය සමඟ  සීලා ලොකු අම්මාගේ දියනියගේ දියනියක්ද පැමිණ සිටියාය වයස  හතක් අටක් තරම් වු ඇය දුටු මාගේ අත්තම්මා 

“ මේකිව මෙහේ ඉස්කෝලේ දාන්නද හදන්නේ“ යැයි ඇයට සුපුරුදු භාෂාවෙන් ඇසුවාය. 

“හප්පා.. මේකී මෙහේ ඉස්කෝලේ දාන්න ආවොත් මම යනවා යන්න කොල්ලෝ දෙන්නවයි රෙදි ටිකයි අකුලගෙන ආපහු බලුලේ ගෙදරට... ආච්චි හිතන්නේ මේකි මෙහේ බිනින බහිනකල් මම බලා ඉඳියි කියලද.. මට හොරෙන් හොරෙන් මේකිට රෙදි ඉඳන් මේ ටිකේ සීලම්මා අරන් දෙනවා.. එයා හිතන්නේ මම නොදන්නවා කියලා...“ යි ගයානි කියවාගෙන ගියාය... පොඩි දරුවා මගේ ඇඳුමට කෙල ගැසුවේය.. අම්මා ඔහුට තරවටු කලාය..  එහෙත් ගයානි ගනනකට නොගත්තාය.. 

“ඔය ළමයෙක් බඩේ තියාගෙන තරහා මරහා අවුස්සන්නේ මොකටද ගයානි... අනික මේ සැරේවත් කෙල්ලක් ලැබෙන්න කියලා බෝධියට ගිහින් හිතින් හිතා ගන්න...“ ගයානිගේ කතාව අසා අමනාපයෙන් අත්තම්මා ගේ තුලට යද්දි අම්මා කීවාය...

“ ඒකනේ ඒකනේ.. උදේට උදේට ඇවිත් මගේ දිහා බලලා යන්න ගයානි... මං වගේ දුවෙක් ලැබෙයි....“ කියමින් මමද ඇසක් ඉඟි මැරුවෙමි...

මා කියු දෙයට සියල්ලන්ම සිනා සෙද්දි යලිත් ගයානි කීවේ....

“ඉරිසියා නොකර ඉන්නවා කියලාමයි හිතන්නේ නැන්දා ඒ උනාට ඉරිසියා නොකර ඉන්නම බෑනේ මට...“  යි කියායි....

ඇතැම් විට අයගේ ප්‍රකාශය සත්‍යයක් වන්නට ඇති බව මට අද දිනයේ වැටහිනි.. 

ප්‍රෙද්ශිය සභා නල මාර්ගයේ ජලය නොමැතියන් මමත් අත්තම්මාත් අද රෙදි සේදිමටත් නා ගැනිමටත් පොදු පිහිල්ලට යද්දි සීලා ලොකු අම්මා එහි ගයානිගේත් දරුවන් දෙදෙනාගේත් සියලු ඇඳුම් සොදමින් උන්නය... මෙලෙස තම ලේලියට බැල මෙහෙකම් කරන නැන්දම්මා කෙනෙක් සිටියදීත කුස තුල මොරන දරුවා ගැනත්  නොතිසිතා වෛර කරන්නී   ගයානි පෙර කල පවක් ගෙවනවා විය හැකියි...

9 comments:

  1. ආයෙම කතාවක් ලියල තියෙන්නේ. ඒත් දැන් කියවන්න බෑ නිදිමතයි. උදේට කියවන්නම්....

    ReplyDelete
  2. ඇත්තමයි ඔයවගේ සලකන නැන්දම්මා කෙනෙකුට මොන හිතකින් ඒ ලේලි වෛර කරනවද කියලනම් මටත් හිතාගන්න අමාරුයි...

    ReplyDelete
  3. Anonymous7:38:00 PM

    සුදු හංසි, හැම නැන්දම්මමයි ලේලියි එහෙම නෑ... සමහරු තමන්ගේ පුතාට වැඩිය ලේලිට ආදරෙයි....

    ReplyDelete
  4. ඔහොම ලේලිල ,නැන්දම්මලත් ඉන්නව ....!!!!
    හැබැයි දැන් එහෙම අය ටිකක් අඩුයි නේහ්..

    ReplyDelete
  5. පෙර කළ පවක් විතරක් නොවේ සුද්දියේ ඊළඟ ආත්මයටත් පවු රැස් කරනවා. විවිධ මිනිස්සු විවිධාකාරයි. ඒක තේරුම් ගන්න නම් හරිම අපහසුයි.

    ReplyDelete
  6. බුදුහාමුදුරුවො වැඩියත් ඔය වගෙ ඇත්තො හදන්න බැ අක්කෙ ....
    පවට පින දෙන්න බැ කියලා අපෙ පැරණ ඇත්තො කිව්වෙ ඔකට තමා .... :) :)

    ReplyDelete
  7. පව් වැඩේ.. ලේලිට මානසික ලෙඩක් වෙන්න ඕනේ ..... මහවෙදනට කියල හිසකුඩිච්චියක්වත් දෙන්න බලමු.... නැත්නම් නිශාන්තට කියල ඉන්ජෙක්සන් එකක් ...

    ReplyDelete
  8. හ්ම්...මොන කියන්නද අක්කා...ඔය වගේ හිතන අය කොහෙත් ඉන්නවා.....අම්මා කෙනෙක්ට එහෙම සලකල පව් රැස්කර ගන්නේ තියන පවටමනේ

    ReplyDelete
  9. හ්ම්...සුපුරුදු නැන්දම්මා ලේලි ගැටුම.මෙතනනම් ලේලි ගොඩක් වැරදියි වගේ...

    ReplyDelete