මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 22, 2011

අදයි ඔබේ උපන් දිනේ...

මට ලොකු පාටියක් ගන්න බැරී උනා..
ඔයා තරහා නෑ නේද ??
ඔයාට අඩුවක් කරා නෙවෙයි...
ඒත් මම මේ පාර නොහිතපු විදියට
මට මුකුත් කර ගන්න කල් මදි උනා...
ඒත් මම දන්නවා ඔයා තරහා නැ කියලා
වෙනදා වගේ සප්‍රයිස් ගිෆිට් එකක්වත්
පාටියක් වත් දෙන්න බැරී උනාට
උදේම මම දුන්න හාදුව ඔයාට වටිනවා කියලා මම දන්නවා...




ඔයා‍ට සුභ උපන්දිනයක් අම්මේ.....





Aug 17, 2011

තවත් එක් පියවරක් (ද)


අදත් ඊයේත් උදෑසනින් අවදි වන විට මට අසන්නට ලැබුනේ නිකරුනේ කිසිවෙකුට හෝ බනිනා හඬකි. එසේත් නොමැතිනම්  රුපියලකට දෙකකට මිනි මරා ගන්නට හදනා දෙදෙනෙකුගේ දෙබස් හඬකි. එහෙත් හෙට උදෑසනින්ම අවදි වන්නට සිදුවන්නේ කන් පිනවන පිරිත් හඬක් මැදිනි. එය අපූරුතම වෙනසක් බව මම අත් විඳ ඇත්තෙමි.

වෙනදා මෙන් කුසට වතුර පොදක් හෝ නොමැතිව පේරාදෙනිය පාරේ දිව ගොස් කාර්‍යාලයට ගොඩ වුවත්, හෙට සිටන් ඇඳෙන් බසින විටම රසැති තේ කෝප්පයක් ලැබෙනු ඇත. වෙනදා අන්තර්ජාලයේ රස්තියාදුවේ යන වෙලාවට මිදුලේ පිච්ච යාය  අද්දර බංකුවේ වාඩි ගෙන පැය ගනනක් තේ කෝප්පය රස විඳිය හැක.

එසේම හෙට සිටන් වෙනදා කලා මෙන් අපිරිසිදු නාන කාමරයක ඇඟපත සෝදා ගන්නවා වෙනුවට ස්වභාවික දිය ඇල්ලකින් සිත් සේ නාගන්නට හැකිවෙනු ඇත.

උදේ සිටන් බස් පැද්දා යැයි කියනවා වෙනුවට රසැති කෑමක් හදන්නට හැකිය. එසේම වෙනදා පාළුවෙන් හන්තාන දෙස බලාගෙන ගෙවන හවස් යාමයට  බස් රේඩියෝව අසමින්ම සුව නින්දකට පිවිසෙන්ට හැකිය. 

කාර්‍යාලය අවසන්ව පේරාදෙනිය පාරේ ඉබි ගමනින් යලිදු බොඩිම කරා යන වෙලාවට, අත්තම්මා සමඟ බෝ මළුවට ගොස් බුදුන් වැඳිය හැකිය....

එහෙත් අදින් පටන් ගන්නා දින සිට මම රැකියාවක් නොකරන කෙනෙක්මි....




Aug 13, 2011

මොන්ගල් වාහිනී නිවේදක වර්ණ රාත්‍රිය.


මේ ටිකේ සුද්දිට සෑහෙන්ඩ බීසි ගෙදර ඇවිත්නේ.. හේතු රාසියයි.. එකක් තමා මහනුවර පෙරහැරට ඔපිසියේ නිවාඩු වීම.. සහ බෝඩිටම් කාමර පෙරහැර බලන්න ඒන අයට  දවෙස් කුලියට දීලා ඉන්න තැනක් නෑ  නොවෑ.

ඉතින් සුද්දි ගෙදර ඇවිත් බරට වැඩ මොනාද ඉතින් වැඩ... උයන්න, ගේ මොබ් කරන්න, මල් පැල බලන්න, ඔව්වා තමා.. ඔය අස්සෙ ඉතින ඉඳලා හිටලා සැප නින්දවල් හේමත් දානවා  උදාහරණයක් වසයෙන් කීවොත් අද උදේ අටහමාරට නිදාගෙන 12ට නැගිටලා උයලා කාලා 2 ඉඳන් හතරාමාර වෙනකල් දොයිය ගත්තා.. ඒත් මදි වගේ.. කොහේද සුද්දිගේ මල්ලියි මස්සිනයි දෙන්නා එකතු වෙලා අලිගැට පේර පැක් එකක් දාලානේ සුද්දිගේ මුණ සුදු මදි කියලා.. හික් හික් හරි අපූරු බියුටීෂියන්ලා දෙන්නා ගානවනම් ගාපියව්කෝ වතුර අලිගැට පේර ගාලා... අපරාදේ මම නිදා ගන්න කලින් හිතාගෙන හිටියේ ඇහැරිලා ඒ අලිගැට පේරේ කන්න.. සික්... :D

දැන් ඔය කතා අස්සේ සුද්දි නිකමට වගේ ටීවීත් බලනවා මොකෝ මේ පැත්තේ ජාල ගතවෙන්න ගියාම ගොඩ වෙලාවක් යනවා ඒතරම් 3 ජී සිග්නල් තියෙනවා.. ඒ නිසා වැඩිය සුද්දි ගෙදරදි ජාල ගත වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් කම්මැලි කමක් ආවොත් කරන්නේ ටී වී බලන එක, ඒකත් ටෙලි නාට්ටයක් වත් තමා.. ඊයේ ඒ කියන්නේ  සිකුරාදා හවස් යාමයේ සුට්ටක් ටී වී බලන්න කියලා දැම්මා ටී වීය  අපිට හරියට පේන එකම වැනලය තමා මොන්ගල් වාහිනිය. එහෙම කිවොත් ඉතින් හැමෝම දන්නවනේ  මොකක්ද කියලා. ඉතින් 2ට විතර මයේ හිතේ මම දාද්දිම පටන් ගත්තා ගුඩු ආප්ටර්නුන්ද ඊවිනිනිග්ද කියලා වැඩ සටහනක්..  තද  රෝස පාට ඇඳුමක් ඇඳන්  යසට තිබ්බ කොන්ඩෙ බලෙන් කෙලින් කරපු නංගි කෙනෙක් (වෙන්න ඔනි) ඔන්න වැඩ සටහන පටන් ගත්තා. දැන් මෙයා කියන්න යන්නේ දිරිය කාන්තාවක් ගැන. දැන් එයා ඒ කියන දිරිය කාන්තාව ආ..දරයෙන් පිළිගත්තා මැදැරියට, ඊට පස්සේ ඒ දිරිය කාන්තාවගේ මිණිබිරීවත් ආ.....දරෙන් පිළිගත්තා.. ඊළඟට මිණිබිරීගේ මහත්තයා එයාවත් ආ............දරෙන් පිළිගත්තා, අවසාන වශයෙන් ඒ දිරිය ආච්චි අම්මා ගැන ලෝකෙට කියපු පත්තර වාර්තාකාරතුමා එයාවත් මේ නිවේදක නංගි ආ...............................................දරෙන් පිළිගත්තා.... බුදු අම්මේ එයා පිළිගත්ත ආදරණිය විදියට මට විනාඩි පහක් විතර හිනා..  නිවේදක නංගියේ බොළඳ කම නොවෙන්න වැඩ සටහනේ අන්තර්ගතයනම් අපරාදේ කියන්න බෑ,  වැඩ සටහන නම් වටිනවා හැබැයි වැඩිය කවුරුත් ටී වී නොබලන හවස් වරුවක නෙවෙයි උදේ වරුවකට.. ඒකත් කමක් නෑ කියමුකෝ.. දැන් මේ දිරිය ආත්තම්මා ඇස්  දෙකම නොපෙනිලත් ඇස් දෙකම නොපෙනෙන එයාගේ මිණිබිරිය උපාධිධාර්ණියක් තත්වයට උගන්නපු කෙනෙක්. ඉතින්  ඇගේ කතාව අපි කාට උනත් ගොඩක් වටින ආදර්ශමත් කතාවක්.. හැබැයි ඉතින් මුළු රටකට ඒ පනිවිඩය ගෙනියද්දි නිවේදකයා හෝ නිවේදිකාව ඒක ඉදිරිපත් කරන විදියෙන් ඒ කතාව විහිලුවක් වීම සහ නොවීම බලපානවා මේක සුද්දිගේ පෞද්ගලික මතයක්. 

දැන් තමයි කතාවේ හොඳම හරිය. අර දෘශ්යාබාධිත සහෝදරිය තමන්ගේ උපාධී සහතිකය ගන්න වෙලාවේ එයාගේ අම්මා ආත්තම්මා දෙන්නට බලන්න වෙන්නේ නෑ කියලා හිතද්දි දැණුන හැඟිම මොන වගේද කියලා අර  සුකුරුත්තං නිවේදිකාව ඇහුවා හරි මොලේ ඇති ප්‍රශ්ණයක්. ඒ ගැහැණු ළමයා දුන්න උත්තරේ පැහැදිලියි නොදැක්කත් මගේ නම කියනවා එයාලාට ඇහෙන බව දන්නවා ඒත් ඒක ඉක්මනින් ඉක්මනින් කියවීම නිසා මග ඇරුනද කියලයි දුක් වුනේ කියලයි. ඒ උත්තරේ අහගෙන දැන් මේ නිවේදිකාව කියනවා.. “අපි දැන් යොමු වෙමු අම්මා ගැන කියන ලස්සන ගීතයකට“ 

ආව් ආව් දැන් සුද්දිත් සැදී පැහැදී බලන් ඉන්නවා සින්දුව අහන්න....

ඔන්න මියුසික් යනවා.... අප්පට සිලි ඉරාජ්.. පියානෝ එකක් ගහනවා.. හෑහ්!!  ඒ අස්සේ කොල්ලෙක් පාන් පෙට්ටයක් බැඳන් යනවා.. ඔය අතරේ කොල්ලෙක් කාර් එකක් ලඟ වැනෙනවා.. දැන් ඔන්න  සින්දුවේ වචන පටන් ගත්තා...

සුරඟන කිරිල්ලියේ සඳ නුඹ ගැනමයි කතා කලේ......

සුද්දිට ඉතින් #$$%%@%^^&^%$# තමා නිවේදිකාව එක්ක,  ඇයි යකෝ!!!! .....  අනේ මන්දා වරද නිවේදිකාවගේද නිශ්පාදන කණ්ඩායමගේද කියලා.. ඒත් හත් දෙයියනේ ලයිව් වැඩසටහනක් කරනකොට කලින් ප්ලෑන් එකක් නැතිවද අප්පා මේ අභිමානවත් ආයතන වැඩ කරන්නේ.. 

අර දවසක් අපේ රත්ගම මල්ලි කීවේ චාටර් වාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ  සුන්දරත්වය අනේ ඉතින් මුන්ගේ අනිත් වැඩ සටහනුත් ඊට දෙවැනි නෑ.. 

අනේ කාලේ වනේ වාසේ... කියලා අපෙ ආත්තම්මා කියනවා වගේ මුන් මෙන්න ඒ පාර අර විකාරේ දාගෙන ඉරිදා උදේට ලයිව් සන්ඩේ මොකක්ද කරනවලු..  බලමු ඇහැරුනොත් ඒ විකාරේ කොහොම එකක් වෙයිද කියලා. ඔකේ යන සෝ හැම එකක්ම වගේ මෝඩ ආතල්නේ ඒකත් එහොම එකක් වෙන්ටෑ  අපරාදේ උදේ පාන්දර හොඳට සීතලට පෙරවගෙන නිදා ගන්න තියෙන වෙලාව ;)

දැන් ඉතින් අහන්ඩලාකෝ ලබන අවුරුද්දේ දස්සම නිවේදක සම්මානේ යන්නෙත් අර මොන්ගල් වාහිනියටමැයි කියලා... අනේ මගේ කට....!@@#

Aug 11, 2011

වාසනා

ඊයෙ හවස German Shepherd බල්ලෙක් ගැන කතා කරද්දි මට  පරණ කතාවක් මතක් උනා. 2004 සහ 2005 අවුරුදු වල කාලේ සිද්ද වුනු දෙයක්. 

ඒ මම ඒලවෙල් කරපු කාලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකේ, උදේ හයයි කාලට ගේ ගාවින් නැංගහම හතයි හතලිස් පහ වෙද්දි බණ්ඩාරවෙල ධර්මපාලෙ ගාවින්  බහින්න පුළුවන්, හවස දෙකහමාරට ඉස්කෝලේ ගාවින් නැගලා හතර වෙද්දි ගෙදර එනවා, ඒත් ඉතින් ඉස්කෝලෙන් පස්සේ ක්ලාස් තියෙන දවසට  බස් එකේ ගෙදර එන්න ගියොත් හවස හතවත් පහු වෙනවා. ඔය ප්‍රශ්නේ නිසා අපේ අප්පච්චි මාව එයාගේ යාළුවෙක්ගේ ගෙදර නතර කලා

ඒ අන්කල්ලාගේ ගෙදර තිවුනේ  සෙන්තෝමස් පාරේ, බස් එකේ යන්නත් පුළුවන් පයින් යන්නත් පුළුවන් දුර, ඉතින් අප්පචිච මාව එක්කරන් ගියේ පයින් යන පාරේ, මට පළවෙනි දවසේම එපා වෙලා හිටියේ, හැබැයි ඒ ගෙදර තිබුන තැනනම් හරිම ලස්සනයි, වටේට ගස් පිරිලා. ගෙට පහලින් පොඩි තේ වත්තක්, අපි යනකොට ඉස්සරහට ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් මුණ ගැහුනා එයාලා අපිට හිනාවෙලා ‍පඩිපෙල දිගේ උඩට නැංගා, 

ඒ හම්බ උනේ ඒ ගොදර අන්කල්ගේ දුවලා දෙන්නා එක්කෙනෙක් වාසනා අනිත් කෙනා සුදූ. අක්කා තමයි සුදූ එයා තුන් වෙනි පාරට ඒ ලෙවල් කරනවා, දෙවැනියා වාසනා මගේ වයස, ඉතින් පයින් යන්න තිබුනත් මට අන්කල්ලාගේ ගෙදර යෑම සතුටක් උනා, මොකද සම වයසේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවනේ, අනික ඒ දෙන්නා උනත් අක්කා නංගිට වඩා හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ හිටියේ ඉක්මනින්ම මාත් ඒ යාළු ගැන්සියට එක් වුනා.

සූදූ අක්කට ‍ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා..  ඒ අයියත් හරිම හොඳ්‍යි, හැබැයි ඒ ආන්ටි පොඩ්ඩක්වත් ඒ යාළු කමට කැමති නැහැ හැම වෙලොවේම සුදු අක්කයි ආන්ටියි රන්ඩු.. කොච්චර එපා කීවත් ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරනවා.. ගෙදර හැමෝම ඉන්න වෙලාවට උනත් මහ රෑ මැද කිසිම සද්දයක් පිටට නොඑන්න සුදු අකකට ලෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්,

ඒ  ගෙදර හිටිය අනිත් සාමාජිකයා තමයි බින්ගෝ කියන්නේ  ඌ German Shepherd බල්ලෙක්, ගෙදර කෙල්ලෝ දෙන්නට වඩා සැප තියෙනවා බින්ගොට, එයාට අනිවාර්‍යයෙන් බිත්තර ඔනි, දවසට බිත්තර 3ක් කනවා, ඒ ඇරෙන්න රෑට ගෙඩියක් පාන් කනවා, 

ඉතින් අපි කෙල්ලෝ තුන් දෙනාට පාඩම් කරන්න වෙනම කාමරයකුයි, නිදා ගන්න වෙනම කාමරයකුයි තිබුනා. කාමර දෙක එක ලඟ, පාඩම් කරන කාමරේ කොම්පියුටරෙයි පොත් මේස තුනයි. මම නම් වැඩි පුරම පාඩම් කලේ බිම ඉඳගෙන.. සමහර වෙලාවට වාසුත් (වාසනාට අපි කිව්වේ වාසු කියලා) එනවා බිමට. එයාගේ පුරුද්දක් තිබුනා වාඩි වෙන්නේ  අර දුටු ගැමුණු කුමාරයා හිටියැයි කියන විදියට අතපට ඔක්කොම එකට ගුලි කරගෙන, ඉතින් බින්ගොත් ඇවිත් අපි ගොඩේ වැටිලා ඉන්නවා.. බින්ගෝ කළුම කළුයි ඒ නිසා මම බින්ගොට බයයි, ඒ උනත් බින්ගෝ මට හීලෑයි බුරන්නේ එහෙම නෑ මම  එද්දි මාව පිලිගන්න එන්නේ උඩ පැනගෙන, මම එහේ  ඉන්නේ වීක් එන්ඩ් එකේ විතරක් උනත් බින්ගොට මාව ගෙදරම කෙනෙක් වගේ හුරුයි,

ඔය බින්ගෝට ටීවී බලන්න ඔනි, ඒ නිසා සාලේ වෙනමම පුටුවක් තියෙනවා බින්ගොට වෙන් කරලා ඒකා කන්නේ අපි තුන්දෙනා කන වෙලාවට, උදේට අපිට ඇහැරවන්න කියලා ආන්ටි එවන්නේත් බින්ගෝව. ඔන්න දවසක් නියම වැඩක් උනා. අපි නිදා ගන්න කාමරේ ඇඳන් දෙකක් එකට දාලා තමයි අපි නිදා ගත්තේ. මම මැද වාසුයි අක්කියි දෙපැත්තේ. ඉතින් මේ කියන දවසේ අක්කි කලින් නැගිටලා. මායි වාසුයි හොඳට නිදි  මම උන්නේ උදේ පාන්දරට එන තද නින්දේ. මට නිකම් දැනෙනවා දැනෙනවා වගේ මගේ නහට ලඟ පොඩි තෙත ගතියක් වගේ.. මුණ අල්ලන්න ඇඟට යට වෙලා තිබුණ අත ගනිද්දි. සිනිඳුවට දැනෙනවා පුළුන් බෝලයක් වගේ.. මගේ ගෙදර ඇඳේ පිරෙන්න ඉන්නේ ටෙඩියෝ මම ඒකෙක් කියලා හිතලා හොඳට තුරුලු කර ගත්තා. ඒතකොට දැනෙනවා රස්නයක්.. මම උඩ විසි වෙලා ඇස් අරලා බලද්දි බින්ගෝ... ඊඊඊඊඊඊයායායායායා


බය වෙච්චි පාරට මම හූ කියාගෙන නැගිට්ටා.. අක්කී ඉනට අත් දෙක තියාගෙන හිනා වෙවි බලන් ඉන්නවා. සද්දෙට වාසුත් ඇහැරිලා.. ආන්ටි හැන්දත් අරන් ඇවිත් බලා ඉන්නවා.. විලි ලැජ්ජාවයි මුකුත් උනේ නෑ වගේ මම බාර්ත් රෑම් එකට රිංගුවා. එදායින් පස්සේ නම්  උදේට බින්ගෝ එන්න කලින් මම නැගැටිනවා.

වාසුලෑ ආත්තම්මලා ගෙදර තිබුනේ ටිකක් දුරින් අපි තුන්දෙනා ඉඳලා හිටලා දවසක  හවසට යනවා ඒ පැත්තේ. එහේ තිබුනා නා ගස් දෙකක් මම ගියොත් කරන්නේ ගහ වටේ කැරකි කරකි නා මල් බලන එක.. සමහර දවසට නා මල් අරන් ඒ ලඟ තියෙන පන්සලටත් ගොඩ වෙනවා.

ආත්තම්ලෑ දිහා යන්නේ නැති දාට අපි යන්නේ කඩවෝරු කන්න. ඒ පැත්තේ තිබුනා හවසට උළුඳු වඩේ බදින කඩයක් උණු උණුවේ වඩේ ගෙනත් පාඩම් කරන කාමරේ කියන් කන එක අපි තුන් දෙනාට  හරිම ජොලි වැඩක්.. 

අක්කි කලේ කොමස්, මම බයෝ, වාසු ආර්ට්ස්. ඒ නිසා අපි පාඩම් කලේ වෙන වෙනම.. හැබැයි ඉතින් කියවිල්ලනම් අඩුවක් නෑ සමහර වෙලාවට ආන්ටි කියනවා වෙන වෙන ඒවා කරලත් සෑහෙන්ඩ සාකඡ්චා කරන්නේ තුන් දෙනාම කැම්පස් යයි වගේ කියලා.. ඒක නම් සාටර් කින්ඩියක්...

ආයිත් අපි කරන සුන්දරම වැඩේ හොඳට අව්ව තියෙන දවසට වත්ත පහල තියෙන පිහිල්ලට නාන්න යන එක.. ඒ වගේ සුන්දර දිය පාරක් මම මගේ ජීවිතේට ආයි වෙන කොහේවත් දැකලා නැහැ. 


මොන තරම් සුන්දර කාලයක් උනත් මට එහේ වැඩි කාලයක් ඉන්න ලැබුනේ නැහැ   අම්මා අසනීප වුනු නිසාත් මට නුවර එන්න වුන නිසාත් එහෙන් ආවා. ඊට පස්සේ අපි මුණ ගැහුනේ අප්පච්චිලාගේ වෙල් ෆෙයාර් ට්‍රිප් එකකදි. එතකොට මම දෙවනි පාර ඒ ලෙවල් කරනවා. අක්කයි මමයි වාසුයි, අප්පච්චිගේ අනිත් යාළුවාගේ පුතාලා දෙන්නයි, අපේ මල්ලියි අපි සෙට් එක ඒ ට්‍රිප් එකේ පුදුම විදියට සන්තෝස උනා දවස් හතරක්..  ඒත් එක වෙලාවක මගේ මල්ලි මාව අතෑරලා වාසුගේ අතින් අල්ලන් ගියා කියලා මට දුක හිතිලා ඇඬුනා. ඊට පස්සේ වාසුයි මල්ලියි දෙන්නා මාව හිනස්සවලා ඒ දෙන්නා ගානේ ම‍ටෙ අයිස් කෝපි අරන් දිලා.. මාව නලවා ගත්තා.


ඊට පස්සේ තමා මගේ ජීවිතේ මහා භයානක පෙරලිය.. මම ඒ ලෙවල් නතර කරලා ජොබ් එකට ගිහින් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මට පරණ යාළුවෝ හැමෝම අමතක උනා. ජිවීතේ වැඩි හරියක් ගෙවුනේ කම්පියුටර් එක එක්ක නිසා.

ඔය අතරේ දවසක් අම්මා කෝල් කරලා කිව්වා අන්කල්ලාගේ එක දුවක් වහ බීලලු අක්කද වාසුද දන්නේ නැහැ එහේ යන්න  ගිහින් බලන්න හෙට නිවාඩු වක් දාලා එන්න කියලා. 

හරියටම 2009  මාර්තු  9 වැනිදා.. පහුවදා පෝය දවසක් උනත් අපේ ඔපිස් එකේ ක්‍රිකට් මැච් එකක් ඊටත් වඩා උපන්දින පාටියක්.. ඒ සේරම දාලා මම ගියා දියතලාව ඉස්පිරිතාලේට.. වහ බීලා තියෙන්නේ වාසු.. අක්කා බැඳලා බබාට තාම මාසයයිලු... ඇයි වහ බිව්වේ කියලා අහද්දියි දන්නේ වාසුත් මැරි කරන්න කෙනෙක් එක්ක එන්ගේජ් වෙලා හිටිය බවක්, ඒක අන්කල් නොදැන ආන්ටි විතරක් දැනගෙන සිද්ද වුන දෙයක්ලු.

කොහොම හරි ඒ කොල්ලා‍ නිතර වාසු එක්ක රණ්ඩු කරාලු. අන්තිමට ඔය සිද්දිය සිදද් වුන දවසෙත් ඒ දෙන්නා රණ්ඩු වෙලා. හේතුව වාසුට ඒ කොල්ලගේ තවත් ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනු එක..

අන්කල් වගේම ආන්ටිත් හිටියේ ගොඩක් මානසිකව වැටිලා.. වාසු හිටියේ දැඩිසත්කාර ඒකකයේ.. ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයි කියලා ලොකු බලා පොරොත්තුවක් හැමෝටම තිබුනා.. එදා ඒද්දි මම ආන්ටිට කීවේ ළබන සතියේ ආයිම මම එනවා මට දෙන්න වාසුව මම නුවරඑළියේ ගෙනිහින් මගේ ගාව තියන් බලා ගන්නම් කියලා.. මම එහෙම කියද්දි ආන්ටි මාව තුරුල් කරන් හයියෙන් ඇඩුවා..

ඊළඟ සතියේත් මම ගියා ඒත්.. මම දොර ලඟින් යද්දිම ආඬාගෙන ආපු ආන්ටි කීවේ "සුදු පුතේ ඔයාට වාසුව එක්කරන් යන්න වෙන්නේ  මෙහෙම" කියලා වාසු නිදාගෙන උන්න පෙට්ටිය පෙන්නලා.. ඒ මගේ ජීවිතේ පළමු අහිමි වීම... මළ ගෙදර හිටිය හැමෝම මගෙන්  ඇහුවේ පුතේ ඔයා එක්කවත් වාසු කිසි දෙයක් කිව්වේ නැද්ද කියලා.. ඒත් මට කියාගන්න බැරි උනා.. මම මගේ හොඳම යාළුවාව ටික කාලෙකට අමතක කරාගෙන් මට එයාව බේර ගන්න බැරි උනා කියලා.



Aug 9, 2011

අහන්න..

අද උදේම සුදු හංසියා ඔපිස් එකට ආවේ  උදේ පාන්දර පොද වැස්සට තෙමීගෙන,  අද උදෙන්ම නුවරට පොඩි මල් වැස්සක් වැස්සා.. ඒකියන්නේ ඒ තරම් සැර නැති ලා වැස්සක්.. සුද්දි  කවදත් කුඩයක් පාවිච්චි කලේ නැහැ.  බෝඩිම ඇතුලේ ඉඳන්ම අත දාලා බස් එක නවත්තගෙන ඔපිස් එකේ ගේට්ටුව අද්දරම  බස් එක නවත්තගෙන යාන්නම් වැස්සට තෙමිලා ඔපිස් එකට ගොඩ උනත් සුද්දි හිටියේ සීතලේ ගැහි  ගැහි.

ඉතින් ඒ නිසා එක පාර උඩ ඔපිස් කැබින් එකට එන්නේ නැතිව පහල සර්වර් එක ලඟ වාඩි වෙලා පොඩ්ඩක් ඉන්නම් කියලා සුද්දි වාඩි උනා.  අහ්!! ඊයේ රැ දාලා ගිය ටොරන්ට් එක ඩවුන්ලෝඩ් වෙලා ඉවරයි.. සුද්දි ඇස් දෙකෙන් හිනා වෙවී  ඉන්න කොට ඔපිස් එකේ නියුට්‍රීෂියන් අයියා ‍ආවා එයා ටිකක් විහිලු කාරයා, 

"බබාට කුඩයක් නැද්ද ආ..." අයියා  පුරුදු විදියටම අයියා මගේ කාඩ් එකෙන්ම කතා කලා. ඔය කාඩ් එක මට වැටුනේ මෙහෙම, මමයි මේ  ඔපීස්යේ ඉන්න ලා බාලම කෙනා, ඒ  නිසා මුලින් සේරෝම අයියලා වූටි කියන්න පටන් ගත්තා. චූටි අන්තිමට චූටි බබා උනා, පස්සෙන් පහු චුටි හැලිලා බබා විතරක් ඉතුරු උනා. ඒකට අකමැති අක්කලා  මට බබා කියද්දි කොහෙන් හරි පොටක් අල්ලන් නියුට්‍රීසියන් අයියා එක්ක වලි දා ගන්නවා. පුරුදු විදියට එකවුන්ට්ස් ඇක්සැකටිව් අක්කා පටන් ගත්තා වදේ ගහන්න.. ඔන්න දැන් දෙන්නා එකාට එකාට නෝන්ඩි පාස් කර ගන්නවා..  උදේම ලේ පිරිසිදු වෙන්නත් එක්ක කට්ටිය හිනා වෙනවා මාත් හිනාව දාගෙන හිටියා.

ඔය අතරේ හිනා මූඩ් එකෙන්ම නියුට්‍රීසියන් අයියා අහනවා..

"ආ.. අද මොකද මළ ගෙදර මුඩ් එකේ" 

මාත් එතකොට වීදුරු දොරෙන් එහා පැත්ත බැලුවා අපේ රිසෙප්ෂනිස්ට් අක්කා.. වෙනදට පාට පාට ඔසරි අදින කෙනා, සිකුරාදට ටයිට් ජීන්ස් ‍ ඇඳලා ඉස්ටැයිල් එකට එන කෙනා, අද දිගම දිග සායකුයි සුදු බ්ලව්ස් එකකුයි ඇඳලා මුණ ලොකු දුකකින් බර වෙලා.  එයා ඊයේ වැඩට ආවේ නැහැ, කිව්වෙ නම් ෆියුනරල් එකකට ගියා කියලා.. නියුට්‍රීෂියන් අයියා ඊයේ ආවේ නැහැ ඒ නිසා එයා දන්නේ නැහැ නේ  ඉතින් මම කිවා, 

"එයා මළ ගෙදරක ඉඳන් තමා එන්නේ " කියලා.. අක්කා මුකුත්ම නොකියා ගිහින් එයාගේ සීට් එකේ වාඩි උනා.. ඒත් සුද්දිගේ හිතට අමාරුයි, නොදැන හරි එයාගේ වේදනාවට නියුට්‍රීෂීයන් අයියා හිනා උනානේ.. ඉතින් සුද්දි ගියා ගිහින් වැටුනා කදේට මෙන්න මෙහෙම 

"කවුද අක්කි නැති උනේ"

"මගේ මල්ලි කෙනෙක්.. අම්මාගේ නංගිගේ පුතා.. මාත් එක්කමයි ඉන්නේ මට වගේම පිස්සු අපි දෙන්නා තමා පිස්සු කෙලින්නේ ට්‍රිප් එකක් ගියත්, දැන් සති දෙකකට කලින් අපේ ගෙදර දානයක් තිබුනා ඒකට ඇවිත් උදව් කරලා පරිස්සමින් ගෙදර ගියා කියලා මට කෝල් එකකුත් දුන්නා"

"හ්ම්ම්.. ඔහොම තමයි අනේ ඉතින් මොකද උනේ කියන්නකෝ"

"හොරනදි බයිසිකලේ ඇකිස්ඩන්ට් වෙලා ඔළුව වැදිලා. යාළුවෙක් එක්ක ගිහින් තියෙන්නේ යාළුවාට අමාරුවක් නෑ, මල්ලිටයි බරපතල වෙලා තියෙන්නේ, නංගි ඔයාට වඩා අවුරුද්දයි වැඩිමහල් සුදුයි උසයි ලස්සන කොල්ලා.. අපි කාටවත් හිතා ගන්න බැහැ  හොරු අරන් ගියා වගේ  සෙනසුරාදා රෑ තමයි සිද්ද වුනේ".
අක්කා හිතේ වේදනාවටත් එක්ක කියනවා.. වෙනදා ඔපිස් එක දෙක වෙන්න හිනා වෙන්නේ එයා. මටත් ගොඩක් දුකයි, තවත් විස්තර අහලා දුක් දෙන්න බැරී නිසා මම හෙමින් මගේ සීට් එකට ආවා.

හිතන්න දේවල් ගොඩක් තිබුනා මට,  අපේ ගෙවල් ලඟ ඉන්න බණ්ඩක්කාත් (බණ්ඩාර අයියලාගේ අක්කා) පහුගිය දවසක පුතත් එක්ක බයිසිකලේ යද්දි හැප්පිලා, බණ්ඩක්කා කියන්නේ එයාගේ රූප ස්වබාව ගැන ඔනිවට වඩා හිතන කෙනක්. දැන් අවුරුදු 35 පැනලා තිබුනත් එයා හැම මාසෙම සැලෝන් එකට ගිහින් ෆුල් ඔප්ෂන් පැකේජ් එකක් ගන්නවා, ඉස්කෝලේ යන දවස් වල මගේ මුනේ කුරුලෑවක් දාපු ගමන් අපේ අම්මා ඉන්දියන් කහ කෑල්ලක්  උරච්චි කරලා තුවාලේ උඩින් ගාන්නේ කැලැල්  නොහිටින්න. ඉතින් දවසක් බණ්ඩක්කා ආවා මම කුරුලෑ වල කහ ගාගෙන ඉන්න වෙලාවක, අනේද කියන්නේ ඒක අපේ ආත්තම්මා දඹදිව ගිහින් ගෙනාපු කහ කෑල්ලක් කියපු ගමන් මේකි කහ කෑල්ලෙන් බාගයක් වෙන්න පිහියෙන් කපාගෙන අරන් ගියානේ මුනේ උලන්න. හික් හික් මම බොරුවට කිවේ ඒක ඉන්දියාවෙන් ගෙනාවා කියලා අම්මා‍ ඒක අරන් තිබුනේ රත්තරන් බඩු කඩේකින්. 

ඉතින් ඔන්න ඔය වගේ මුණ ගැන හිතපු බණ්ඩක්කා බයිසිකල් ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මාස ගානක් කාටවත් මුන දෙන්න කැමති උනේ නෑ, කොටින්ම කියනවනම්  පහු ගිය සතියේ නිවාඩු දවසේ ගෙදර ගිය වෙලාවේ අම්මයි මමයි එයා බලන්න ගිය වෙලාවේවත් මුණ පෙන්නුවේ නැහැ ඒ තරමට මුහුණ සීරිලා තුවාල වෙලා කැලැල්..

දැන් මට මේ සිද්දියත් එක තව දෙයක් මතක් වෙනවා. ඊයේ මම ගියා පේරා කැම්පස් එකට පොත් වගයක් ගන්න. පොත් ටික අරන් ආපහු එද්දි අපි උඩ පේරාදෙනිය පාරේ ආවේ පෙරහැර නිසා ටවුන් හරියේ ට්‍රැපික් මග අරින්න, අපේ ඔපිස් එකේ ඩැයිවර් කොල්ලා අවුරුදු 30ක් වෙලත් තාම හිතන් ඉන්නේ පොර 18 ක් 20ක් විතර වයසේ බබා කියලා, පොරට මම කියන්නේ චචා කියලා ඒ තරම්  ලාමක ටින් ටින්  පොරක්.

ඉතින් අපි උඩ පේරාදෙනිය පාරේ මගක් එද්දි පිටි පස්සෙන් එනවා බයිසිකලයක්, මටත් කලින් චාචා අදුනා ගත්තා. ඒ කවුද කියලා 
"අන්න මිස් මිස්ගේ යාළුවෙක් එනවා පිටි පස්සෙන්" කියලා පොර සයිඩ් කණ්නාඩිය පෙන්නුවා.. දැන් ඔය මහත්ම මහත්මීන් දන්නවනේ කවුද කියලා. ඔය කියපු දිහෑ ඉන්නේ වෙන කවුද ඉතින් අපේ ලොකු අයියා තමා. 

"ඒ ඒ ඔවර් ටේක් කරන්න දීපන්"  කියලා මාත් සයිඩ් ග්ලාස් එක එහෙම ඇ‍ර ගත්තා. ලොකු අයියත් ඉතින් ඔවර් ටේක් කලා, ඒකල්ලා අපිට  කතාත් කරලා ටටාත් කියලා ගියා.. අපිත් පිටිපස්සෙන් ගියා.. දැන් අයියා ගෙවල් පාරට හැරෙන්න යන්නේ, චාචා කියනවා "මිස් ඔපිස් එක වහන්න තව වෙලා තියනවා පොඩි පිස්සුවක් කෙලිමු"  කියලා  මාත් බැලුවා මේකා මොනාද කරන්න යන්සෙන් කියලා.. අනේ ඉතින් යන්න ඔනි පාරේ නොයා චාචා හැරෙව්වේ නැද්ද වාහනේ ලොකු අයියා ගිය දිහාට. මට පැලෙන්න හිනා.. ඔන්න දැන් අපි ලොකු අයියාව ෆලෝ කරනවා අයියා නේද යනවා හැටට හැටේ.. පිටි පස්සෙන් එන වාහනේ ගැනවත් සිහියක් නෑ.. චාචා හෝන් කරනවා ඒත් ගානක් නැ.. යන්න තියෙන උපරිම වේගෙන් යනවා.. වංගු පාරේ අයියා ගිය වේගෙට අපිට දැන් හොයා ගන්න බෑ කොහේට ගියාද කියලා චචත් අතෑරියේ නෑ ෆුල් ස්පීඩ් කරලා ගියා පිටි පස්සේ සීට් එකේ  තිබුන පොත් ටික වාහනේ පුරා විසිරිලා.. බැරිම තැන මම කිව්වා චචාට හෙමීට යමන් කියලා කොහේද මු කියන දේ අහන්නේම නෑ.. කොම හරි අපි එනවා දැකලා අයියා බයිසිකලේ නතර කලා.  අපි  නතර කරලා කතා කලාම එයා අපිට යන්න ලේසි පාරකුත් කියලා අපේ පිටි පස්සෙන් ආවා ඒ පාර නම් හිමින් ආවේ... පස්සේ අයියා ගෙවල් පාරට දැම්මට පස්සේ අපි බෝවලවත්ත පැත්තෙන් හීරැස්සගල පාරට දාලා ආවා ඔපිසියට පරංගි දෙන්නා කොට්ටේ ගියා වගේ. 

දැන් ඔය ෆලෝ කිරිල් ජොලියට කරාගෙන් මම දන්නවා අපේ ලොකු අයියට නංගිලා තුන් දෙනා ගැනවත්, මල්ලිලා දෙන්නා ගැනවත්, අම්මා අප්පච්චි ගැනවත්, තමන් ගැනවත්, අඩුම ගානේ පූමා ගැනවත්, කිසිම ආදරයක් නෑ කියලා.. මොකද වාහන අඩු පාළු පාරක උනත් ඔය හැටි වේගයෙන් යනවා කියන්නේ අනතුරකට අත වැනීමක් තමයි. 

මීට වඩා මම නම් මුකුත් කියන්නේ නැහැ ලොකු අයියේ ඔයාම කල්පනා කරලා බලන්න  තමන්ගේ වේගයේ අවසාන ප්‍රතිථලයේ ස්මභාවිතාවය මොන වගේ එකක්ද කියලා...

කතාව ඉවරයි. ඔන්න සුද්දි යන්නේ හිතන්න යමක් ඉතිරි කරලා ලොකු අයියට විතරක් නෙවේ බයිසිකල් වල ඉගිලෙන අයියලා සේරටම..

අහ්!! ඉලන් අයියාගේ මල ගෙදර ගිහින් එද්දි  දිමයි මාරයයි ආපු ගමනත් මතකයි.. ඒකත් මීට අසමාන නෑ...

Aug 6, 2011

නික්මීම

සිරුරේ සියුම් නහර වලින් නැගෙන වේදනාව ඉවසිය හැක්කක් නොවේ, ඉදිමුණු ශරීරය තැනින් තැන පුපුරා ගලන කහ පැහැති සැරව ගඳින් මුළු කාමරයම පිරි ඇතුවාට සැක නැත. මුළු දවසම වැසුණු දොර පියන් නිසා ඒ දුර්ගන්ධය පිටතට නොයනවායැයි මා සිතමි.. නිතර කාමරටය පැමිනෙන සාත්තු සේවිකාවත් ඉඳ හිට පැමිනෙන මාගේ බාල සහෝදරයාත් මුව වැසුම් දමා පැමිනෙන්නේ ඒ දුර්ගණ්ධය ඔවුනට ඉවසිය හැක්කක් නොවන නිසා විය යුතුය. ඒහෙත්  ඒ දුර්ගණ්ධය වුවද මට සුවඳක් සේ දැනේ මා මේ  අඳුරු කාමරයට කොටු වී මේ ගත කරන්නේ සිව්වෙනි මාසයයි.. 

මා මට වැලඳි ඇති රෝගය කුමක්ද ඒයට කල හැකි ප්‍රතිකාර මොනවාද යන්නවත් මා නොදනිමි. එහෙත් මා ජීව විද්‍යා උපාධිධාරිණියක්මි. විශ්ව විද්‍යාලයේ අවසන් දෙවසරේදි වසරකට එක්කෙනෙකු බැගින් දෙවියන් වහන්සේ විසින් මාගේ දෙමාපියන් දෙදෙනා ගෙන්වා ගත්තේය. එවකට පාසැල් අධ්‍යාපනය හදාරමින් උන් බාල සොයුරා නිසි වයසට එනතුරුයි සිතා මම විවාහයක් ගැන නොසිතා දෙමාපිය උරුමයෙන් ලැබුණු විශාල දේපල ආරක්ෂා කලෙමි. අප දෙදෙනා කුඩා කල සිට රැක බලාගත් ආයම්මා ඒකල දිනපතා වෙහෙසුනේ මා විවාහය වෙනුවෙන් කැමති කර ගැන්මටයි.  එවකට මා සිතෙහිද ප්‍රේමණිය සිතිවිලි නොතිබුනාම නොවේ. කඩවසම් තරුණයෙකු හා අල්තාරය පාමුල දෙවියන් ඉදිරියේ මුදු මාරු කොට විවාහ වන්නට. සුන්දර පල්ලි භුමියේ පයිනස් ගස් අතරින් සුදු වේලයෙන් සැරසී සැමියාගේ සුරතේ වෙලි පඩිපෙල් බසින්නට, මුහුද  අද්දර තානායමක සුන්දර මධු සමයක් ගත් කරන්නට, කඩවසම් සැමියාත් මමත් පමණක් සිටිනා කුඩා නිවසක සැහැල්ලු කුඩා ඇඳුමකින් සැරසි සුන්දර හවස් යාමයන් ගත කරන්නට, කාර්‍යබහුල ජීවිතය තුල වුවද දියණියක හා පුතනුවකගේ මවක් වන්නට, විවේකි සති අන්තයක ඔවුන් හා නිවාඩුවක් ගත කරන්නට, මෙන්ම දරුවන්ගේ දරුවන් දකින්නටද මා සිතෙහි සිහිනයක් මෙන්ම අති විශාල බලා පොරොත්තුවක් විය.

එහෙත් සොයුරාගේ ඉගෙනිම් කටයුතු පශ්චාත් උපාධියෙනුත් කෙලවර නොවුයෙන් ඔහු ගේ ඉගෙනීම අවසන් වන විට මා විවාහ වන වයස පසු කොට සිටියෙමි. අවසන දෙමාපිය උරුමයෙන් ලැබුනු ව්‍යාපාර සහ දේපල සියල්ල සොයුරාට පවරා මාගේ පශ්චාත් උපාධිය සඳහා මා විදෙස් ගත වුනෙමි. එරටෙහිම රැකියාවක් ලබා මේ නන්නාදුනන රෝගයත් සමඟ යලිත් මා මව් රට පැමිනියේ මීට මාස පහකට පෙරයි.

මේ සියල්ල මට සිහිවන්නට ඇත්තේ මා සුළු වේලාවක් තුල පිවිසි සුව නින්දේ ඇවෑමත් සමඟ වුවද නැවත නින්දෙන් අවධි වු මා හට  ශරිරයේ වු දැඩි වේදනාව ඉවසිය නොහැකි විය. සිහින් කෙඳිරිල්ලක් මුවින් නිතුක් වත්ම සාත්තු සේවිකාව ආවරණය තරගත් මුහුණින් යුතුව පැමිණ ඇඳ අසල සිට ගත්තාය. ඇයට යමක් කීමට අවැසි විය නමුත් මුව විවර  නොවිනි,   ඝණ කම් ලාටු වර්ගයකින් දොතොල් එකිනෙක ඇලි පවතින බවක් දැනුනි.. මුව විවර කිරිමට හෝ සාත්තු සේවිකාව සමඟ සිනා සිමටවත් මාගේ කම්මුල් මාංශ පේෂින් ඉඩ නුදුන්නේය.

මේ කාමරයෙන් පිටතට යෑමේ හදිසි අවශ්‍යතාවයත් දැනුනත් මාගේ සිරුර මට වලංගු නැති වී දැන් මාසයකටත් වැඩි,ය මම දෙවියන් වහන්සේව සිහි කලෙමි. මා සිත තුල වු විශ්වාසයට අනූව මේ වේදනාවෙන් මිදිමට උන්වහන්සේ මා හට දැන් වත් පිහිට විය යුතුය.

මා සිතුවා සේම සිහින් ආලෝක ධාරාවක් සමඟ  සීලිමේ පෙනී  සිටි උන් වහන්සේගේ පැහැදිලි මිහිරි හඬින් මා හට උන් වහන්සේ වෙන පැමිනෙන ලෙස දන්වා සිටියේය.මම දෙනෙත් පියා උන්වහන්සේට ස්තූති කලෙමි.. විවර වු දෙනෙතට උන්වහන්සේ පෙනෙන්ට නොසිටියෙන් සිත සිහින් ලෙස කම්පාවට පත් වුනත්, මේ සිරුරෙන් වෙන්වී යන්නට මගේ සිත දැඩිවි තිබුණි,

මා හට දැනුනේ සිරුර පුරා දැල්වුණු වේදනාව එක්වර දුරුවු විට දැනෙන සැහැල්ලුව පමණී. සැනෙන් සා පාවී ගිය මාගේ සිරුර සීලිමේ රැඳුනි. කාමරයේ මැද වු ගිලන් සයනය මත උඩුබැලි අතර වතිර සිටින තාරා සිරිවර්ධන දෙස මොහොතක් බලා සිටියෙමි.


සිහින්ව තිබුණු සිරුර අසාමාන්‍ය ලෙස ඉදිමි තැන තැන පිපිරි සැරව ගලමින් තිබේ.. දෙනෙත් විසල්ව විවර වීලාය. අත් වැසුම් දමා ගත් සාත්තු සේවිකාව නිසල සිරුරේ නාඩි පරික්ෂා කොට කලබලයෙන් මෙන් කාමරයෙන් ඉවතට ගියාය. 

මා ඇය පසු පස ගියෙමි. ඇය දිව ගියේ මා ගේ බාල සොයුරා වු කාර්‍යාල කාමරයටයි.

“Sir  am really sorry she is no more“ පහත් කර ගත් හිසින් යුතුව කී ඇ නිසොල්මනේ සිටියාය. මා බලා සිටියේ මාගේ සොයුරා දෙසයි, ඔහුගේ දෙනෙතේ වු කණගාටුවේ සේයාව මා සිත රිදවන්නට සමත් විය මා ඔහු පිටු පසින් සිට හිස පිරිමැද්දෙමි එහෙත් ඒ වග ඔහුට නොදැනුන වග මා හට විශ්වාසය. 

මොහොතකින් මා පිටව ගොස් අසල කාමරයේ වු ආයාම්මා ගැන විපරම් කලෙමි. දැන් වසර තුනක සිට අංශබාග රෝගයෙන් පෙලෙන ඇය ඇයගේ සාත්තු සේවිකාවත් සමඟ මා ගැන කියමින් හඩමින් සිටියාය, යහනෙන් බසින්නට වාරු නොවුනත් ඇය මා ගේ නිසල සිරුර දැකීමට උවමනා බව කියමින් හඬා වැටුනාය.

මම කම්පාවට පත්වීමි.. මාගේ වියෝය ඇයට මහත් පාඩුවකි.. නැත, මා මෙසේ වෙන්ව යා යුතු නැත, කෙසේ  හෝ  මේ රොගය සමඟ සටන් කොට මා ජය ගත යුතුය, ඒ සේ සිතා නැවතත් සිරුර තුලට යන්නට මම අපමණ උත්සහ කලෙමි එහෙත්. මට එය කල හැකි නොවීය.

මම සොයුරාගේ කාමරයට ගියෙමි.

“I have paid you  for six months. I want my money back" හදිසියේ ඇසුණු වදන් ඔස්සේ ගිය මා හට සියල්ල වැටහුනි මාගේ සාත්තු සේවිකාවට මා රැක බලා ගැන්ම වෙනුවෙන් මාස හයකට ගෙවු මුදල යලිත් ඉල්ලා මා සොයුරා ඇය හා වාද කරයි. මොහොතකින් මුදල්  නෝට්ටු කිහිපයකින් ඔහුගේ මුහුණට දමා ගැසූ ඇය ඇඳුම් බෑගයත් රැගෙන පිටව ගියාය.

ඇය පසුපසින් මිඳුලට ගිය මා හට දැක ගත හැකි වුයේ අසල්වාසීන් කිහිප දෙනෙක් මිදුලේ රැස් වී සියින අයුරකුයි. ඔවුන්ගේ  අතරට පැමිණී මා සොයුරා කියා සිටි දෙයින් මගේ නික්මීම මා සාධාරණි කරණය කර ගතිමි.

“ගෙදර ඔවා කරන්න බෑ. අනික මැරිච්ච කෙනෙක් වෙනුවෙන් වියදම් කරන්න සල්ලි මා ගාව නැහැ, දැන් මල් ශාලාවට අරන් යනවා හෙට උදේ එතැනින්ම කරන්ට් එකට යවනවා“




Aug 1, 2011

ඇය මම කේන්දරය සහ සිහිනය

මීට වසරකට දෙකකට පෙර මගේ පෞද්ගලික විද්‍යුත් තැපැල් ගිණුමට ස්පෑම් පණිවුඩයක් ලැබුණි.. කියවා බලද්දි එහි සඳහන් වුයේ උපන් දිනය සහ වේලාව අනූව බටහිර තාරකා ශාස්ත්රයට අනූව මා හට මාගේ කල දවස පිළිබද දිනපතා ඊමේල් පණිවුඩ ලබා ගැනිමට ඔවුන්ගේ වෙබ් අඩවියේ ලියා පදිංචි වන ලෙසයි. එවෙලෙහි ඇතිවු හදිසි හැඟිමක් නිසා මමද එම වෙබ් අඩවියේ ලියා පදිංචි වුවත් ජින්නා නැමැති ඇයගෙන් ලැබෙන පණිවුඩ කියවනවා වෙනුවට නොකියවාම මකා දැමුවෙමි.. එහෙත් කුමක්දෝ හේතුවකට මම එම අඩවියේ සාමාජිකත්වය අත්නොහලෙමි.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ මාගේ කලමනා කාර වරියටද මෙම විද්‍යුත් තැපැල් පණිඩුවය එලෙසම ලැබිණි.. ඇයද වෙබ් අඩවියේ ලියා පදිංචි වී දිනපතා ඇගේ කල දවස දැන ගත්තාය.. එක් දිනක හදිසියේම ඇය ඉතා දීර්ඝ ලිපියකින් කියා සිටියේ තාරකා පිහිටිමට අනූව මාගේ කලමණාකාරවරියට උසස්වීමක් ලැබෙන බවත් ගතවන කාලය ඉතාමත් වාසනාවන්ත බවත්ය නමුත් එය සිදුවන අයුරු සහ වැඩිවිස්තර ලබා දිමට ඇයට මුදල් ගෙවන ලෙස කියා  සබැදියක් දි තිබුණි.. 

දැනගත් විස්තර ප්රමානවත් බැවින් අප මුදල් නොගෙව්වෙමු.. ටික දිනකින් ඇගේ විද්‍යුත් තැපැල් පණිවිඩ නැතිවිනි.

එහෙත් ඇය කියු අයුරුම සියල්ල සිදුවිය....

කතාව ඇරඹෙන්නේ එතැනිනි පෙබරවාරි මාර්තු අතර කාලයේ මට යලිත් ජින්නාගෙන් විද්‍යුත් තැපැල් පණිවිඩ ලැබිණි.. එහි සඳහන් වන්නේ අහම්බෙන් මා හට නව රැකියාවකට කැඳවිම් ලැබෙන බවය වැඩි විස්තර ගැනීම සදහා මා හට ඇයට ගෙවිය යුතු විය.. එහෙත් සිදුවන්නේ හොඳ දෙයක් නම් වැඩි විස්තර සියැසින් දකිමියි සිතා ම නොගෙව්වෙමි.

ඇය කියු ලෙසම අධ්‍යාපන ප්රදර්ශණයකදි හමුවන කෙනෙකු මා හට අනගි රැකියාවක් සඳහා ආරාධනා කරණු ලැබීය.. එහෙත් දැනට මා ලබන වැටුපෙන් හරි අඩක් පමණක් වැටුප ලෙස ඔවුන් කීවෙන් මා එය ප්රතික්ෂේප කලෙමි.. නමුත් සම්මුඛ පරික්ෂන හතරකදිම ඔවුන් කෙසේ හෝ මාගේ අපේකෂිත වැටුපට ආසන්න වැටුපක් හෝ ගෙවිමට එකඟ විය... අවසානයේ සම්මුඛපරිකෂන වලට යාම ඇතිවුයෙන් මා ඒ රැකියාවට නොඑන බව කීවෙමි

ජින්නා යලිත් මා හට විද්‍යුත් තැපැල් පණිවිඩයක් එවන්නේ පසුගිය පූනි මාසයේදීය.. මා සිහිනයක් පිළිබඳ කතා කල පෙර ලිපියේ මා සදහන් කල තත්වය ඇය එහි බලා සිටියා සේ  කිවාය.. මාගේ ඉතිහාසය ඇය දන්නේ කෙසේදැයි මා පුදුම වීමි.. එහෙත් පවතින තත්වයට අනූව ඇය කියු  ලෙසම මට නව රැකියාවක් සඳහා ආරාධනා ලැබිණි.. සැප්තැම්බර් පළමු වැනිදා සිට මා එහි යා යුතුය... නමුත්

මා හට මෙම රැකියාවෙන් ඉවත් වීමට සුදුසු වාතාවරණයක් නැති බව මම දැන සිටියෙමි.. හේතු සිය ගනනකි මා රැකියාව කරන ස්ථානය බොහෝ දෙනෙක් දන්නා බැවින් ඒවා මොනවාදැයි කීමට බලාපොරොත්තුවක් නැත..නමුත් කිව යුත්ත අතිශයින් පුදුමාකාරය..

26 වැනි දින මා ඉල්ලා අස්වීමට සිතා 25 වැනි දින නින්දට ගියෙමි.. සිහිනයෙන් මාගේ ඉල්ලා අස්වීම ප්රතික්ෂේප විය... පසුගිය ලිපියෙන් කිවා සේම සිහිනය සැබෑවිය...

දැන් ගිරයකට අසුවු පුවක් ගෙඩියක් මෙන් සිටිමි... 

කේන්දරය මා විශ්වාස නොකරමි.. එහෙත් ජින්නා නැමැති ඇය කියනා සියල්ල එලෙසින් සිදුවේ..  සුරංගනා කතාවක් ලෙස මුල් වතාවේ සතුටු දායක ලෙස සියල්ල සිදුවි ඇය නොකියනා (කිවීමට මුදල් අය කරනා) කොටස අසාමාන්‍ය ලෙස අවාසනාවන්ත අයුරින් සිදුවේ... 

ඇය ලිපිය ඇරඹුවේ මෙසේය
I am contacting you today as we have not been in touch for a while now. This year 2011 is going by so quickly and I wanted to get back in touch to let you know that I have not forgotten about you. I came across your chart again and thought I would have a peak at it to see if there had been any changes. I had a feeling that something was not right and it started to bother me a little. 

සහ මෙලෙස අවසන් කලාය

You need to start building yourself up for a more comfortable life, and I’m going to give you the confidence to do so, you are a good and honest person who deserves this opportunity, please don't shy away from it and take it. There will be lots of people telling you different but I know that you have worked very very hard and now, you just need a little help and direction to guide you. 

ඉතින් මම  අතරමන්ව හිඳිමි