මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Jul 24, 2011

වලාවෙන් වැසුනු සඳ හයවන කොටස

ඉක්මනින්ම ආපහු ආවේ පන්ති යන්න කියලා උනත් හැමදාම මට පන්ති තිබුනේ නැහැ... ගොඩක් වෙලාවට කලේ ගෙදරට වෙලා පොල් රුප්පාව දිහා බලන් කල්පනා කරපු එක මනස්ගාත කල්පනා කරන අතරේ හිත ඇදිලා ගියේ එකම දිහාවකට අංජලී.. කොතනින් පටන් ගත්තත් ඉවර වෙන්නේ අංජු ලඟින්.. 

සිතිවිලි තෝන්තු වුන එක හවස් යාමෙක අයියගේ බයිසිකලෙත් අරන් මම ගියා වෙරල පැත්තට.. අංජුගේ ගෙවල් පහු කරද්දි ඉබේටම වගේ ඇස් ගියේ උඩු මහලේ බැල්කනියට.. නැහැ කිසිම ඡායාවක් නැහැ.. ආපහු හැරිලා රවුමක් යන්න හිතුනත් හිත පාලනය කරගෙන වෙරල පැත්තට පැද්දා..
මගේ හිතේ හිනා මල් දසදහස් ගනනක් පුබුදු කරන් අංජුයි තව ගෑහැනු ළමයෙකුයි වෙරල අයිනේ පොල්  රුප්පාවේ බැඩ්මින්ටන් සෙල්ලම් කරමින් හිටියා.. වෙරල දිහාට නොයා එතන නතර වෙන්න කියලා හිත කීවත් කෙල්ලෝ දෙන්නා ඉස්සරහා නෝන්ඩි වෙන්න  බැරි කමක් හිතට දැනුන නිසා පොල් ගහක් පාමුල බයිසිකලේ නතර කරලා මම වෙරලේ සුදු වැලි මත්තේ ඇවිදන් ගියා...

ඒ උනත් හිත දුවන්නේම පොල්රුප්පාව පැත්තට අංජු මාව දැක්කේ නැති බව මට සියයට සියයක්ම විශ්වාසයි ඒ නිසා පොල් ගස් වලට මුවා වෙලා ඒ මුහුන රසවිඳින්න මට තහනමක් නැහැ.. නොදෑනිම  මගේ කකුල් ඇදිලා ගියේ පොල්රුප්පාව පැත්තට ... තරමක ඈතින් උනත් මට කෙල්ලෝ දෙන්නගේ සිනහව හොඳින්ම ඇහුනා එයාලා කතා කලේ ඉංග්‍රීසියෙන්. අංජුගේ කැඩ්ච්ච සිංහල උච්චාරණය මතක් වෙලා මට හිනි හිනාවක් නැගුනා..  පොල් කඳට පිට දීගෙන ඒ දිහා කොයි තරම් වෙලාවක් බලා හිටියද කියලා මට මතක නෑ  

"මොනවද බලන්නේ යාළුවා..."  

කවුදෝ ඇවිත් පිටට තට්ටුවක් දාද්දි මම උඩ විසි වෙලා පිටු පසට හැරුනා... තරමක උස මහත කොල්ලෙක් මට වඩා අවුරුදු හය හතක් වැඩි මහල් ඇති...  ඒ උනාට යකෝ මම බලන ඒවා මොනවද හොයන්න එයා කවුද? 

"මගේ ඇස් දෙකට පේන එව්වා ඇයි ප්‍රශ්ණයක්ද..."
මගේ හැකර කට මට ඉස්සර උනා...

"අඩෝව් ඇස් දෙක උඹේ උනාට බලන්නේ මගේ කෙල්ල දිහා.. අන්න ඒකයි ප්‍රශ්නේ..." 
කියාගෙන පොර මගේ කන පැලෙන්න පාරක් ගහපි..ඒ යකාගේ කඩ හඩේ සද්දෙට වටේ පිටේ දෙතුන්දෙනක් හිටි ගමන් මතු උනා.. මම කර කියා ගන්න දෙයක් නැතිව පොර දිගා තරහෙන් පුපුරන ඇස් වලින් බලා හිටියා.. මගේ කන් පෙත් රතු වෙන පාටක් දැනුනේ අංජුයි එයාගේ යාළුවයිත් ඒ සෙනඟ ගොඩේ ඉන්නවා දැකලා... 

ඉතින් කොහොමද මම ඉවසන්නේ මාත් ඇන්නා පොරගේ හොම්බට කෙල්ල ඉස්සරහ නෝන්ඩි වෙන්න බැරි කමටම.. මට අනිත් පැත්ත හැරෙන්න ඉඩක් නැහැ වට කරගෙන නෙලන්න පටන් ගත්තේ නැද්ද කොල්ලෝ සෙට් එකක්ම...
"kaka Stop it... please....." 

හතර පස් දෙනෙක්ට යට වෙලා හිටිය මට ඒ හඩ ඇහුනේ හීනන් වගේ... ගිනි ගොඩක හිටිය මට ඒ හඬ තවත් කට හඬ කිපයක් එක්ක මං වෙනුවෙන් වාද කරනවා  අපහැදිලිවට ඇහුනා ඒත් ඒ කිසිවක් මතකයේ ඉතිරි උනේ නෑ...

Sorry.......!!! Sorry!!! I am So Sorry !!!!! 

මාව වට කරන් හිටිය කොල්ලෝ ටික අයින් වෙද්දි මගේ ලග දණ ඔබාගෙන අංජු රහසින් වගේ කියෙව්වා.. මගේ ඔළුවට වැදුනු පහරක් නිසා මම ඒ වෙලොවේ අංජුව පෙනුනේ දැල් බැඳුනු ඇස් පියන් අතරන්...

"කමක් නෑ.. ඔයා යන්න මෙතනින්..." ඇස් දෙක කඩා වැටෙද්දි මම යාන්තමට වචන ගලපා ගත්තා 

කොයි කතරම් වෙලා  ගත උනාද මට මතක නැහැ ආපහු ඇස් අරිද්දි මගේ වටේ ගමේ දෙතුන් දෙනෙක් වට වෙලා හිටියා ඒ අතරින් මතුවුනු මනූ අයියා දැක්කම මට  කර කියා ගන්න දෙයක් නැතිව ගියා...
"නැගිටපන් පොඩ්ඩෝ... මේක උන්ගේ ගම.. අපේ උනානම් දනියි කරනදේ..." මනූ අයියා කීවේ වෙව්වලක කටහඬකින්..

මනූ අයියට වත්තන් වෙලා ආපහු යන්න හැරෙද්දියි මම දැක්කේ මගේ අත්වල තුවාල වුනු තැත් අංජු ඇඳන් හිටිය ‍සල්වාර් ඇඳුමේ ෂෝල් එකෙන් වෙලලා තියෙනවා.. 

මට දැනුනේ දරා ගන්න බැරි තරමේ ලෙන්ගතූ හැඟිමක්.. කොල්ලෝ මට ගහනකොට ඒ මැද්දට පනලා කෑ ගහපු හැටි වගේම මට සිහිය නැති වුනු වෙලාවේ මගේ තුවාල වෙලපු හැටි මගේ හිතේ අංජු ගැන තිබුන ආදරේ දෙගුන තෙගුන කලා



3 comments:

  1. සුදු හංසිගේ මේ කතාව නම් හරිම ලස්සනයි. ගෑනු ලමයෙක් විධියට ඔයා මේ පිරිමියෙකුගේ සිතේ උපදින සිතිවිලි ලියන්නේ කෙස්ද කියා හිතන්නත් අමාරුයි. ඉක්මනින් ඊළඟ කොටස දෙනවා නේද?

    ReplyDelete
  2. තවලම පැත්තේ ආවට ගොඩක් ස්තූතියි අයියේ.. පුළුවන් ඉන්මනින් දෙන්නම්.. මටත් ආසයි තව ඉදිරියට ලියන්න

    ReplyDelete
  3. ලස්සනයි. අද තමයි ඔක්කොම කියෙව්වෙ. නියමයි...

    ReplyDelete