මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Sep 17, 2011

යලි යමුවූවොත්

“නෙතූ... නෙතූ....“


“අනුහස්...!!“


“ඉතින්... කොයිද මේ දාඩිය දාගෙන යන්නේ..?“


“ම..මම ගියා බුක් ෂොප් එකට.. ම්..මේ මේ ඔයා ඊයේ රිලීස් කරපු අළුත් කවි පොත ගන්න“


“ආ..නේ... ඇත්තද.... මට ඔයාව අමතකම උනා නෙතූ.. ඇසෝෂියේශන් එකේ ගොඩක් අය ආවා ඊයේ දොරට වැඩුමට..“


“ම්ම්ම්ම්“


“නෙතූ මම ඔයාව දැක්කෙත් කාලෙකින්  යමුද අපි මොනවා හරි බොන්න..“


“ම්ම්ම් .. කමක් නෑ  අනු.. ම..මම යන්නත් ඔනි.. ඉස්කෝලේ ඇරිලා යන ගමන් ආවේ අම්මා බය වෙයි..“


“ඔයා මාත් එක්ක තාමත් තරහින් නෙතූ..ටීචර් නෝනා විනාඩි දහයක් පරක්කු උනා කියලා අම්මා බය වෙන්නේ නෑ.. යමු.. ප්ලීස්... මගේ හිතට හරි නැහැ ඔයාව  දොරට වැඩුමෙදි අමතක උනාට.. ප්ලීස්.. මට මගේ වරද හදා ගන්න දෙන්න..“


“හ්ම්ම්.. යමු.. ඒත් මම ඔයා ගැන වරදක් හිතුවේ නැහැ.. කොහොමත් මතක තියා ගන්න තරම් විශේෂ කෙනෙක් නෙවේනේ මම“


*****************************************************


“ඉතින් නෙතූ කොහොමද ජීවිතේ...“


“කියන්න තරම්  අළුත් වෙනසක් නෑ අනුහස්..ම..මම ඉස්සර වගේමයි..තාමත් තනියම..“


“මට නෙතූ එක්ක ඇසෝෂියේශන් ගෙට් එකේදිවත් කතා කරන්න බැරි උනා.. ඔර්ගනයිසින් කමිටි එකේ හිටි නිසා හරියට බිසී උනා..“


“නෑ.. අනුහස් මම ආවේ නැහැ.. ඇසෝෂියේශන් ගෙට් එකට තියා කිසිම ගැදරින් එකකට මම ආවේ නැහැ..“


“ඔහ්!! ඇතතද...? ඔයාව දකිද්දි මය පුදුම හිතුනා නෙතූ.. මෙහෙම මුණගැහෙයි කියලා හීනෙකින්වත් හිතුවේ නැහැ..“ 


“ම.ම...මටත්  පුදුමයි.. ඔයා වගේ ප්‍රසිද්ද කෙනෙක් මං වගේ කෙනෙක්ට මේ වගේ ට්‍රීට් එකක් දෙනවා කියලා හිතද්දි.. ඇත්තටම මට හරි පුදුමයි අනුහස්....“


“හිහ්.. හිහ්!!  මම..? මගේ මොන ප්‍රසිද්දියක්ද නෙතූ .. මම ඉස්සර හිටිය අනුහස්මයි... පොතක් දෙකක් ප්‍රින්ට් කලා කියලා මගේ ආධ්‍යාත්මයේ මහ ලොකු වෙනසක් සිද්ද වුනේ නැහැ..“


“හ්ම්ම්ම් ඉස්සර හිටිය අනුහස්... මතක් කරන්නත් ආසයි..“ 


“ඇයි නෙතූට මගේ වෙනසක් පේනවද..?“


“නැහැ.. වෙනසක් නෑ... ඉතින් අනුහස්.. බඳින්න ඉන්න කෙනා සනීපෙන්ද...“


“හ්ම්ම්ම්.. ඔව් හොඳින්...“


“අනේ මන්දා ජීවිතේ කියන්නේ මහා පුදුමාකාර දෙයක් අනුහස්..ඔයා දන්නවද.. ඒ කාලේ ඉඳන් ඔයා ලියන හැම වචනයකම ඉස්පිල්ලක් පාපිල්ලක් ගානේ මම මගේ ජීවිතේ හෙව්වා...  ඇසෝෂියේශන්  එකේදි ඔයාව දකිද්දි, කතා නොකලත් ඈත ඉඳන් ඔයා දිහා බලාගෙන ජීවිතේට අරමුණක් ඔයාගෙන් හෙව්වා..මම ආදරේ නොකරපු කෙනෙක් නෙවෙයි අනුහස් ඒක ඔයා දන්නවා.. මම ආදරේ කරලත් තියෙනවා.. ආදරේ නිසා අන්තෙටම පැරදිලත් තියෙනවා.. ඒත් මට තාමත් හිතා ගන්න බැරි..ආදරේ නිසාම පරාද වෙලා මුල්ලක වීසි කරලා දාලා තිබුණ මගේ හිතේ, අළුත් බලාපොරොත්තුවක් එක්ක ඔයා ගැන ආදරයක් ඇති වුනේ ඇයි කියලා... ඇත්තම  කිව්වොත් මම මටත් නොදැනී ඔයාට ආදරේ කරන්න ගත්තා..  ඇසෝෂියේශන් එකේ කෙල්ලෝ ඔයා ගැන කතා කරද්දි මම නිහඬව අහගෙන හිටියා.. උන් විවේචනේ කලේ ඔයාගේ ගති පැවතුම්.. උන්ට ඔයාව විහිලුවක් උනා.. කාටවත් ඔයාව හැන්ඩ්සම් විදියට පොනුනේ නැහැ.. ඔයා බේබද්දෙක් වෙන්න ඇති කියලා උන් කීවා.. ඒත් මම ඔයාව මගේ ජීවිතේ සුපර් මෑන් කර ගත්තා අනුහස්.... අදටත් මම නිහඬව ඉඳියි, එදා මට පියුමි මුණ නොගැහුනානනම්.. ආදරේ ගැන, විවායහ ගැන , දිගින් දිගට කතා නොකලනම්,කතාවේ අන්තිමට මගේ හිත පුරා ඔයා ඉන්න බව  මම ඔයාගේම නංගි පියුමි එක්ක නොකීවනම්.. ඔයා අදටත් මගේ හිතේ ලස්සනම ලස්සන හීනයක් වෙලා ඉඳිවි අනුහස්.. දැන් නැහැ කියලා මම කියනවා නෙවෙයි.. ඒත් මා එක්ක පැය ගානක් කතා  කර කර ඉන්න කොටවත් ඔයාට ගෙදරින් ප්‍රෙපෝසල් එකක් ඇවිත් කියලා නොකියපු පියුමිම.. ඔයා ගෙදරින් ආව ප්‍රෙපෝසල් එකකට කැමති වුනා කියද්දි.. මගේ හිත හීතල වෙලා ගල් වුනා  වගේ වුනා.. හරියටම මේ කුල් ඩ්‍රින්ක් එක වගේ..මට ඔනි වුනේ අතුරුදහන් වෙන්න කාටවත් නොපෙනී ඉන්න.. දන්නවද අනුහස්.. මගේ හිත මට හරියට දොස් කීවා පියුමි එක්ක මගේ ඒක පාර්ශ්වික ආදරේ ගැන කියපු එකට.. මට පුදුම ලැජ්ජාවක් ඇතිවුනා.. මාත් එක්ක වචනයක් කතා නොකරපු ඔයාට මේ වගේ ප්‍රෙපෝසල් එකක් කරපු එකට.. ඇත්තටම ඔයාට මං ගැන මොනවා හිතුනද කියලා මට හිතා ගන්න බැරිවුනා අනුහස්.. සාමාන්‍යෙයන් කෙල්ලක් කිසිදාක නොකරන දෙයක් මේක.. විශේෂයෙන් මං වගේ පරාජිත චරිතයක්..මට මං  ගැන ඇති වුනේ පුදුම තරහක්.. මම ආසාවෙන් හදා ගත්ත මගේ සුරංගනා ලෝකේ කුඩු පට්ටම් කරලා දාන්න මට ඔනි වුනා..මම  ඇසෝෂියේශන් එකෙන් ඈත් වුනා.. මම මගේම නිහඬ ලෝකෙක තනි වුනා..ඒත්..හිත ඇතුලේ අදටත් ඒ සුරංගනා ලෝකේ පවුන්ඩේෂන් එක ඉතිරි වෙලා තියෙනවා.. ඒක වෙන්න ඇති ඔයාව ටී වී එකේ දකිද්දිත් චැනල් එක මාරු කරලා හැංගිලා යන්නේ.. ඔයාව දකින එක ඔය කට හඬ අහන එක මගේ හිතට තාමත් ලොකුම ලොකු බරක් අනුහස්..“


“නෙ.. නෙතූ... මේ මොනවද කතා කරන්නේ..“  


“ඔයාට පුදුමයි නේද අනුහස්.. නිවට නෙතූ මෙහෙම කතා කරන එක ගැන... ඇත්තටම මටත් පුදුමයි .. මේ දැන් ටිකකට කලින් ඔයාව බුක් ෂොප් එකේදි දැක්ක වෙලාවේ මට හිතුනේ පස්ස හැරිලා දුවන්න.. ඒත් මගේ කකුල් දෙක ඒකට ඉඩ දුන්නේ නැහැ.. ඒත් දැන් මට සතුටුයි මේ ටික ඔයා එක්ක කියන්න මට අවස්ථාවක් ලැබුනට.. මේ අවස්ථාව  නොලැබුනානනම් මගේ මුළු ජීවිත කාලේම මම පසු තැවෙයි අනුහස්..“


“නෙතූ...!!“ 


“මගේ හිත ගල් වෙලා අනුහස්.. කඳුලු නාල බ්ලොක් වෙලා.. මට අඬන්න බෑ.. මට ඇඩෙන්නේ නැහැ.. ඒත් මගේ හිත ඉකි ගහ ගහ අඬනවා.. මට තවත් මෙතන ඉන්න බෑ.. අනුහස්.. මම යනවා.... ආයිත් මම ඔයාගේ ඇස් ඉස්සරහට කිසිම දවසක එන්නේ නැහැ..“


“නෙ.. නෙතූ....“


*****************************************************


“චූටි දුව නැඟිටින්න.. හයත් වෙලා... අද ඉස්කෝලේ.. යන්නේ නැද්ද....“


හැඬුවේ නැහැ මම ඉකි  ගසා
සිතෙන් රස විඳි අහිමි පෙමකට 
කඳුලු පෑහෙන් නැති නිසා

Sep 14, 2011

තනිකමත් සුන්දරයි

හප්පුච්චියේ කාලෙකින් මේ පැත්තේ ආවේ.. මොනවා හරි විකාර ටිකක් කියවලා යන්ට.. හික් හික්.. අනේ මන්දා මට මේක ලියන්ට හිතුනේ අපේ ශානු නඟාගේ පොස්ට් එක කියවලා... හනේ ඉතින් අපේ කෙලි හිතේ වේදනාව පිට කරලා තියෙන විදිය දැක්කම දුකයි තමයි එයා ගැන විතරක් නෙවේ මට මං ගැන  උනත්

ඉතින් මම සුදානම් වෙන්නේ ඒ ගැන පොඩි විග්‍රහයක් මගේ පැත්තෙන් කරන්න ශානුට වගේම තනියි කියලා හිත රිදවන් ඉන්න ඔනිම කෙනෙක්ට මාත් එක්ක  මේ ගැන තර්ක කරන්න පුළුවන් 


මාව බලාගන්න මගේ දුක අහන්න  
මගේ ලඟින් ඉන්න මාත් එක්ක එකට දුක සැප බෙදා ගන්න
කෙනෙක් නෑ

ඇත්ත.. දුකයි තමයි තමන්ටම කියලා කිසිම කෙනෙක් නැති වුනාම, හිතට පුංචි හරි දුකක් ආව ගමන් කතා කරලා බෙදා ගන්න කෙනෙක් නැති වුනාම, පාළුව කාංසිය යන්න කියව කියව ඉන්න කෙනෙක් නැති වුනාම, දරා ගන්න බැරි තරම් වේදනාවක් හිතට දැනෙනවා සමහර වෙලාවට මගේ උගුර හිරවෙලා කම්මුල් රතු වෙලා ඇස් වල කඳුලු පිරෙනවා... ඒත් කිසිම වෙලාවක ඒ කඳුලු වලට එළියට එන්න ඉඩක් තියන්නේ නෑ..

ඇයි දන්නවද  මම කොහොමද හිතන්නේ මම හොඳටම තනි වෙලා කියලා දෙමව්පියෝ සහොදර සහොදරියෝ අපිට ඉන්නවා නේද ඇයි හොඳම යාළුවෝ..  

හිතට පාළුවක් තනිකමක් දැනුනම අම්මා එක්ක මොකක් හරි ඔප දූපයක් කියව කියව ඉන්න පුළුවන්, එහෙමත් නැත්නම් මල්ලි එක්ක වලියක් දා ගන්න පුළුවන්. ඒ දෙකම කරන්න බෑ නම් යාළුවෙක්ට කතා කරලා මොනවා හරි කියව කියව ඉන්න පුළුවන්..


අපි කැමතියි කවුරු හරි අපෙන්  , කෑවද , බිව්වද , නිදා ගත්තද, ඔෆිස් ආවාද  කියලා අහ අහ නිතරම වද දෙනවට. ඒ වගේම අපිත් ඒ වගේ කාට හරි සුන්දර කරදරයක් වෙන්න ආසයි හැම වෙලොවෙම කොල් කර කර ඇස් ඇම් ඇස් කර කර  ඉන්න කොට ඇත්තටම දැනෙන්නේ මහ පුදුමාකාර සැහැල්ලුවක්...  

අපි මොනවා හරි දෙයක් කරන කොට ඕක කරන්න එපා මේක කරන්න අපි ආස ඇඳුමක් අඳින්න ගන්න කොට, ඕක අඳින්න එපා මෙහෙම අඳින්න, අපි ගමනක් බිමනක් යන්න හදනකොට යන ගමන යන අය ගැන හොයලා වාරන නීති පණවන්න කෙනෙක් ඉන්නවනම් ඒකත් එක්තරා විදියක සුන්දර දෙයක් 

අසනීප උනාම ගව් ගානක් ඇතක හිටියත් බෙහෙත් ගන්න.. වෙලාවට බෙහෙත් බොන්න කිය කිය වද කරන්න කෙනෙක් ඉන්නවනම් කෑමක් කද්දි කාව හරි මතක් වෙනවනම්, ඒ තරම් පිරිපුන් බවක් ජීවිතේ තවත් තියෙනවද.. 

ඒත් ඔය කියන කිසි දෙයක් අපිට නැත්නම්.. ජීවිතේ පාළුයි නම්... හිස් නම් .. බලාපෙරොත්තු සුනු විසුණු වෙලා නැත්තටම නැති වෙලා ගිහින්නම් .. අනාගතය කියන දේ හිස් තැනක් විතරයි නම්.. ජීවත් වීමේ අරමුණ අපිවත් නොදන්නවානම්... 

දෛවය විසින් දිලා තියෙන ඒ දඬුවම හරිම වේදනාකාරියි තමයි...  ජීවත් උනා ඇති දැන් නම් මැරෙන්න කාලේ හරි කියලා හිතෙන වාර අනන්තයි.. ඒත්

මැරෙන්න තීරණය කරන විනාඩියේ හිත වෙන දේකට යොමු කරා නම් පස්සෙන් පහු දවසක හිතෙයි අපරාදේ අහවල් දවසේ මම මැරුනනම් මේ සතුට අද විඳින්න වෙන්නේ නැහැනේ කියලා...

ඉතින් මට කියන්න තියෙන්නේ ජීවිතේ කියන්නේ එන්තරා අයුරකින් මහගිරි දඹක්.. ඒක නගින්නම වෙනවා අපිට සිරිපා පියුම වැඳ ගන්න.. බෑයි කියලා අතර මඟ දාලා ගියොත් හිමි වෙන්න තියෙන දේවල් ගොඩක් සදා කාලිකව අහිමි වෙලා යනවා.. 

මගේ ජීවිතේ ගැන මම දකින්නේ එහෙම.. තවලමෙන් මගේ පොද්ගලිකත්වය කියවෙනවා වැඩියි කියලා ගොඩක් යාළුවෝ කීවා ඒ නිසා තවලමේ දැන් මගේ ජීවිතේ ගැන ලියවෙන්නේම නැති තරම් 

ඒත් අද ඉන් ටිකක් ඔබ්බට ගියා වගේ.. ඒ නිසා කියන්නම්  තවලමේ හැමෝම දන්නවානේ ශානු ඔය කියන ප්‍රශනේම මටත් තියෙනවා කියලා.. ඉතින් ඒ ප්‍රශනේට මම හොයා ගත්තා විසඳුමක්.. ඒ මොකක්ද දන්නවද..

මගේ දෛවයට ඔනි මාව තනි කරන්නනම් මම ඒ තනි කම ආසාවෙන් බාර ගන්නවා.. දුක්බර තනිකම සුන්දර විදියට දකිනවා..ඒත් හැමදාමත් තනියම ඉන්න වෙයි කියලා හිතෙද්දි ආයිමත් මගේ  උගුර හිරවෙනවා කම්මුල් රතු වෙලා ඇස් වල කඳුලු පිරෙනවා.. ඒත් මම අඬන්නේ නැහැ....


Sep 10, 2011

කවී ගැන කවී ලියපු කවිය

~සමන් මලෙක කතාවක්~


සමනලියකට පෙමින් බැඳුනා 
බඹර කුමාරයෙක්
සමන් මලකට දුකක් දැනිලා 
වැටුනි පිනි කඳුලක්


සමනලිය වන ඹබර කුලයේ
නොවේ, වේවි දුකක්
සමන් කැකුලියේ , බඹර කුලයේ
නොවේ ඉතින් නුඹත්


හඬන බඹරා දිහා බලමින්
හඬන සමන් මලක්
සමන් මල දෙස බලා සුසුමක් 
හෙලි කුමුදු මලක්


පොස්ට් එක


අද සුදු හංසි ටිකක් අතීතෙට යන්න සූදානම්.. මූණු පොතේ කවි ලියන කවුරු කවුරුත් මේ දවස් වල  තමන් ලියපු හොඳම කවිය තොරන්න උත්සහ කරනවනේ සත්කාර වෙනුවෙන්, ඉතින් මමත් මගේ කවි පොත ඇවිස්සුවා එතනදි මට  උඩ  තියෙන කවිය හා සම්බන්ධ සුන්දර මතකයක් අළුත් උනා.. ඇත්තම කියන්න ඔය කවිය ලීවේ මම නෙවේ.. අපේ කවි අයියා.


කවි අයියාගේ මේ කවියට මුනු පොතේ ප්‍රතිවාර ගොඩක් ලැබුනා. මමත් කමෙන්ට් කලා. ඉතින් කවි අයියා මට පර්සනල් මැසේජ් එකකින් ස්තූති කරලා තිබුනා  “ස්තූතියි නංගි සමන් මල උනාට“..  මම බැලුවා ඒ මොකද කියලා මෝඩයා වගේ මම ඇහුවා “ඇයි අයියා මට ස්තූති කරන්නේ “කියලා... කවි අයියා කියන්නේ සුට්ටක් ඉක්මනට තරහා යන කෙනෛක් හිකිස්.. එක පාරට කීවේ නැතැයි “ හනේ.. කවි ලියලා ඒවයේ තේරුමත් කියලා දෙන්න ගියාමනේ එපා වෙන්නේ “ කියලා.. හිකිස් එතකොටයි මමත් කවිය ආයිත් කියෙව්වේ..


ඊට පස්සේ මම ලීවා ඒ කවියට පිළිතුරක්.. මෙන්න මේ විදියට 




මේ කේ නිධාන කතාවනම් ගොඩක් පරණයි.. මතක් කරන්න අකමැති මතකයක් නිසා මේ වෙලාවේ නිධාන කතාව නොකියා ඉන්නම්.. හැබැයි ඉතින් දන්නෝ දනිති. :)


මේ පෝස්ටුව දාන්නේ කවි අයියට නොකියා... ගුටිත් කන්න වෙයිද මන්දා හි.. හි.... කවි අයියේ ගහන්න එපෝ....

Sep 5, 2011

හෘද්ද සාක්ෂියට ඉඩදීම

AC කරපු ඔපිස් රෑම් එකක්, තනි පාව්ච්චියට වොෂ් රෑම් එකක්,  අඩි දහයක් යන්න උනත් ෆුල් ඔප්ෂන් වාහනයක්, ඉලක්කම් පහේ සැලරි එකක්, අර අලවන්ස් මේ අලවන්ස් අර පාටි මේ පාටි.. හ්ම්ම්ම් ඔය වගේ දේවල් තියෙන රැකියාවක් එකපාර අහිමි උනොත් කෙනෙක්ට කොහොම දැනෙයිද... 

හැමෝම කියයි අපරාදේනේ කියලා... ඒත්.. මම ඒ අත්දැකිමට මුහුණ දුන්නා.. ඒත් අද වෙනකල් දුකක් වත් සතුටක්වත් දැනුනේ නැහැ... එක පාරට we are going to close kandy branch from 31 st කියලා කියද්දි මම කලේ ඉතිරි වෙලා තිබුන දවස් 10 ඇනුවල් ලීව් දාලා ගෙදර ආපු එක...

ගෙදර කිසිම කෙනෙක් කිසිම දෙයක් කීවේ නැහැ, වෙන රැකියාවක් හොයා ගන්න කියලවත් කීවේ නැහැ.. අම්මාගෙයි අප්පච්චිගෙයි නිහඩ ප්‍රතිපත්තියත් හිතට වදයක් නොවුනාම නොවේ.. ඒ නිසාම මම ගිහින් නුවරඑළියේ   ඉන්ස්ටිටියුට් එකක manager මුණ ගැහුනා.. සී වී එක බලපු ගමන් පළවෙනිදා ඉඳන් වැඩට එන්න කියලයි  කීවේ...වැඩ කරන්න වෙන්නේ වැලිමඩ තියෙන අළුත් බ්‍රාන්ච් එකේ... ඔය අතර තුර කාලයේ තුන් හතර වතාවක් නුවරත් ගිහින් ආවා ඒත් පළවෙනිදට අළුත් රැකියාවකට යනවා කියන හැඟිම දැනුනේම නැහැ මට, 

ඉතින් පළ වෙනිදා  උදා වුනා වෙනදට නවය කිට්ටු කරලා ඇහැරෙන මාව ඇහැරවන්න අම්මට වෙනමම රාජකාරියක් කරන්න උනා... නැගිට්ටේ නොකර බැරි  නිසා.... මුණ සොදගෙන ලෑස්ති වුනේ යාන්ත්‍රිකව වගේ වෙනදට පිළිවෙලට අඳින ඔසරිය තුන් හතර පාරකට වඩා කඩලා ඇන්දා.. ඒත් අපිලිවෙලයි.. බුදුන් වැඳලා අම්මට අප්පච්චිට, අත්තම්මට වැඳලා පාරට ගොඩ වෙන්න පඩි නගිද්දි ඔසරියේ පොටක් පැගිලා පලාතක් ඉරුනා... නැවතිලා ඒක කටුවකින් වහගෙන පාරට යද්දි බස් එක ගිහින්....  

ඉස්සෙල්ලාම දවසේ ඔපිස් ගියේ පරක්කු වෙලා .. මගේ වෙලාවට ලොක්කත් පරක්කුයි.. පැයක් වාඩි වෙලා හිටියා.. ලොක්කා එද්දි 10 කිට්ටු වෙලා... ආව ගමන් ඩිස්කෂන්.. ආෆ්ටර් ඒ  ලෙවල් කොස් එක ගැන.. පැයක් දෙකක් යද්දි ස්ටාෆ් එකේ හිටිය තුන් දෙනා මැනේජර් රූම් එකට කැදෙව්වා.. එයාලට මාව අඳුන්නලා දුන්නා..

“welcome your new Manager.......“  මම එතන මැනේජර් විදියට පත් වෙනවා කියලා දැන දැන ගියත් මට දැනුනේ අමුතු හැඟිමක්..

A/L කලා... Computer Course එකක් කලා.... Batch Top උනා... Trainee Instructor කෙනෙක්ගෙන් පටන් අරගෙන Student Administrator/ Student Councillor  කෙනක් වෙනකල් මහන්සි වෙලා වැඩ කලා... වෙනසක් ඔනි උනා.. Business Development Executive කෙනක් උනා.... කම්පනි එක වැහුනා.. ගෙදර ආවා.. ආයිත් Manager කෙනෙක් විදියට වැඩ පටන් ගන්න යනවා.... 

තමන්ගේ රැකියා තත්වය ගැන හිතන ඔනිම කෙනෙක් අනිවාර්‍යෙයන් සතුටු වෙනවා.. ඒත්.. මම??? හවස 3 වෙනකල් බොහොම අමාරුවෙන් වාඩි වෙලා ඉඳලා.. හිරෙන් පැන්න ගානට ගෙදර දුවන් ආවා... ආපහු පහුවදා වැඩට යන්න අමාරුවෙන් හිත හදා ගත්තත් යන්න හිත දුන්නේම නැහැ... ඒක සිද්ද වුනේ බ්‍රහසිපතින්දා.. සිකුරාදා  සෙනසුරාදා ඉරිදා දවස් තුනම කල්පනා කරලා ආයිත් අද (සඳුදා) උදේ වැඩට යන්න ඔසරියෙන් සැරසුනා.. ඒත් මට යන්න හිත දෙන්නේම නැහැ... පාරටත් ගොඩ උනා.. බලා හිටියා හිටියා බස් එකක් නැහැ.. අම්මයි අප්ච්චියිත් ගමනක් යන්න ලැහැස්ති වෙලා පාරට ආවා.. ඇතදීම මාව දැකලා දෙන්නා කතා වෙවී ආවේ මං ගැන වෙන්න ඔනි....

“යන්න බැහැනම් ගෙදර යන්න ඔයා ජොබ් එකක් කලේ නැහැ කියලා කන්න නොදි ඉන්නවද අපි..“ අප්පච්චිගේ වචන ටික ඇති මට ඉගිලෙන්න...  ගෙදර ඇවිත් ටික වෙලාවකින් මට නිකමට මම උගන්නපු මැඩම් නෙකෙක්ට කතා කරන්න හිතුනා... නිකමට වගේ ඩයල් කලා.. මැඩම්  එහා පැත්තේ...

“today itself you come and join with me... you are a good teacher I know that " 

හ්ම්ම්ම් ඒ ටිකම ඇති  හිතට...  අවුරුදු 3ක් වැඩ කරලා ලබපු එකම දේ..... 


AC කරපු ඔපිස් රෑම් එකක්, තනි පාව්ච්චියට වොෂ් රෑම් එකක්,  අඩි දහයක් යන්න උනත් ෆුල් ඔප්ෂන් වාහනයක්, ඉලක්කම් පහේ සැලරි එකක්, අර අලවන්ස් මේ අලවන්ස් අර පාටි මේ පාටි.. තියෙන කොම්පැනියේ වැඩ කරලා කවදාවත් මේ වගේ අහන්න ලැබෙන  තත්වයක් උදා වුනේ නැහැ... 

හෙට ඉඳන් මම ආයිත් සල්ලි නෙවෙයි හම්බ කරන්න යන්නේ මිනිස්සු... මිනිස්සුන්ගේ මොලේ වෙනස් කරන මාර්කටර් කෙනෙක් විදියට නෙවෙයි.. පුංචි පුංචි උන්ගේ ඔළු ගෙඩි පාදන ටිචර් කෙනෙක් විදියට...

 කැරකෙන පුටුවක වාඩි වෙලා දුප්පත් අම්මලා තාත්තලාගේ සල්ලි වලින් වටිනා කම අඩු සහතිකේකට ලමයින්ට උගන්නන තැනක මැනේජර්  නෙවෙයි මම ගෙවන මුදලට නැණස පාදන ගුරුවරියක්...

ජීවිතේ පළමු වතාවට මම හරි දෙයක් කලා කියලා හිතෙනවා....

Sep 2, 2011

ගයානි

කාලෙකට ඉහත නිවාඩු දිනෙක මා නිවසෙහි සිටින අවස්ථාවකදීල  අපිට දුරින් නෑදෑ වෙන ලොකු අම්මා කෙනෙක් (සීලා)  පැමිණ මගේ මව සමඟ  ඇයගේ ලේලියට විරුද්දව ගොරණාඩු කියන්න පටන් ගත්තාය. 

“මගේ රෙදි ටික ලීලලා දිහාට ගිහින් දාලා... මැණිකේ ලඟටම යන්නලු.. රාජාත් මුකුත් කියන්නේ නැහැ.. මේ බලපන් නංගි මට ඔකි දර සිප්පලකින් දමලා ගහුවා.“  යි කියමින් දකුණතේ තිබුණු නැවුම් සීරුම් කැලල පෙන්වුවාය.. 

ක්‍රියාත්මකව තිබු රෑපවාහිනිය අක්‍රීය කල  මම කාමරයට වැදුනෙමි. වැඩිහිටියන්ගේ කතාවකටඅනවශ්‍ය ලෙස සාහාගි විය යුතු නැතැයි එවෙලේ මට සිතිනි.. පරිඝණක තිරය ඉදිරියේ කල් මරනා විට වටින් පිටින් ඇසුනේ අම්මා අසල් වැසියන් කිහිප දෙනෙකුට දුරකතනයෙන් කතාකොට යමිකිසි පියවරක් ගන්නට හදනා බවකි. පෞද්ගලිකව මම එයට සිත යටින් විරැද්ධ වීමි. මන්ද අර්බුදය ඇත්තේ නැන්දම්මා සහ ලේලිය අතර නම් එය ඔවුන් දෙදෙනාම විසඳා ගත යුතු යැයි යන්න නැන්දම්මා ලේලිය සම්බන්ධය පිළිබඳ කිසිත් දැනුමක් නොමැති මාගේ මතයයි.

එහෙත් නැන්දම්මා කෙනෙකු සමඟ වසර විසි හයකට අධික කාලයක් අත්දැකිම් ඇති අම්මාත්, සීලා ලොකු අම්මාත්, තවත් සීලා ලොකු අම්මාට ලඟින් නෑදෑයින් වන අසල් වැසියන් කිහිප දෙනෙකුත් ඒදිනම ඇයගේ කුඩා නිවසට ගොස් ඇතිව තිබෙන තත්වය සමතයකට පත් කරන්නට උත්සහ කලෝය.. නමුත් ...

ගයානි නම් වු යට කී ලේලිය නැන්දම්මා කෙරෙහි බිදුවක හෝ ගරුත්වයක් නොමැතිව ක්‍රියා කල අයුරු අසා මට ඇගේ මුහුණ බැලීම පවා කලක් අප්‍රියව පැවතිනි. 

ගයානි මා හා සම වයස් වන්නියනි. ඇය මට වඩා මාස තුනකට වැඩිමහලුය. මම උසස් පෙල විභාගයට සුදානම් වන වයසේ සිටින විට ගයානි සීලා ලොකු අම්මාගේ ලේලියව අප ගමට පැමිනියාය. මුලින් කිසිවෙකු හා සමාගමයෙහි නොවු ඇය කල් යත්ම හවස් වරුවන්හීදී අප නිවසට මෙන්ම අසල්වැසි නෑදෑ හිතවතුන්ගේ නිවෙස් වලටද  යාමට පුරුදු වුවාය. අසනීපයෙන් පසුවන මාගේ අම්මාට ඇය පැමිණි විට සුලු උදව්වක් හෝ කර දී ගියාය. ඒ අතර කාලයේ ඇය ගැබිනියක වු කල මාගේ අම්මාත් අත්තම්මාත් ඇයට නිවසේ විශේෂයෙන් ඉදෙනා කුමක් හෝ අහරක් වී නම් එය කතා කොට දුන්නාය. 

කාලයේ ඇවෑමෙන් ඇය පුතෙකු බිහි කලාය. කුඩා දරුවා ඉපදෙන්නටත් පෙර සිටම ඇයත් සිලා ලොකු අම්මාත් අතර විටින් විට ගැටුම් ඇති වුවත් දිනක් දෙකක් යනවිට ඔවුන් යලින් සාමයෙන් පුසූ වුවෝය. මා යට කී ගැටුම ඇති වන්නේ ගයානි දෙවනි පුතාද බිහිකල පසුය..  ගැටුමට හේතුව සීලා ලොකු අම්මා අයගේ දියනියගෙන් සැලකුම් ලබා ගැනීමත් ඇයට උදව් පදව් කිරීමත්ය... 

මවකට තම දරුවන් සියල්ලටම සමව සෙනෙහස දැක්වීමේ මානුශිය අයිතියට පහර ගහන මෙම අමානුශික ප්‍රකාශයන් ඉදිරියේ අසල් වැසියන් සහ ගයානි අතර සිදුවු වාග් ගැටුම ගුටි බැට කෙලියක් බවට පත් වුයේ අසල් වැසියන් පැමින උපදෙස් දෙන තෙක් නිහඩ පිළිවෙතක් අනුගමනය කල සැමියාට ගයානි විසින් පහර දුන් පසුය.. බිරිඳගේ දෙවියායැයි කියනා සැමියෙක් අකීකරු බිරිඳකගෙන් පහර කෑම නොඉවසු අසල්වැසියන් වහාම ක්‍රියාත්මක වී ගයානි යලිත් ඇයගේ මා පියන් වෙත යැවුයේ රාජා නම් වු ඇයගේ සැමියාට කලකට ඇය හමුවීමත් තහනම් කොටයි.. එසේ බ්‍රහ්ම දණ්ඩනයට යටත්ව මාස කිහිපයක් ඇවෑමෙන් රාජා අයියා විසින් යලිදු ගයානි නිවසට කැදවාගෙන පැමිණියේ පසුගිය සිංහල හින්දු අළුත් අවුරුද්දටයි.. 

අවුරුදු නිවාඩුවෙන් පසු ආපසු  මම බෝඩිම කරා යාමට පිටත් වන්නට සුදානම් වන විටම ගයානිත් රාජා අයියාත් පැමින අළුත් අවඅරුදු වාරිත්‍ර ලෙස අම්මාටත් අප්පච්චීටත් වැඳ සමාව  ගත්තෝය. පසුගිය වසරේ හිත් අමනාපකම් නව වසරේ අවසන් කරන්නට සිංහලයන් සතුවු  උතුම් ගුනාංයන් නිසාවෙන් අම්මාගෙන් මෙන්ම අනෙකුත් අසල් වැසියන්ගෙනුත් , සීලා ලොකු අම්මාගෙන්ද ගයානි සමාව ලබුවාය.. මමද සිතින් අයට කමා කලෙමි.

දැන් රැකියා විරහිතව මා සිටින්නේ නිවසෙහිය. පසුගිය දිනයක අම්මා මාළු මිලදී ගන්නා විට ගයානිට දීමට වෙනනමම මාළු කූරියන් කිහිප දෙනෙකු මිලදී ගත්තාය ඇයිදැයි ඇසුවිට ඇය කීවේ තෙවන වරටත් ගයානි මවක වීමේ සූදානමෙන් සිටිනා බවයි.. කලකින් ඇය නුදුටු නිසාවෙන් ඇය මාළු කුරියන් ගන්නට පැමිණි විට මමද  කුස්සියට ගොස් ඇය හා සමඟ විහිලු කරමින් සිටියෙමි... 

විහිලුවෙන්ම අම්මාගෙන් මුදල් ඉල්ලා සිටි ඇය කීවේ රාජා අයියාගේ වකුගඩු වල ගල් සෑදි ඇති නිසා එයට ප්‍රතිකාර ගැනීමට බදුල්ල මහරෝහලට යා යුතු බවයි. එම විස්තරය කියා අනතුරුව ඇය කීවේ මා යට කී ගැටුම සුදුවු දින තම පවුලේ ප්‍රශ්ණ වලට මැදිවු අසල් වැසියන් මේ අවස්ථාවේ සියල්ල බාර ගන්නේනම් ඇය ඉමහත් සතුටට පත්  වන  බවකුයි. ඒ සමඟම ඇය කීවේ

“කොකාට වාරයක් නම් තිත්යාටත් වාරයක් එනවලු නේ නැන්දා.. ඒ වාරේ එනකල් තමයි මමත් මේ ඉන්නේ එදා මහලොකුවට එයා කීවනේ පුතාට සලකගන්න පුළුවන් කියලා... මම දැන් ඉන්නෙ කියාපු විදියට සලක ගන්න කියන්න“

ඒය ඉවසීමෙන් අසා සිට ඇයට උපකාර කිරිමට ක්‍රමයක් සලසන බව කී අම්මා තව දුරටත් ඇය  සමඟ කතා කරමින්ද මම ඇයගේ කුඩා දරුවා සමඟ සෙල්ලම් කරමින්ද පසුවුනෙමු.. ඇය සමඟ  සීලා ලොකු අම්මාගේ දියනියගේ දියනියක්ද පැමිණ සිටියාය වයස  හතක් අටක් තරම් වු ඇය දුටු මාගේ අත්තම්මා 

“ මේකිව මෙහේ ඉස්කෝලේ දාන්නද හදන්නේ“ යැයි ඇයට සුපුරුදු භාෂාවෙන් ඇසුවාය. 

“හප්පා.. මේකී මෙහේ ඉස්කෝලේ දාන්න ආවොත් මම යනවා යන්න කොල්ලෝ දෙන්නවයි රෙදි ටිකයි අකුලගෙන ආපහු බලුලේ ගෙදරට... ආච්චි හිතන්නේ මේකි මෙහේ බිනින බහිනකල් මම බලා ඉඳියි කියලද.. මට හොරෙන් හොරෙන් මේකිට රෙදි ඉඳන් මේ ටිකේ සීලම්මා අරන් දෙනවා.. එයා හිතන්නේ මම නොදන්නවා කියලා...“ යි ගයානි කියවාගෙන ගියාය... පොඩි දරුවා මගේ ඇඳුමට කෙල ගැසුවේය.. අම්මා ඔහුට තරවටු කලාය..  එහෙත් ගයානි ගනනකට නොගත්තාය.. 

“ඔය ළමයෙක් බඩේ තියාගෙන තරහා මරහා අවුස්සන්නේ මොකටද ගයානි... අනික මේ සැරේවත් කෙල්ලක් ලැබෙන්න කියලා බෝධියට ගිහින් හිතින් හිතා ගන්න...“ ගයානිගේ කතාව අසා අමනාපයෙන් අත්තම්මා ගේ තුලට යද්දි අම්මා කීවාය...

“ ඒකනේ ඒකනේ.. උදේට උදේට ඇවිත් මගේ දිහා බලලා යන්න ගයානි... මං වගේ දුවෙක් ලැබෙයි....“ කියමින් මමද ඇසක් ඉඟි මැරුවෙමි...

මා කියු දෙයට සියල්ලන්ම සිනා සෙද්දි යලිත් ගයානි කීවේ....

“ඉරිසියා නොකර ඉන්නවා කියලාමයි හිතන්නේ නැන්දා ඒ උනාට ඉරිසියා නොකර ඉන්නම බෑනේ මට...“  යි කියායි....

ඇතැම් විට අයගේ ප්‍රකාශය සත්‍යයක් වන්නට ඇති බව මට අද දිනයේ වැටහිනි.. 

ප්‍රෙද්ශිය සභා නල මාර්ගයේ ජලය නොමැතියන් මමත් අත්තම්මාත් අද රෙදි සේදිමටත් නා ගැනිමටත් පොදු පිහිල්ලට යද්දි සීලා ලොකු අම්මා එහි ගයානිගේත් දරුවන් දෙදෙනාගේත් සියලු ඇඳුම් සොදමින් උන්නය... මෙලෙස තම ලේලියට බැල මෙහෙකම් කරන නැන්දම්මා කෙනෙක් සිටියදීත කුස තුල මොරන දරුවා ගැනත්  නොතිසිතා වෛර කරන්නී   ගයානි පෙර කල පවක් ගෙවනවා විය හැකියි...