මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Nov 24, 2011

උඳුවප් සීතල

ඇවිල්ලා ඇවිල්ලා සිතල උඳුවප් මාසේ ඇවිල්ලා.. 
කෝ.. කෝ. කොහේද.. තාම නොවැම්බරේනේ තව දවස් කීයක් තියෙනවද උඳුවප් මාසේට.. J

මාසේ  උදා වෙන්න දවස් තියෙනවා තමයි ඒත් අපිට නම් දැන්මම උඳුවප් උදා වුනා වගේ තමයි ඒ මොකද දන්නවද දැන් හරියටම සතියක වෙලේ ඉඳන් අපිට රෑ දවල් වෙනසක් නැතිව වහිනවා.. තලමට එන ඔයාලා දන්නවානේ හංසි ආසම පාරිසරික වෙනස් වීම වැස්ස කියලා.. හනේ.. ඉතින් මේ පාරනම් මට වැස්ස ඇති වගේ දැනුනා. ඇයි හත්වලාමේ වහිනවා කියලා මෙහෙම වහින්න ඔනිද..  L ඒත් ඉතින් හැම අවුරුද්දකම අනිවාර්‍යෙයන් එන මේ වැහි කාලේට දැන් අවුරුදු විසි ගානක ඉඳන් මුහුණ දිලා පුරුදු නිසා ඒ තරම් අළුත් අත්දැකීමක්නම් නෙවෙයි.. හැබැයි ඉතින් මේ පාර මට ඒ අත්දැකීම විඳන්න උනේ හරිම සානුකම්පිත විදියකට.. පහුගිය සතිවල දවස් ගානක් මහ රෑ මැදත් ඇහැරගෙන වැඩ කරපු ඒවටත් එක්ක හරියන්න දැන් සතියකට කලින් මට හොඳටම උණ ගැනුනානේ... ඒ අස්සේ සෙමත් වැඩි වෙලා... තුන්පාරක් බෙහෙත් අරගෙනත් තාමත් සනීප නෑ...  හපොයි ඉතින් නීති කෝටියයි  සීතල වතුර අල්ලන්න බෑ, සීතල කෑම කන්න බෑ. තොප්පියක් නොදා ඉන්න අවසර නෑ.. හපොයි මගේ දෙවියනේ.. වැහි පිට වැහි හතක් ආවත් මම ආසම නැත්තේ තොප්පි දාන්න තමයි.. ඒත් ඉතින් මොනවා කරන්නද මාත් උන්නේ හරිම ආරුවෙන් හුසුම ගන්න බැරිව.. කොහොම කොහොම හරි අම්මාගෙයි අත්තම්මාගෙයි දාඩිය මහන්සියෙන් මම ඊයේ ඉඳන් නෝමල් විදියට නහයෙන් හුසුම් ගන්නවා නැත්නම් හනේ කට ඇරගෙන හුසුම ගත්තේ මේ හැටි දවසක්...

මාත් මේ ටිකේ හොඳ හොඳ වැඩ කරනවා සීතලටමද කොහොද .. අන්න ඒ වගේ අද හවස මට මුණ සොදන්න අම්මා වෙනමම වතුර මුට්ටියක් උණු කරලා තියෙද්දි රෑට බත් උයන්න උණු කරපු වතුර ටික අරන් ගිහින් සීතල වතුර එක්ක එකතු කරලා මුණ සේදුවා.. අනේ ඉතින අපේ අත්තම්මාට ඇති ඒ විහිලුව.. කතාවටත් කියනවනේ බතට ගන්නේ ඇඟිලි පුරුක් දෙක තරමට වතුර කියලානේ ඉතින් ඒ වගෙ ටිකකින් මම හවස මුණ අතපය සේදුවා කියන්නේ විහිලුවක් නේන්නම්... පස්සේ ඉතින් අම්මා මට උණු කරපු වතුර ටික දීලා ආයි මුණ සෝදන්න යැව්වා ඒක වෙනම කතාවක්. J J J

උදේ පාන්දර පටන් අරගෙන දවල් වෙනකලුත් හවස් වෙනකලුත් රෑ වෙනකලුත් පහුවදාට උදේවෙනකලුත් ඉවරයක් නැති වැස්සත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ගේ ජීවිත ගලාගෙන යන විදියත් වෙලාවකට ෂේක්ශ්පියර්ගේ චිත්‍රයක් වගේ කලාත්මකයි කියලයි මටත් හිතෙන්නේ. ඒකෙත් මහ ගුප්ත ලස්සනක් තියෙනවා.

උදේ පාන්දරට මීදුමෙන් වැහුණු පරිසරයේ ලොකු වැහිකබා දා ගත්තු ගැහැණුන් මිනිසුන් දෑත් පපුවට උණ්ඩි කරගෙන එහෙට මෙහෙට යන දර්ශණය වගේම උණුසුම සීත කබා පොරවගෙන,  තමන්ගේ අත්වලට වඩා ලොකු අත්මෙස් පළඳගෙන , ඇස දෙක නහය තට විතරක් පේන්න මන්කි කැප් එකක් දාගෙන පාසගට යන පුංචි එවුන්ගේ දර්ශණයත්  මේ දවස්වල සුලබයි.







මුළු දවසම පරිසරයේ තියෙන මද අඳුරත් එක්ක ඇඟ කිලිපොලාගෙන යන සීතල හදවතට ගේන්නේ පුදුමාකාර මිහිරියාවක් ඒ වගේම තමයි උණුසුම් ඇඳුම්වලින් උණුසුම් වෙලා හොඳ කිරි කෝපි කෝප්පයක් එක්ක උණු රෝල් එකක් හම්බ වෙනවනම් කොහොමද මිහිරියාව..



මේ පුංචි සටහන නොනවත්වා වැටෙන වැස්ස වෙනුවෙන්.. J


Nov 20, 2011

පියානෙනී මං ඔබේ ආදර දෝණි.

නිහඬ බිත්ති දෙරෙවා මාගේ ඉකිගැසීම ගුවන කරා ඇදී යන්නට ඇත. නිවසේ කිසිවෙකුත් නොමැති  අවස්ථාවක් සොයමින් සිට අද මේ වරය ලබා ගත්තේ කුමන පාපයකටදැයි මම සිතුවෙමි.

  නිවසේ අප සියලු දෙනාගේම ලියකියවිලි තාත්තා විසින් පරෙස්සම් කොට තිබු බ්‍රිෆ් කේසය මතට වැටී තිබුණු මගේ කඳුලු පැල්ලම් නිසා ඒ මත වු දුවිලි අංශු සේ දී ගොස් තිබුනි. දෑතට පොඩී වි තිබුනු අම්මාගේත් තාත්තාගේත් විවාහ සහතිකය නැවත වරක් බලන්නට මා බොඳවු දෙනෙත් පිසදා ගතිමි. විවාහය ලියාපදිංචි කල දිනය. මා උපන් වසරේම ජනවාරි නව වැනිදාවක බව යලිත් කියවා බලා සැක හැර ගතිමි. මගේ උපන්දිනය හා සසඳන කල ඒ ඊට මාස හයකට පෙර දිනකි. 

නිහඬව දෙනෙතින් ගලා යන කඳුලු අතරේ  දහසක් සිතිවිලි අතරේ මා අතරමන් විය..

"ඔය කෙල්ල අපේ පුතාගේ නෙවෙයි"

"අපේ ළමයින් උඹලා  කතා කරන්නේ නම කියලා ඒකිට විතරයි  සුදු මැණිකේ කියන්නේ.. ඒ උනාට ඔය සුදු මැණිකේ අපේ පොඩි අයියාගේ ළමයෙක් නෙවෙයි කියලා ඔය අම්මාම කියන්නේ.. "

"මොන විකාරද ඔය ඉන්නේ ආත්තම්මාගේ කපාපු පලුව වගේ.. අපේ සහොදරියෝ එක්කෙනක්ගේවත් දුවකට අම්මාගේ හැඩ පිහිටලා නෑ පොඩි අයියගේ දුවට ඇරෙන්න.. අනික බලන්න අක්කා අපේ පොඩි බබාගෙයි සුදු මැණිකේගෙයි ඇස් එකම වගේ.. අතපය එකම වගේ.."

"අපි නොදන්නවා යෑ ඔය කෙල්ලගේ අම්මා ඉස්කෝලේ යන කාලෙ ඉඳන් කීදෙනක් පස්සෙන් ආවාද කියලා. අනික ගමේ මිනිස්සු කියන කතන්දර ඔව්වා."

"හපෝ.. මෙයා අපේ පවුලේ කෙනෙක් නෙවේ මෙයාව හදා ගන්න ගත්තේ"

මෙකී නොකී අවලාද නොයෙක් වර සවන් වැකුනද මෙතෙක් ඒහි වගක් මා හට නොවුනද  ඇස් පනාපිට ඇති දෙයින් මම විපක්ෂතව කල්පනාවේ නිමග්නව උනිමි. 

මෙනවා උනත් මම මේක හිතේ තියාගෙන ඉන්නවා කවදා හරි ඇත්ත දැන ගන්න පුළුවන් වෙයි.. මා මටම කියා ගතිමි. 

දින සති මාස ගෙවුනේ වේගයෙනි. අම්මාගේ මෙන්ම තාත්තාගේ නොමද ආදරේ එකම හිමිකාරිය ලෙස මට කිසිදු හිත් වේදනාවක් නොවුනි. එහෙත් තනිවන බොහෝ වේලාවන්හීදි මගේ සැබෑ පියා කවුදැයි මගේ සිත විමසන්නට විය.  

"බලන්න සුදු දුව තාත්තලා පරම්පරාවේ කිසිම ගෑණු ළමයෙක් හරියාකාරව වෙඩින් එකක් අරගෙන ගියේ නැහැ ඔයා තමයි ඒ අඩුව පුරවන්න ඔනි ඒ නිසා ඔයා කවදා හරි කරන්න ඔනි අපි කියන දෙයක් තමයි.. "

අම්මා සෙනෙහසින් කියද්දි විහංග කෙරෙහි දළුලා වැඩුණු ප්‍රේමය සඟවාගෙන ඔහුව ප්‍රතික්ෂේප කලේ දෙමාපියන්ගේ සිහින හැබැවිම මගේ පෙම් සිහිනයට වඩා උතුම් බැවිනි. එහෙත් යම් දිනක යෝජිත විවාහයකට යාමේදි අත්තම්මාත් නැන්දලාත් කියන්නවු කතාව පරහකව සිටීදෝයි සිතෙහි හැම විටම තිබුනේ සාංකාවකි. ඉතින් මා දැඩි තීරනයක් ගතිමි. උසස් අධ්‍යාපනය නිම කරන්නට මෙරටදි හැකියාව හැකි නමුත් එබැව් සඟවා විදේශ ගත විටම දෙමාපිය අවසරය පතා සිටියෙමි. 

"ඔයාව තනියම රටකට යවන්න..?? කොහොමද පුතේ තාත්තයි මමයි එහෙම කරන්නේ ඔයාට යන්නම ඔනිනම් කසාද බැඳලා ඔයාගේ මහත්තයා එක්ක යන රටකට යන්න තනියමනම් ඔයාට මේ ගෙදරින් එළියට බහින්න දෙන්නේ නැහැ."

අම්මා තරයේ කියා සිටියාය. එහෙයින් මා අසරන උනෙමි.. විවාහයකට මගේ තුන්හිතක අදහසක් නැත්තෙන් නිහඪවම කාලයට ඉඩදී බලා සිටියෙමි.

සැමදා මත් එක ලෙස මා තාත්තාගේ සුරතලියම උනෙමි. ඉගෙනුම අතින් රැකියාව අතින් මා සාර්ථකත්වයේ හිනි පෙත්තට නගිත්ම ඔහුගේ දෑසේ දිදුලන කාත්කිය දෙස බලා මා සැනසුනෙමි.. ඉඳ හිට තම සොයුරන් සමඟ සාදයක් ගෙමිදුලෙහි පවත්වන ඔහු අදම් ඇනුවේ මගේ දස්කම් සහ යම් දිනක මා විවාහ කර දෙන අයුරුයි. ඇතැම් විට මට එවන් දේ දැනුනේ ඔහු බමන මතින් කියන්නා වු දේවල් පමණක් බවයි. 

එහෙත් හදිසියේ තාත්තාගේ මව අසනීප වුයෙන් මෙතෙක් කලත් තාත්තාගේ සොයුරාගේ නිවසේ උන් ඇය අප නිවසට කැඳවාගෙන විත් සාත්තු කරන්නට තරම් අම්මා කාරුණික වුවාය. එහෙත් කිසිදු මාර්ගථලයක් නොලබා සිටින මගේ කෙලෙස් සහිත සිත එය නොඉවසුවේ ඇය මා සම්පබන්ධව කියා ඇති දෑ නිතර මගේ සිතෙහි හොලමන් කල නිසා විය හැකිය. 


එහෙයින් ඇය සුවවී යන තුරුයි කියා අම්මාගේත් තාත්තාගේ අකමැත්ත පිටම මා අම්මාගේ මෑණියන් වු සුදු අත්තාම්මා වෙත ගියෙමි. එය සැබැවිත්ම අතිශය හිතුවක්කාර තීරනයක් වීම නිසා.  තාත්තා දුරකතනයෙන් හෝ මා හා කතා නොකරන්නට තරම් උරනව උන්නේය.  එහෙත් මා නොසැලී උන්නෙමි. යලිත් මා නිවසට එන්නේ අත්තම්මා සුවවී නිවසින් පිටව ගිය දිනක පමණක් බව තරයේ කියා මා සුදු අත්තම්මා සෙවනේ උන්නෙමි. 

මාස කිහිපයක් ඇවෑමෙන් අත්තම්මා සුවවී පිටව ගියායැයි කියා තාත්තා මා කැඳවා ගෙන යන්නප පැමිණියේය. ඔහුගේ මුහුනේ වෙනදා වු සතුට නොතිබිනි. එහෙත් දුරු කතර අතර මඟ ඔහු මට අවැසි සියල්ල තුටු සිතින් සපයා දුන්නේය. තිබහට පළතුරු බීමක් මෙන්ම අතුර මඟදි කෑමට බිස්කට් වර්ගද ගෙනැවිත් මා අත තමා යාබද අසුනේ ඔහු  ගමනාන්තය තෙක් පැමිණියේ නිහඬවමය. 

නිවසේ ප්‍රධාන දොරටුවෙන් අතුල් වත්ම බිත්තියේ විශාල පෙදෙසක් වසා සිටි මාගේ විශාල ප්‍රමාණයේ ඡායා රූපය දැක මගේ නෙතට කඳුලු නැගිනි. මම කිසිත් නොකියාම කාමරයට වැදුනේ මා හටම සිතින් සාප කරමිනි.

සිතිවිලි වලින් අපි එකිනකා පිළිබද නිතරම වැරදි අවබෝධයෙන් සිටියත් කිසිවිටෙකත් අප එකිනෙකා හා විවෘත්තව කතා නොකලෙමු. එහෙත් අත්තම්මා පතුරවන කට කතා මා දන්නා බව අම්මා මෙන්ම තාත්තාද දැන සිටියෝය.  ඇතැම් විට අම්මාගේත් තාත්තාගේත් එකිනෙකා කෙරෙහි වු සෙනෙහස මට හිසරදයක් විය. ඔවුන්ගේ ජීවිත වසාගෙන යම් රහසක් ඇතැයි මම නිතර සැක කලෙමි. නමුත් දිනක් තාත්තාගේ පැරණි දින පොත් ගොන්නක් කියවීමෙන් මට මා කෙරෙහිම ඇති වුයේ. විසල් පිළිකුලකි. කුඩා අවදියේ මා ගේ උදරයේ ශල්‍ය කර්මයක් කල අවස්ථාව පිළිබඳව හැඟම් බරව ඔහු දින පොතේ ලියා තිවු දෑ දැකිමෙන් සැබැවින්ම මා ඔහුගේ ලෙයින් උපන්  කෙනෙකුම බව තිර ලෙස දැන ගතිමි. අම්මාත් තාත්තාත් විවාහ වුයේ  පෙම් සබඳ කමක් මත බවත් අත්තම්මා එයට දැඩ් ලෙස විරුද්ධ වුනු බවත්. මා උපන් පසු ඇය වියරුවෙන් මෙන් අම්මාට අපහාස කල බවත්  බොහෝ විට සුදු අත්තම්මා කියා ඇත. 

ඉතින් මම සැනසීමි.  ඇතැම් දෙමායියන්ගේ වුවත් මුවින් පිටවන එක් කෘර වදනක් කෙනෙකුගෙ ජීවිතයට නොරිසි ලෙස බලපානා බව සිතිවිල්ලකම සිරකොට මම සිතිවිලි නිදහස් කලෙමි... මේ සිටින්නේ මාගේම තාත්තාය.. මම ඔහුගේ ලෙයින් උපන් වැඩිමහලු දියණියයි.. එය මෙලොව කිසිවෙකුගේ සම්ප්‍රප්ලාපයකට වෙනස් කල  නොහැක....


පිණි වැටී මල් පිපෙනා මහ පොළවේ 
අත් අල්ලා ඇවිඳින්නට සංසාරේ 
බලා ඉන්නවා තව දවසක් එන තුරා 
පියානෙනී මං ඔබේ ආදර දෝණි.





video




Nov 16, 2011

කවුද මුලින් ආදරේ ප්‍රකාෂ කරන්න ඔනි ?

ආදරේ ගැන කතා කරොත් සමහර වෙලාවට මට මේ පොස්ට් එක කොටස් කිහිපයකට වෙන් කරලා ලියන්න තරම් දිගට දිගට කතා කරන්න පුළුවන් මාතෘකාවක් වේවි.  ඒ ඇරත් මම ආදරේ ගැන කියන්න ගියොත් වැඩි පුරම විරහව ගැන කතා කරයි.. ඒ නිසා මම ඒ මාතෘකව පැත්තකින් කියලා  පුංචි කතාවක් කියන්නම් ඔයාලට

ඔනෑම කෙනෙක්ගේ ජිවිතේ සුන්දරම කාලේ පාසැල් කාලේ කියනවනේ. ඒකෙනුත් ඉතාමත්ම සුන්දර කාලේ  උසස් පෙල පන්තියේ ඉන්න කාලේ කීවොත් ඔයාලා මා එක්ක ගොඩක් දුරට එකඟ වේවි. ඉතින් මම මේ මතක් කරන්න යන්නේ මගේ පාසැල් කාලේ ගැන.. මම හිතන්නේ මේ කාලේ ගැන මීට කලින් මම තවලමේ කතා කරලාම නැහැ. ඒ ගැන කතා කරන්න තරම් මාතෘකාවක් මේ වෙන තුරු හිතට ආවෙත් නැහැ .. හැබැයි මේ ලඟිදි පාසැල් මිතුරෙක් එක්ක ස්කයිප් වැට් එකක් දාපු වෙලාවේ මම මොහොතකට සිතින් පාසැල් කාලයට ගියා.

අපේ ඉස්කෝලේ  උසස් පෙළ අංශයම තිබුනේ එකම බිල්ඩින් එකේ තට්ටු 3ක අපි හිටියේ පහලම තට්ටුවේ අපි කිව්වේ බස්සොයි ( බයෝ කාරයොයි ) මැස්සොයි (මැත්ස් කාරයොයි),  අපිට අපිටඋඩින් කොස්සෝ (කොමස් කාරයෝ) ඊට උඩින් අස්සෝ( ආර්ට් කාරොයෝ) . ඉතින් විවේක වෙලාවට උදේට සහ  පාසැල ඇරුනහම කොස්සොයි බස්සොයි සේරමත් එන්නේ අපේ සෙක්ෂන් එකට තමයි. ඒ අතරින් හො ඳම සීතල යුද්දේ තියෙන්නේ විවේක වෙලාවට ඒ කියන්නේ ගෙදරින් බැඳන් එන බත් බුල ලිහන වොලවට.. අන්න ඒ වොලාවට ඇඹරි ඇඹරි හිටියොත් නම් ඉතින් එදා දවස බඩගිනනේ තමයි.. එක පාර්සලයක් දිගාරිනකොට කපුටු රැළ වගේ වට වෙනවා විස්සක් තිහක් විතර, ඉතින් බත් කටක් කියලා බත් ඇට දෙකක් තුනක් අතට අරන් කටට දාගන්නෙත් පිනැත්තෝ විතරමයි.  
ඔය වැඩේ නිසාම කපුටි සෝයා මීට් එක්ක බත් ගේන දාටයි පත්මී හතු මාළුව හදාගෙන එන දාටයි ඒ පාර්සල් දෙකත අරන් අපේ කෙල්ලෝ අට දෙනා හෙමින් සැරේ  මාරු වෙනවා ඒ යද්දි එක්කරන් යන එකම කොල්ලා තමයි (මන්ද) බුද්ධිකයා ;) ඒ මොකෝ ඌ ඒ තරම් හොඳ කොල්ලා.. අපෙ කෙල්ලන්ගේ දුකට සැපට දෙකට ඉන්න කල්‍යාන මිත්‍රයා. ඒ දවස් වල බුද්ධි ගෙ කටේ තිබුනේ “ගල් කුළුණක් සේ නාසැලි සිටින් මීට පරාක්‍රම බාහු" කියන එකයි  “ උදේම නැඟිටිමු කමු බොමු.. අම්බෝ.. නා..න්නනම් බෑ" කියන එකයි. ඒකා අපේ පොත් වලත් පිටි පස්සේ පිටුවේ ඔය පඬි වඳන් දෙක ලියනවා.

බුද්ධියා මගේ හොඳම ෆිට් එකක් උනේ අපේ අම්මලා අප්පච්චිලාත් හොඳම යාළුවෝ නිසා. අපි දෙන්නාගේ යාළු කමට ගහන්න දෙයක් නෑ ඒ කාලේ...  දැනුත් එමෙහයි.. ඉතින් ඉස්සර බුද්ධියා අපේ කෙල්ලෝ අට දෙනා එක්කම පුදුම හිතවත් කමකින් හිටියේ.  ඔය අතරේ හිටියා කෙල්ලෝ සෙට් එකක්,  එකම ගමේ ඉඳලා එකම ස්කූල් වෑන් එකේ ඉස්කොල්ලේ එන. අපි කිවේ බොරලන්දේ ගැන්සිය කියලා එතන හිටියා කෙල්ලෝ හයක් පහක්ම බස්සියෝ එකියක් කොස්සියක්.  ඉතින් අපේ කොස්සි වැඩිය හිටියේ අපේ පන්තියේමයි.. හැබැයි අවසන් කාලේ ඒකි වැඩිය ආවේ නැ පන්තිය දිහා.. අපේ බස්සියෝ සෙට් එකෙත් එකියක් බුද්ධියාට අසීමිතට ෆිට් වෙන්න ගත්තා  ඒ කපුටි. හැබැයි ඔය කාලේ ඒකි ප්‍රේම වෘත්තාන්තයක් රඟ දක්වමින් හිටියේ. ඒකට බොක්කෙන් සප් එක දුන්නෙත් බුද්ධියාම තමයි.  

ඔන්න ඉතින් කාලයාගේ අවෑමෙන් අපි විභාගේ කරලා පළවෙනි පාර රම්පෙට පොරි පොකුරු පොකුරු වගේ සෙට් එකම S , F  පේලි පේලි අරගෙන දෙවනි පාරටත් විභාගේ කරන්නනේ නුවර ආවේ.. සෙට් එකේ අපිට අඩු උනේ බුද්ධියා තමයි ඌ  කොළඹ ගියා.

ඒ උනත් ඉතින් කපුටි නිතර නිතර ඌට කොල් කරනවා හේම.. අපරාදේ කියන්න මම කෝල් නොකරත් ඒකා ගෙදර ආව දාට උළුඳු වඩේ අරන් එනවා අපේ දිහෑ මාව බලලා යන්න ;) හරි හොඳ එකා කියන්නේ ඒකනේ.. කෝමෙන් කොමහරි මම ලොකේ තියෙන හොඳම පිස්සුව නටලා විභාගේ නොකර ට්‍රැක් පැන්නනේ හැබැයි අපේ යාළුවෝ අවසන් වතාව වෙනකල්ම උසස් පෙල කලපා ගොඩ ගිය උන් ගියා හැබැයි කෙල්ලෝ නම් අටෙන් පහක්ම හැකි ඉක්මනින් කෂාද බැන්දා.. කපුටිත් ඇතුළුව.  බුද්ධියා රන් කහවනු නෙලන්න විදේශ ගත උනා වෙබ් ඩිවලොපර් කෙනෙක් විදියට.  ඒ ගියත් ඉතින් පේස් බුකි ස්කයිප් ජීටෝක් හරහා අපේ යාළු කම තිබුනා.

 ඉතින් පහුගිය දවසක ( ගොඩක් දවස් අර ස්කයිප් ටෙම්පරි වැඩ නැති කාලේ ) බුද්ධියා මගෙන් උඩ විසි වෙලා පාවෙන ජාතියේ ප්‍රශ්ණයක් ඇහුවා.

“උඹ දැනං හිටියද බන් කල්පි ( අර කොස්සි) ඉස්කෝලේ යන කාලේ ඉඳන් මං ගැන හිතා හිටිය බවක්.."

හැහ්!! ඒ මොකක්ද බොල ඒ කතාව කියලා මමත් උඩ බිම බැලුවා.. සකයිප් යන්න විදියකුත් නැති නිසා විස්තරේ අහගන්න විදියක් නෑහැ  .. බුද්ධියාත් කලබලේක මම දැනං හිටියේ නැ කියලා කිව්වම පොර ඔප් ලයින් ගියා. මාත් ඒ වලේ මොකකට හරි හොඳටම කාර්‍යබහුල වෙලා. ඊට පස්සේ  පොර වැඩියේ ජී ටොකේ හිටියේත් නෑ මටත් හෙමින් අමතක උනා සිද්දිය.

පස්සේ ආයිත්  ඔය කතන්දරේ අග මුල මේ ලඟදි දවසක මම ස්කයිපෙන් බුද්ධියාව ඇමතුව වෙලාවක ඇහුවා..

බුද්ධියා : ඔව් බන් බලපන්කො මේකි ඉස්කොලේ යන කාලේ ඉඳන් හිතේ තියාගෙන ඉඳලා අවුරුදු හයක් බන් මේ ලඟදි තමයි මට කෙල්ලව ආයි බුකියෙන් සෙට් උනේ කෙල්ල මාව හැම තැනම හොයලා බන්.. පව්.. මම හිතුවේ උඹත් දැන ගනෙ හිටියා කියලා කපුටි එහෙම දැනං ඉඳලා පස්සේ පස්සේ කෙල්ලට හරියට වෙනස් කම් කරලා බන් ඒකි මට දැන් කියද්දි මට මාර අප්සට්..  ඔක හිතේ තියාගෙන ඉන්නේ නැතිව කිව්වනම් හරිනේ බන් මම කොහෙමද දන්නේ මගේ තුන් හිතක එහෙම අදහසක් තබුනේ නෑනේ බන්.. බලන යද්දි කපුටුයි කල්පි  දෙන්නම මට ලව් කරලා..
මම: හික් හික් දැන් උමලා දනේනා සෙට්ද බන්
බුද්ධියා : හ්හ් හා ඔව් බන් දැන් ගෙඩක් කල්
මම: වර වර ලංකාවට ඇවිත් ඉක්මනට බැඳපන්


ඔන්න දෙබස.. හරියටම අවුරුදු 6කට පස්සේ කල්පිගේ හීනේ හැබැ වුනු විදිය..  කෙල්ල කැම්පසුත් ගිහින් ඒත් මේකා මත්තේම ඉඳලා..  මේ කතාවෙන් මම නම් ඉගෙන ගත්තේ   කෙල්ලෙක් උනත් කොල්ලෙක් උනත් ආදරයක් ඇති උනොත් ඒක අනෙක් පාර්ශවයට ප්‍රකාෂ කරන්න ඔනි.  හැබැයි කල්පිට වගේ හැමොටම ඒ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඒත් හිතට සැහැල්ලුයි නේ හිතේ තියාන ඉන්නේ නැතිව මම කෙල්න්ම කීවා කියලා J

Nov 12, 2011

මම ලියූ වැදගත් ලිපියක් නැවතත්

පිදිය යුත්තන් පිදීම හෙවත් විමසුම මගේ ඇසින්


වත්මන්  සමාජයේ දේශපාලනය යනු ඇතිවත් බැරි නැතිවත් බැරි දෙයක් බවට පත්වී ඇත, මේ ලිපියේ ගමන් මග එවන්වු දේශපාලනික වටපිටාවක් මැදින් ගලා යන බැවින්, තම තමන්ගේ දේශපාලන පක්ෂ සහ ඒවායේ ඇතැම් ක්‍රියාවන් විමසුමට ලක් කිරීමේදි මා හා උරන නොවන ලෙස මුලින්ම ඉල්ලා සිටිනු කැමැත්තෙමි.

මෙහි සටහන් වන කරුණු ඔනෑම අවස්ථාවක සංවාදයට විවෘත වන අතර තම තමන්ගේ අදහස් අඩුවැඩි ලෙස කමෙන්ටු මඟින් එක්කිරීමේ අවකාශයද ඔබ හට හිමිවනු ඇත.

තිස් වසරකට අධික කාලයක් පැවති ඊලාම් යුද්ධය අවසන්ව ගෙවී ඇත්තේ ඉතාමත් සුළු කාලයක් වුවද යුද්ධයේ කුරිරු මතක සටහන් මේවන විට හිරු දුටු පිණිබිඳුසේ වේගවත් සංවර්ධනය හමුවේ අප හට අමතකව ගොසිනි.. එසේම එක් දේශපාලන පක්ෂයකට හා  පුද්ගලයින් කිහිප දෙනෙකුට පමනක් යුද්ධය නිමා කිරීමේ ගෞවරයද හිමිවී අවසානය. මෙය සැබෑ වීරයන් සිරගත ව දුක් විඳින කල නිලදරුවන් සුරසැප විදින විස්මිත ලෝකයක් බවට පත්වු කැළල හැරෙන්නට යුද්ධයෙන් සිරිලකට වෙනත් කැලලක් ඇති වී නොමැත. පොදුරදමඩුලු සමුලුව එයට සාක්ෂියකි.

අනෙක් අතට කර්නල් ගඩාෆිගේ මරණය සිදුවු ආකාරය ලොව පුරා වීඩියෝ දර්ශන වලින් පෙන්වද්දි අප රටෙහි ත්‍රස්තයන් මර්දනය කල ආකාරය ඉතාමත්ම මානව හිතවාදීය.. එය අනෙක් කතාවකි. මා අද කතා කරන්නේ ඊලාම් යුද්ධයට පසු  අද සිරි ලක ගැනයි..

2009ට පෙර දකුණේ ගම්මාන වල දෙමාපියන්ගේ හදවත් ගින්නෙන් නොඇවිලුනු වෙලාවක් සොයන්නට බැරිවිය.. විශේෂයෙන් අවසන් සටන පැවති කාලයේ කොහේ කොයි මොහොතක හමුදා පුතෙකුගේ නිසල සිරුරක් රැගත් ජීප් රථයක් මතුවේවිදැයි ඔවුන් බියෙන් පසු වූවෝය, එමෙන්ම සියලූම ලක් වැසියන් කුරිරු යුද්ධයේ අවසනක් සොයන්නට වෙර දරණ වීර පුතුනට හදවත් වලින් ආශිර්වාද කරමින් කුරිරු ත්‍රස්ත නායකයාගේ මරණය ප්‍රාර්ථනා කලෝය.. එය එසේම සිදුවිය..

ඒ අප රට ලත් දෙවන නිදහස විය.. ලක් වැසියා ඒ නිදහස සැමරු ආකාරය මා ඔබට කිව යුතු නැත... විදේශයක සිට පැමිණ මාතෘ භුමිය වැඳ නමස්කාර කරමින් හරසර කල ජනපති තුමන්ට මෙන්ම  එවකට සිටි යුදහමුදාපති ඇතුලු ත්‍රිවිධ හමුදාවන්ද ජනතාවගේ සැබෑ විරයන්  බවට පත්වුවෝය. පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියල්ලන්ම නිදහසේ අසිරිය සැමරු හැටි සිහිකරන්නට මම මෙන්ම ඔබත් කැමති වනු ඇත..

එහෙත් අභාග්‍යයකි.. නීරස දේශපාලයේ අඳුරු හෙවනැලි විසින් ජාතික වීරයන් බිලිබා ගැනිමේ කූට ව්‍යාපාරයක් ඇතිවිය. යුධ ශිල්පයෙහි කෙල පැමිණි නමුත් දේශපාලනයේ ළදරුවකු වු හිටපු හමුදාපති වරයා අභාග්‍ය සම්පන්න ලෙස සිරගත වුවේ දේශපානයේ වරද නිසා මිසක ඔහු කල වරදක් නිසා නොවන බව ප්‍රසිද්ධ රහසකි.. බල තණ්හාව විසින් වීරයන් වනසයි යන්න මනාව පැහැදිලි කල අවසන් ජනපතිවරණය විසින් මිනිසුන්ගේ මිනිසත් කම පවා වෙනස් කරන්නට සමත්වී ඇත.. එක් උදාහරණයක් පමණක් කියමි.

ත්‍රස්තයන්ගේ ප්‍රධානතම ක්‍රියාකාරී ස්ථානයක් වු . කිලිනොච්චි නගරයේ ඉදිකරවා ඇති. රණවිරු ස්මාරකය ඉදිරියට එක් වරක් හෝ ඔබ ගොස් ඇත්නම් එහි ඉදිරිපස ගලෙහි කොටා ඇති අකුරු පෙල කියවන්නට ඇත.. ඔබ ඔබේ  හදවතින් විමසා බලන්න එහි එකම නමත් අමතක කොට ඇත... එය හිතා මතා කල බව පැහැදිලිය.. මන්ද වත්මන් හමුදාපති ඔවුනට මතක් වුවේනම් සැබැවින්ම යුධ ජයග්‍රහනයේ පුරෝගාමියෙකු වු හිටපු යුධ හමුදාපතිවරයා අමතක වීම අරුමයකි.
යුධ ජයග්‍රහනයේ සැබෑ අයිතිකරුවත් දේශපාලුවන් හෝ ලේකම් වරුන් නොව සැබැවින්ම යුධබිමෙහි එඩිකම් පෑ රණවිරුවන්ය.. එය අමතක කල සමාජයක අපි අද නිදහසේ සිටීම ගැන සැබැවින්ම මම පුදුමයට පත්වෙමි.. එය සිදුවුයේ මෙසේය..
පසුගිය දිනෙක මම උතුරු ප්‍රෙද්ශයේ චාරිකාවක් ගියෙමි. එහිදි තවමත් රාජකාරියේ සිටිමින් සිවිල් ජනතාවගේ එදිනෙදා දිවිපැවැත්ම සාමකාමීව පවත්වාගෙන යෑමට උපකාර කරන සොල්දාදුවන් අතර විශේසිත කණ්ඩායමක්  නාගදීප පුදබිමට බෝට්ටුවට ගොඩවන ජැටියේදි මට මුණ ගැසුනි.. ඔවුන් අත පොත් කිහිපයක් විය බැතිමතුන්ට ඒවා පෙන්වමින් කතාකරන ඔවුගේ මුහුණු, ඔවුන් නොතකා යන බැතිමතුන් දැක අඳුරුවන සැටිය මම දුටිමි.. ඔවුන් අසලට යන්නට  සිත බල කලත්  මා යා යුතු බොට්ටුව පිටත් වීමට කාලය පැමිණි බැවින් ඒ හමුව පසුවට කල් තබා ගතිමි..




නාගදීප පුද බිමෙදීද අපූරු සිදුවීමක් සිදුවිය. එක් දමිල තරුණයෙක් යාපනය නගරයට යාමට බොට්ටුවක් පැමිනෙන තුරු එහා ජැටියේ සිටින අවස්ථාවේ හදිසියේ ඔහු රොගාතුර විය.. සැබැවන්ම ඔහු අපස්මාර රොගියෙකි.. හදිසියේ රෝගී වු ඔහුට අපේ නාවික සෙබලුන් උපකාර කරද්දි සහෝදර දමිල ජනතාව පිළිකුලෙන් අහකට වී බලා සිටියෝය.. කිසිවෙකු උදව්වට නොපැමිණි කල මදක් කෝප වු සෙබලෙකු බැන වැදුනේ මේ උඹලාගේ ගමේ එකෙක් ඉක්මකට බාරකාරයින්ට එන්න කියාපියව් මේ මනුස්සයා ගැන අපි දන්නේ නැහැනේ..  කියායි. ඒ හඩින් අවදි වු ගම් වැසියන් වහා තරුණයාගේ පියා කැඳවුවෝය.. සුවය ලබමින් සිටි ඔහු නැවත පියාට භාර දුන් සෙබලුන් සුපුරුදු ලෙස ගිනි අව්වේ තම රාජකාරියේහි යෙදුනෝය.

නැවත මෙගොඩ පැමිනි මා වහ වහා යටකී පොත්පත් විකිණු සෙබලුන් සිටි තැනට ගියෙමි.. හමුදා වීරයන්ට කවදත් ආදරය කල මාගේ සහොදරයාද මා හා එක්විය.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා යන්නෙන් ලියවුනු එම පොත, යුධ හමුදා විශේෂ බලකායේ සෙබලුන් විසින් තම අත්දැකිම් අලලා ලීයුවකි.. ඒ ඇසූ සැනින් වහා එය මිලදී ගන්නට මමත් මගේ බාල සොයුරාත් එකවිට තීරණය කලෙමු.. එසේම මොහොතක්  සුහදව ඔවුන්හා කතා කොට ඒ මුහුනු සිනාවෙන් බර කොට අප එතැනින් පිටත් වීමු..

නඩයේ සියල්ලන් අපට උසුලු විසුලු කලෝය.. ඔවුන් කීවේ දේශපාලුවන්ගේ  උදම් ඇනීම් බලන්නට අධික මිලක් ගෙවා නොවටිනා පොතක් මිලදී ගත් බවයි,  ඇතැම් විට හමුදා සොල්දාදුවන් පින්පත්තරකාරයන්ගේ තරමට බාල්දු කොට පොත දෙස රවා බලා පිටත්ව ගිය දේශමාමක ජනයා සිතන්නට ඇත්තේ එයම විය හැක .. ඒ ඔවුන්ගේ අවාසනාවයි.. නොබියව කිව හැක.. සැබැවින්ම මේ පොත දෙස නොබලා සෙබලුන් මගහැරගියවුන් සැබැවින්ම අවාසනාවන්තයෝය..
එහි සඳහන් අකුරක් අකුරක් ගානේ කකියන දේශප්‍රෙමිත්වය මා මේ සටහන ලියන්නට උනන්දු කරවන ලදි.

එහි කොටසක් උපුටා දක්වමි..

අපි වනයේ පුහුණු වි වනයේම කොටසක් බවට පත්වුවෝ වෙමු. සුපරික්ෂාකාරිව නොබැලුවහොත්  විශේෂ බලකා සෙබලෙකුත් වනාන්තරයේ ගසකුත් අතර වෙනසක් නොමැත. බිම වැටුණු අතුඉපල් කොළරොඩුත් එහි වැතිරුණු අප සෙබලෙකුත් වෙන් වෙන්වශයෙන් හඳුනා ගත හැක්කේ කාහටද..? විටෙක ඔහු ගලක් විය හැකිය. විටෙක පඳුරක් විය හැකිය, තවත් විටෙක ඔහු මඩ තැවරුණු දර කොටයක් විය හැකිය. වනය ඔහුටද ඔහු වනයටද එතරම් සබැඳිය. වනය ඔහු සතුරාගෙන් වසන් කරන්නේ ඔහු වනයේම කොටසක් වන බැවිනි.
කිසිවිටෙකත් සතුරාට යටත් නොවන මා
 -පිටු අංක 125-

 සත්‍යයකි ඔවුන් හැමවිටම වාගේ ක්‍රියාන්විතයන් කොට ඇත්තේ වනයේද ඇතැමි විට සතුරු බලමුලුවලට පහර දීමට ගොස් වනයේ අතරමන්වී බීමට ජලපොදක් නැතිව මුත්‍රා පානය කල බව ඔවුන් කියා ඇත. එසේම වරක වතුර හිඳුණු වැවක වලක් හාරා දින පහක් ජලය පානය කල ඔවුන් ආපසු යද්දි දිවි රැකදුන් වතුරු වලට දණගසා නමස්කාරකොට ගොස් ඇත.. මෙවන්වු අනුවේදනිය අත්දැකීම් රුසක් අකුරුකොට ප්‍රකාශ යටපත්කර ඇති මෙම වටිනා පොත කියවන්නට මා ඔබට ආරාධනා කරමි..

රඟමඩලෙහි රඟදෙන කලිහී
මහා තේජසින්
රංගධරයින් ....
කඩතුරාවට සැඟව
කළ මහඟු මෙහෙවර
දැකිය හැක්කේ
එබී බැලීමෙනි
ඇතුලාන්තයට......


මේ ඔවුන්ගේම වචනයි..  සැබැව්න් මෙම පොත ඇතුලානතයට එබී බැලීමට විවරවු කවුලුවක් වැන්න..
හිතවතුනි ඔබට කෙමෙන් අමතකව ගොස් ඇති සැබෑ ජාතික වීරයින් පුදන්නට කෙසේ හෝ මෙම පොත කියවන්න..
මෙය ඔබට පොත් හලකින් ලබා ගැන්මට අපහසු වීනම් මෙහි කමෙන්ටුවක් සටහන් කරන්න ඔවුන් හා සම්බන්විය හැකි මගක් මා සොයා දෙන්නම්.. එන්න මාහා පිදිය යුත්තන් පුදන්න......




මා විසින් ලියන ලදුව අක්ෂර හී පලවු ලිපියක දෙවන පල කිරිමයි 

Nov 5, 2011

වීනා 2 කොටස


දින කිහිපයක ඇවෑමෙන් දිනක් වීනා මගේ කාමරයට පැමිණ මාහා කතාවට වැටුනාය. නොට් බුක් පරිගණක තිරය මත මගේ කවිසිතිවිලි අකුරු බවට පෙරලෙමින් තිබුනි.. මට දැනුනේ නොරිසුමකි.. මන්ද ඒ සිතිවිලි නැවතත් වතාවක් සිතට නොඑබෙන බැවිනි. ඒ ඇරත් ඇය පිළිබඳ අසන්නට ලැබුනු යම් යම් දේ නිසා මට ඇය හා කතා කිරිම එතරම් සතුටක් ගෙන නුදුනි, එහෙත්  මගේ කුරුටු කවි පොත පසෙකලා මා ඇය කියනා දෙයට ඇහුන් කන් දුනිමි.

“අක්කේ ඔයා ගෙන උදව්වක් ඉල්ල ගන්න කියලා මම ආවේ“ ඇය සුපුරුදු ලාලිත ස්වරයෙක් කීවාය..

“මොකක්ද උදව්ව මට පුළුවන් දෙයක් නම් කරන්නම්“ මම පෙරලා පිළීතුරු දුන්නේ සිත යට වූ සැකය සඟවා ගනිමිනි.

“මට රස්සාවක් හොයා ගන්න උදව් කරන්න පුළුවන්ද?“ ඇය බලාපොරොත්තු දෑසේ දල්වාගෙන ඇසුවාය.

“ඇයි ඔයා කීවා නේද ඔය කරන්නේ පාට්නර්ශිප් බිස්නස් එකක් කියලා ඇයි ඔයාලා බිස්නස් එක නතර කරන්නද යන්නේ??“ කිසිත් නොදන්නා අයුරින් මම ඇසුවේ ඇය අපට බොරු කල බව සිත යට තෙරපා ගෙනයි.

“නැ මට දැන් ලංකාවේ ඉඳලා ඇති වෙලා මට රට යන්නයි ඔනි.. ඔයාට පුළුවන්නම් මට හොඳ විශ්වාසවන්ත ඒජන්සියක් හොයලා දෙන්න...“ ඇය කීවේ මගේ නෙත් මඟ හරිමිනි.

රට යනවනම් ඔයා යන්න හිතන් ඉන්නේ මොන වගේ ජොබ් එකකටද ?“

“එහෙම කියලා නෑ ඔනි එකක් කරන්න පුළුවන්..මට දැන් ඔනි පුළුවන් තරම් ඉක්මනින් මේ පැත්තෙන් ඈතකට යන්න“ ඇයගේ ස්වරයේ විහාල කලකිරීමක් විය.

“මෙහෙමයි නංගි ඔයා රස්සාවක් කරන්නම යනවනම් යන්න වෙන්නේ මිඩ්ලීස් කන්ට්‍රි එකකට එහෙම ගිහින් හොඳ ජොබ් කරන්න හොඳ කොලිෆිකේෂන් වගේම එක්ස්පිරියන්ස්  තියෙන්න ඔනි. අනික සල්ලිත් ඔනිනේ..... ඔයා ලඟ අඩුම ගානේ ටිකට් එකටවත් සල්ලි තියෙනවද?“ මම විමසීමි..

“මට ගාමන්ට් එකේ වැඩ කරලා එක්ස්පීරියන්ස් තියෙනවා සල්ලි තමයි ප්‍රශ්නේ දැන් සමහර ඒජන්සි වලින් පස්සේ සල්ලි ගෙවන්න පුළුවන් විදියට යන්න චාන්ස් දෙනවානේද.. මම ඒ වගේ තැනක් හොයන්නේ..“

“අනේ මන්දා නිකං යවන විශ්වාසවන්ත තැන් නම් හොයන එක ලේසි නැහැ. මම මගේ යාළුවන්ගෙනුත් අහලා බලන්නම්... මොකක්ද වැඩ කරපු ගාමන්ට් එක මම දන්නේ නෑනේ ඔයා කලින් වැඩ කලා කියලා එතකොට ඔයා ඒ ලෙවල් කලේ කොයි අවුරුද්දේදිද? “ මගේ පැනය හමුවේ ඇය නිහඬවිය.

“ඒක දිග කතාවක් ඔයාට අහන්න වෙලාව තියෙනවනම් මම කියන්නම් ...“   මොහෙතක නිහාඩියාව බිඳිමින් ඇය  කියද්දි මම පරිගණක තිරය දෙස බැලුවෙමි එය ස්ලීප් මෝඩ් එකට ගොස් ඇත.. එය පසෙකලා මම ඇය දෙසට හැරී ඇඳේ හරිබරි ගැසුනේ ඇයගේ කතාව ඇසිමටයි...

“හරි කමක් නෑ ..කියන්න. ඔයාගේ කතාව...“

“මම පුංචි කාලෙන්ම පටන් ගන්නම්..“ ඇය හඬ අවදි කලාය..

“හ්ම්ම්ම්ම්“

“මම ඉපදුනේ නුවර. මේ මගේ උපන් ගම .. ඒත් දැන් මෙහේ මට කාත් කුවුරුත් නෑ.. අයියා කෙනෙක් ඉන්නවා ඒත් එයා බැඳලා ඉන්නේ ඒයාගේ දෙවනි වයිෆ් මේ ඉන්නේ ........ එයා කැමති නෑ මම එයා දිහා ඉන්නවට.“

“එතකොට අම්මා තාත්තා?“

“මම පුංචි කාලේම අම්මා තාත්තවයි මාවයි අයියවයි දාලා රුසියාවට පැනලා ගිහින්.. අපි හිටියේ හන්තානේ ගෙදරක.. ඊට පස්සේ තාත්ත ආයිත් කසාද බැන්දා..  ඒ ගෑනිට දුවෙක් ඉපදුනාට පස්සේ ඒ ගැනි අයියටයි මටයි සලකන්නේ නැතිව ගියා.. තාත්ත හැම වෙලාවේම ඒ ගෑනි එක්ක රණ්ඩු උනා ඊට පස්සේ තාත්තා බොන්න පටන් ගත්තා. තාත්තා කලේ ලෑන්ඩ් සේල්ස්.. ඒකත් තාත්තගේ යාළුවෝ නැති කලා... පස්සේ තාත්තා මාවයි අයියවයි අරන් අර ගෑනිව ඩිවෝස් කරලා කොළඹ ගියා.. ඒත් අපේ දේපොල වලින් කොටසන් අර ගෑනිටයි ඒ නංගිටයි ලියන්න උනා අදටත් අපේ හන්තානේ ගෙදර ඒ දෙන්නා ඉන්නවලු..

ඊට පස්සේ තාත්තා ආයිත් කැලණියේ ගෑනියෙක්ව බැන්දා ඒ ගෑනිටත් ළමයි ඉන්නවා , තාත්තයි ඒ ගෑනු දරුවොයි අපේ ගෙදර පහල තට්ටුවේ ජීවත් වෙද්දි මායි අයියයි හිටියේ උඩ තට්ටුවේ, අපි පහලට ගියේ කන්න විතරයි.. ඔහොම ගිහින් මම අට වසෙරේ  ඉගෙන ගන්න  කාලේ අයියා බැඳලා නුවර ආවා. ඊට පස්සේ අර ගෑනි තාත්තා නැති වෙලාවට මට වෙනස් කම් කලා. සමහර දාට කන්නවත් නෑ එහෙම උනාම තාත්තා වියදමට දෙන සල්ලි වලින් කඩෙන් කෑම එකක් ගෙනත් මම කනවා.. 
අපරාදේ කියන්න බෑ අපේ තාත්තා මට පණ වගේ ආදරෙයි මම ඉල්ලන ගානක් දෙනවා පළවෙනි ගෑනිව ඩිවෝස් කලෙත් ඒ ගෑනි මට සලකපු නැති නිසා.. ඒත් මේ ගෑනිනම් ටිකක් තාත්තව බය කරන් හිටියේ තාත්තා ඒ ගෑනිට හොරෙන් තමයි මට සල්ලි දුන්නේ..  කොහොම හරි මම හොඳට ඔලෙවල් පාස් උනා  තාත්තා පුදුම සතුටකින් හිටියේ.. මට ඉගෙන ගන්න පුළුවන් කියලා කුඩම්මා මට හරියට ඉරිසියා කලා ..තාත්තා ඒත් මාව කොහොම හරි උස්ස් පෙළටත් ඉස්කෝලේට ඇතුල් කලා.

ඒත් අවාසනාවට අපේ තාත්තා දවසක් වාහනේ යද්දි ඇක්සිඩන්ට් උනා.. තාත්තාගේ කකුල කැඩිලා එක තැන් උනා.. ඒ වෙලාවේ තාත්තාගේ ගෑනි තාත්තව බලා ගත්තේ නෑ, බෙහෙත් වලටවත් සල්ලි නැ, මම ඉස්කෝලේ යෑම නවත්තලා ගාමන්ට් ගියා. ආජෝජන කලාපේ ... හවස ඇවිත් මේ අත්දෙකෙන් මගේ තාත්තට සාත්තු කලා “

ඇය දෑත් මිටමොලාවා මා හට පාමින් කීවාය මම නිහඬවම අසා සිටියෙමි

“ තෙල් ගාලා තවලා තාත්තාව තනියමම උස්සගෙන ගිහින් නාවලා කරලා හැම දේම කලේ මම. ඒ සාත්තුවටමද කොහේද තාත්තා ඉක්මනටම සනීප උනා.. ඒත් මම දිගටම වැඩ කලා.. ආයි ඉස්කෝලේ යන්න ආසාවක් මට තිබුනේ නැහැ.. මම පුළුවන් විදියට තාත්තට උදව් කලා දවසක් තාත්තා මගෙන් තේ එකක් ඉල්ලුවා මම කුස්සියට ගිහින් තේ හදද්දි අර ගැණි ඇවිත් මට බැන්නා එයාගේ කුස්සියට ආවා කියලා.. මමත් බැන්නා එදා අපි හොඳටම රණ්ඩු උනා.. අන්තිමේ තාත්තා ගත්තේ ඒ ගෑනිගෙ පැත්ත.... තාත්තා මට ගැහුවේ බෙල්ට් එකෙන් .. මට පණ වගේ ආදරේ කරපු මගේ තාත්තා අර ගෑනිගේ කේලාම් අහලා මාව පයින් ගහලා ගොදරින් එලියට ඇදලා දැම්මා.. ඒතකොට හොඳටම රෑවෙලා.. මට යන්න එන්න තැනක් නෑ.. අතේ පොඩි ගානක් තිබුනා.. ඒකත් අරන් මම කෝච්චියෙන් නුවරට ආවා..  අයියට කොල් කරලා මාව ගන්න ස්ටෙෂන් එකට එන්න කිව්වා..

මම අයියාගේ ගෙදර නැවතිලා රස්සාවක් හොයන්න ගත්තා ඒත් ලේසියෙන් රස්සාවක් හොයන්න බැරි උනා... ඔය අතරේ නෑනා මා එක්ක රණ්ඩු වෙන්න  පටන් ගත්තා...  එහෙ ඉන්න බැරිම තැන මම පුංචි කාලේ මට උගන්නපු ටීචර්  කෙනෙක් ලඟට ගියා. ටීචර් මට  SOS එකේ වැඩ අල්ලලා දුන්නා. ටීවර්ලාගේදිහා ඉඳන් වැඩට යන්න දුරයි ඒ නිසා මම වටදෙනිය පැත්තේ ගෙදරක බොඩ් උනා..“

“ඉතින් එහේ ඉඳලත් දුරයි. නේ...“ මම මැඳින් පැන්නෙමි..

“ඔව් ඒත් තවත් ටීචර්ට කරදර කරන්න හොඳ නෑ කියලා මට හිතුනා..එහේ ඉඳන් වැඩපලට බස් එකක් උදේ හවස එනවා ඒකේ තවත් ළමයි එනවා ඒ නිසා මම බස් එකේ යන්න එන්න පටන් ගත්තා. ඔය අතරේ තමයි මගේ ජීවිතේ අවුල් කරපු ඒ සිද්දිය උනේ..  දවසක්  මම මගේ ශිෆ්ට් එකේ වැඩ ඉවර කරද්දි දන්නේම නැතිව වෙලාව පහු වෙලා රෑ 10.00යන බස් එක ගිහින් මම යාඩ් එකට එනකොට තිබුනේ එකම එක බස් එකයි.. මම ඒකේ ඩැයිවර්ගෙන්  ඇහුවාම කිව්වා බස් එක ගියා එන්න අපි එක්ක යමු අපිත් සෙනඟ බස්සලා යන්නේ ඒ පැත්තට තමයි කියලා.. ඉතින් අපේම වැඩපොලේ ළමයි යන බස් එකක් නිසා මම නැංගා.. සෙනඟ සේරම බැහැලා අන්තිමේ මමයි ඩ්‍රැයිවරුයි විතරයි ඉතිරි  උනේ  ටිකක් දුරක් ගිහින් බලද්දි මට දැනුනා යන්නේ කවදාවත් නොගිය පාරක කියලා..  මම කෑ ගහලා නවත්තන්න කීවා.. ඉස්සරහට දුවගෙන ගිහින්  බස් එක නවත්තන්න කියලා ඒ කොල්ලට වැඳලා කීවා ඒත් ඌ ම කියපු කිසි දෙයක් ගනන් ගත්තේ නැහැ.. පාළු තැනක බස් එක නතර කරනකොටම මම පැනලා දුවන්න හැදුවා.. පැය බාගයක් විතර මම ඒ මිනිහා එක්ක පොරබැදුවා ඒත් අන්තිමේ මට කම්මුල් පාරක් ගහලා ඌ ඌට ඔනි දේ කර ගත්තා එදා රෑ මම හිටියේ ඌගේ ගෙදර.. ඒකගේ ගෑනි ඒකව දාලා ගිහින්.. පොඩි ළමයෙක් ඉන්නවා ඒ ළමයා බලාගෙන මට ඉන්නලු.. ඒත් මම ඌට අවනත උනේ නෑ.. මම පහුවදා බලෙන්ම ආපහු බෝඩිමට ගියා.. දවස් දෙකතුනකින් මම යද්දි වැඩපොලේ අයට අර මිනිහා මහා බොරු කතාවක් ගොතලා කියලා මගේ සුපවයිසර්ලා ඒහෙම මට හොඳටම බැන්නා මම ට්‍රාන්ස්පෝට් මැනේජර් හම්බවෙලා ඒ මිනිහා මට කරපු අපරාදේ කීවත් කවුරුත් මාව විශ්වාස කලේ නැහැ... ඒ මිනිහා.. මට අනිත් මිනිස්සු ඉස්සරහම හොඳටම ගහලා ගෙදර ඇදගෙන ගියා.. මම දවස් ගානක් ඒ මිනිහා ගාව හිටියා.. “

මගේ හකු අස්ථින් හිරවී උගර වියලී තිබුනි. මගේ රාත්‍රී ආහාරයද පසෙක සීතල වෙමින් තිබියදීම මම යලිත් විනා කියලා දේ අසා සිටියෙමි...

“ඒ මිනිහා හොඳ එකෙක් නෙවෙයි.. හැම තැනම  ගෑනු... මම ඉන්න බෑම කියද්දි අන්තිමේ ඒ මිනිහා මට යන තැනක යන්න කීවා.. මම ආපහු බෝඩිමට යද්දි ඩෝඩිමටත් හැමදේම ආරංචි වෙලා මට එහෙන් යන්න කිව්වා.. ඊට පස්සේ තමයි මම  යන්න එන්න නැතක් නැතිව ආයිත් මහපාරට වැටුනේ මට දැනුනා මට පිස්සු හැදිගෙන එනවා කියලා මම දයා නිවසට ඇවිත් එතන සිස්ටස්ලාට මගේ ප්‍රශ්නේ කීවා.. ඒ ගොල්ලෝ මගේ හිත හදලා මට වියදමට සල්ලිත් දීලා මම දැන් වැඩ කරන තැන මට වැඩ හොයලා දුන්නේ...“

ඇය කතාව එදිනට වනතුරු කියා නිහඬ වුවාය... මම කතාකරගන්නට නොහැකිව මගේ කවි පොත පෙරලමින් උන්නෙමි.. ඇය එය  මගෙන් ඉල්ලා ගත්තාය... මම අමාරුවෙන් හඬ අවදි කලෙමි...

“ඔයා අපිට කියපු දේවල් ගොඩක් බොරුනේ.. ඒකනේ බෝඩිමේ ආන්ටි උනත් ඔයාව විශ්වාස කරන්නේ නැත්තේ.... මීට පස්සේවත් යන තැන්වලට බොරුනොකියා ඇත්තම කියන්න හැම දේම නෙවෙයි.. කියන්න අමාරු ඒවා නොකියා.. පුළුවන් දේවල් විතරක් කියන්න.. මම ට්‍රයි කරන්නම්.. ඔයාට මොකක් හරි හොයලා දෙන්න...“

“ඔයාට ගොඩක් පින් අක්කේ... ඒත් මේ කතාව බෝඩිමේ අයට කියන්න එපා... “

“හ්ම්ම්මම් නෑ මම මේවා කියන්න යන්නේ නෑ.. “

“මේවා ලියන්නේ ඔයාද....“ ඇය මා ලියූ කවි ආශාවෙන් කිවයමින් ඇසුවාය.. මගේ මිතුරියකට දෙන්නට මා ලියු කවි කිහිපයක් මුද්‍රණය කොට තිබු ෆයිල් කවරය ඇය අත විය..

“ඔව්... මම බ්ලොග් එකක් ලියනවා ඒකේ ලියපු කවි වගයක් යාළුවෙක්ට දෙන්න ප්‍රින්ට් කලේ..“

“අනේ මේ ටික මට දෙන්නකෝ....මම ආසයි මෙහෙම ප්‍රින්ට් කරලා තියෙනවට..“ ඇය මුද්‍රිත කොල නැහැයට තබා සුවඳ විදිමින් කීවාය..

“හා ඔක ඔයා ගන්න.. මම යාළුවාට වෙන කොපියක් අරන් දෙන්නම්...“ මම නිහතමානිව ඇයට ඒවා දුනිමි.. ඇය ඒවාත් රුගෙන ආශාවෙන් ඇගයේ කාමරය වෙත දිව ගියාය..

සිතලව තිබූ.. බන් පත කෑවාට වඩා අත ගෑවෙමි.. මගේ මනසේ රුඳූනේ අම්මාවය... අම්මා කෙනෙකුගේ ආදරයෙන් ඈතට යන දියණියන්ගේ ඉරණම බෝහෝවිට වීනාගේ ඉරණම වැනිය.. ඒ අතින් මා කෙතරම් වාසනාවන්තවේදැයි මම අම්මාව ආදරයෙනි සිහි කරමින් කල්පනා කලෙමි... මගේ කල්පනාව බිඳිමින් වීනා නැවතත් දොර අබියසින් මතුවිනි...

“මේ මම ලියපු කිවි වගයක්.. ඔයා මට මේවා... ලස්සනට ටයිප් කරලා දෙනවද..“  ඇය කොල කිහිපය මා වෙත පාමින් ඇසුවාය...

“අද හෙට නම් බැරි වෙයි... මම ඉරිදට ටයිප් කරලා දෙන්නම්..“ ඇගෙන් ඒවා ගනිමින් මම කීවෙමි...

“හා කමක් නෑ... ඉරිදා රෑ තමයි මම මෙහේ ඉන්න අන්තිම දවස... සඳුදා ඉඳන් මට යන්න කියලා ඇන්ටි කිව්වා...“ ඇයගේ හඬෙහි දුකක් නොවිනි.. එහෙත් මට දුකක් දැනුනි ඇය යලිත් මහ පාරේය..

“හ්ම්ම්ම් ඔයා කොහේද යන්නේ...ඉතින්....“

“මේ ලඟ කොන්වන්ට් එකක් තියෙනවා මාසෙටම හාරදාහයි... කෑම නැතිව..“

“ඉතින් ඔයාලඟ සල්ලි තියෙනවද....දැන් ආන්ටිට හිටපු මාසෙට සල්ලි දෙන්න වෙනවානේ..“

“නෑ අක්කේ මට සඳුදා පඩි දෙනවා කිව්වා.. එතකල් ඉන්න වෙනවා.. මට හයදාහයි පඩි. ඇන්ට්ට දෙදහක් දීලා අනික කොන්වන්ට් එකට දෙනවා... මට ඔයාලඟ තියෙනවනම් සඳුදා දෙනකල් කීයක් හරි දෙන්න පුළුවන්ද බස් එකටවත් සල්ලි නෑ..“ ඇය බලා පොරෙත්තු දෑස දල්වා ඇසුවාය.. මා පසුම්බිය ගෙන බැලුවෙමි.. එහි  ඇත්තේ රුපියල් හැටක් පමණි..

“මගේ අතේත් නෑ බැන්ක් එකෙන් ගන්න ඔනි.. මම ඔපිස් ට්‍රාන්ස්පෝට් යන නිසා අතේ සල්ලි තියා ගන්නේ නෑ... මගේ ඒ ටී ඇම් කාඩ් එක නැති  වෙලා ඒක ගන්න ආයි නුවරඑළියේ බෑන්ක් එකටම යන්න ඔනි... මේක තියා ගන්න...“ මා අතවු අවසන් රුපියල් හැට ඇයට දුනිමි.

ඇය එයන රඅගෙන ඉහිල ගියේ මිටින් හල කිරිල්ලියක මෙනි.. මගේ ඇයගේ කවි කොලය කියවන්නට  ගතිමි...

ඇයි මා තනි වුනේ සුව පතලා තනි යහනේ
වෙයි සිතුවාද බොරු බව රෑ දුටු සිහිනේ
කොයි යම් දෙයක් තිර නැති සිතිවිලි මිදුනේ
ඇයි කඳුලක් බවට මගේ ජීවය අද වැටුනේ

පෙනි පෙනි සැඳැවේ අවරට ඇදෙන වලා
හනි හනිකටම ආයිත් නෙතු සඟල සලා
කනිසම වෙලද්දී කර්මය දොර මුලට වෙලා
මා පැතුම් හද තුල මගේ එකතු කලා

පරසිත් නොම දනී නෙත කඳුලු විසිරිලා
නොපෙනෙන ලෙසට මල්පාවඩ හැරාපියා
කෝ සෙව් මිනිස් කම් කොනැනත් නැති නියා
කවුරුත් මොඳයි මා වැඩියෙන් වැරදි කලා

මිනිසත් කම පමණි අත ඉතිරිව ඇත්තේ
දරුවන් වේදනා නෙත කඳුලැලි නැත්තේ
පිදුවත් ආදරය ඔබ නෑ පිලිගත්තේ
මා ගත්මගෙහි කිසිවිට වරදක් නැත්තේ

අයගේ අපහැදිලි සිංහල අකුරු අතරේ ඇය මා හා  නොකියු සියල්ල සිනමාපටයක් මෙන් මගේ මනසේ ඇදෙන්නට විය.. අසල් වැසියන් ගෙහිමි කාන්තාව හා කියු කතාවන් බොරු නොවේ.. අසළ මෙහෙනි ආශ්‍රමයේ සිල් මාතාව නිවසටම පැමිණ දුන්නා යැයි කියවුනු උපදෙස ඇය පිළිපැදීම ගැන ගෙහිමි කාන්තාවට සිත ප්‍රශංසා කලාය..

වීනා අබිසරුලියකි.. දෛවය විසින් ඇයගේමඟ වරදවා ඇත.. ඇය වැටුනු වලෙන් ගොඩ එන්නට උත්සහ කරන්නේ ඒ වලෙහි කටින්මට එහි කීමට තරම් වරදක් නැත.. මන්ද ඇයට උපදෙස් දෙන්නට ආරක්ෂා කරන්න කිසිවෙකුත් නැත...

උදාවුනු සඳුදාවේ වීනා බෝඩිම් නිවසින් යන්නට ගියාය ඒ කිසිදු මුදලක් ගෙහිමි කාන්තාවට නොදිය.... “අපොයි සල්ලි නැති උනාට කමක් නෑ.. මෙතන ගනිකා මඩමක්  ගානට වැටෙයි.. මෙහේ ඉන්නේ වැදගත් ගෑනු ළමයි... “ ඇය සැනසිලි සුසුම් හෙලමින් පාඩුව විඳ  ගත්තාය.

එහෙත් දින කිහිපයකට පසු වීනා මා සොයගෙන මගේ කාර්‍යාලයට පැමිණියාය ඒ යලින් ඇයට රැකියාවක් සොයා දෙන ලෙස අයදින්නටයි.. මම මහත් අපහසුතාවයට පත්වුනෙමි.. ඇයගේ විලාසිතාවත් ඇයගේ චරිතය විදා දක්වන්නට විය.. මම ඇය විවේක කාමරයට කැඳවා ගොස් දන්නා තරමින් උපදෙස් දුනිමි... අවසන යහපත්  ජීවිතයක් ගතකරන බවට ඇය පොරොන්දු  වුවාය.. එබැවින්  මාගේ කාර්‍යාල සගයෙකුගේ කුඩා දියනියක් බලා ගැනිමට  ඇයට  පැවරිමට කතා කොට දුනිමි.. ඒ සඳහා ඇය ඔහුගේ නිවසේ නැවිතිය යුතු බැවින්.. වැඩහිටියෙකු හෝ භාරකාරයෙකු නොමැති වීනා පොලිස් පොතේ ලියා තම නිවසේ නවත්වා ගැනීමට මගේ මිතුරා කැමැත්ත පල කලේය.. පසු දින ඇයට එන ලෙස දන්වා ඇය පිටත් කර හැරයත් ඇය යලිත් නොපැමිණියාය.

දින කිහිපයකට පසු දුරකතනයෙන් මා ඇමතු ඇය අනුරාධපුරයේ සිටින ඇයගේ මව මිය ගොස් ඇති බවත් අවමඟුලට යාමට  රුපියල් පන්දහසක් ණයට දෙන ලෙසත් ඉල්ලා සිටියාය.. විදේශයකයැයි කී මව අනුරාධපුරයේදි මිය යන්නේ කෙසේදැයි අසූ මා..  මා ලඟ මුදල් නැති බව කියා දුරකතනය විසන්දි කලෙමි..

ඊටත් පුස වීනා මා හට අවසන් වතාවට මුණ ගැසුනේ සොඳුරු රස්තියාදුවක යෙදෙමින් නුවර නගරයේ සාප්පු සවාරියේ යෙදෙමින් සිටියදීය.. ෆැෂන් බග් ආයතනයෙන් පිටවද්දිම ඇදහැලුනු ධාරානිපාත වරුසාව  තුරල් වන තුරු බෑග් කවුන්ටරයට මුවාවී සිටි මා අසලටම වීනා පැමිනෙන තෙක් මා ඇය  නුදුටුවාය...

මහ මඟ ඇය හා කිරීමට මට අපහසුවක් දැනුනි.. එහෙත් ඇය ලෙන්ගතුව මාහා කතා කලාය.. මිය ගිය අම්මා ගැන කිසිත් නොකීයාම ඇය රස්සාවක් සොයා යන බව කියමින් තම අයදුම් පතත් රැගෙන ෆැසන් බග් ආයතනය තුලට ගියාය.. එහෙත් පසුව මා හට දැන ගන්නට ලැබුනේ ඇයට එහිත් රැකියාව නොලැබුණු බවයි.. දැන්  ඇය දැන සිටි මාගේ දුරකන අංකය භාවිතයේ නැත මා අළුතින් ගත් අංකය දන්නේ සමීපතමයන් කිහිප දෙනක් පමණි.. වීනා රැකියවක් සොයා දෙන ලෙස කියා මා සොයනවා වන්නට ඇත.. ඇයට උපකාර කිරිමට නොහැකි වීම ගැන මා කනගාටු වෙමි එහෙත්.... ඇය වන්නියකට රැකියා සොයා දී ඇති ථලය කිම.. ඇය යලිත් සුපුරුදු රැකියාවටම යනු ඇත.. සුපුරුදු ලෙස බොරුවෙන්ම ජිවත් වනු ඇත.....

නම් ගම් මන:කල්පිතයි.....