Oct 8, 2011

වීනා

රාජකාරිය අවසන් කොට පයින්ම නවාතැනට පැමිනි මා වෙහෙසින් බරවු මුහුනින් යුතුවම පඩි පෙල බැස මාගේ කාමරය කරා ඇවිද ගියෙමි. පඩි පෙල පාමුල දි මා පසු කරන් පඩිපෙල නැගීම ආරම්භ කලේ හැඩැති යුවතියකි. අසාමාන්‍ය ලෙස උස්වු ලැමක් සහිතවු ඇය දුටු සැනින්  මගේ සිතෙහි ඇතිවුයේ යම් අපැහැදිලි චිත්‍රයකි.

“කවුද ඇන්ටී ඒ..?“ මම නිවසේ මෙහෙකාරියගෙන් ඇසුවෙමි.

“අද ඉඳන් උඩ කාමරේට ආවේ බේබි. කෑම බීම මුකුත් එපාලු. රෑට නවතින්න තිබුනම ඇතිලු“ ඇය වටපිට බලා රහසින්  මෙන් කීවාය. එසැනින්ම ඉඟියෙන් ලැම පෙන්නවා අසාමානය ඉඟියක්ද කලාය.

පෙරලා ඇයට සිනහවකින් සංග්‍රහ කොට මමද කාමරයට ඇතුල් වුනෙමි.
ඉන් පසුව කිහිපවිටක් මා ඇය දුටුවේ රෙදි මැද ගැනීමට මාගේ ඉස්ත්‍රික්කය ඉල්ලා ගැනීමට මාගේ කාමරයට පැමිනිවිටකදී පමනි. නමුත් නිවසේ මෙහෙකාරිය තොරතෝංචියක් නොමැතිව ඇයගේ වැරදි මා හා කිවාය. නැති තැන වැරදි කියමින් අපහාස කිරිම ඇයටම ආවේනික පුරුද්දක් බැවින් එවා අසා මම නිහඬවම සිටියෙමි.


නමුත් ඇය පිළිබඳ සිතෙහි සැකයක් ඇතිවීමට තරම් ප්‍රමාණවත් සිද්දියක් සිදුවීමෙන් මා ඒ පිළිබඳව විමසිලිමත් වීමි.

දිනක් ඉස්ත්‍රික්කය ආපසු දෙන්නට පැමිනි ඇය මා නොවිමසාම ඇගේ තොරතුරු මා සමඟ කීවාය. මිතුරන් කිහිප දෙනෙක් හා එක්ව මුදල් ආයෝජනය කොට ලීබඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්. ව්‍යාපාරයේ පංගුකාරියක් වන තමා හොඳින් අධ්‍යාපනය ලබා ඇති බවත්, චතුර ලෙස ඉංග්‍රිසි භාෂාව හැසිරවිය හැකි බවත් කීවාය, එවෙලෙහි ඇය ඉංග්‍රිසි භෂාවෙන් කීටම උත්සහ කල දෙය නොවැටහුනෙන් මම එසැනින් ඇයගේ හැකියාවේ තරම මැන ගතිමි.  එහෙත් කිසිවෙකුගේ අධ්‍යාපන මට්ටමක් විවේචනය කිරිම නුසුදුසු වන බැවින් මම කිසිත් නොවිමසා නිහඬවම සිටියෙමි.

නමුත් කලකට පසු සියල්ලන් සමඟ ඇය කි මුසාවන්ගේ තරම දැන ගන්නා විට නවාතැන් හිමිකාරිය බෙහෙවිස් සසැලී මාහා ඒ පිළිබඳ විස්තර කතා කලාය.

“අද උදේ වීනා වැඩ කරන තැනින්ය කියලා ගෑණු ළමයි දෙන්නෙක් ආවානේ ළමයෝ... බොහොම හොඳට ඇඳ පැළඳ ගත්තු ළමයි දෙන්නෙක්...“ ඇය කිවේ ඔපාදුපයේ රස ඉස්මතුවන පරිදිය.

“ඉතින් ඇන්ටි“

“අනේ බලන්නකෝ ළමයෝ මේ කෙල්ල අපිට කියලා තියෙන්නේ බොරුනේ!! ඒළමයි දෙන්නාව එවලා තියෙන්නේ එතන ඔපිස් එකේ ලොකු මහත්වරු. කීවලු වීනා ඉන්න තැනක් හොයාගෙන ගිහින් එයා කියලා තියෙන විස්තර අහගෙන එන්න කියලා , අපිට කියපු විදියට මම කීවාම  ඒ ළමයි හිනා වෙනවා. රස්සාවක් නැතිව එද්දි  පව් කියලා අන්කම්පා කරලා එතන පොඩි රස්සාවක් දුන්නලු. ඒකත් හරියට කරන්නේ නැහැලු.. එතන අයටත් එක එක අයට එක එක විස්තර කියලා තියෙන්නේ. රුපියල් හාරදහක පඩියටලු වැඩ කරන්නේ“ ගෙහිමි කාන්තාව කීවේ ශෝකයෙනි.


“ඉතින් ඇන්ටි දැන් මොකද කරන්න ඉන්නේ“ මා විමසිලිමත් උනෙමි.

“මොනවා කරන්නද ළමයෝ.. හිටපු දවස් ගානට ගෙවලා යන්නෙයි කියනවා. මොන විදියේ එකියක්ද කවුද දන්නේ.. මට ඔනි නෑ මෙතන නම කැත කරන්න  අවුරුදු තිහක් ඉඳන් මෙතන නැවතුනේ වැදගත් පවුලු වල ගෑණු ළමයි.. අර අසරන වෙලා හදිස්සියේ ආවාට මම මුකුත්  හොයන්නේ බලන්නේ නැතිව වද්ද ගත්තට දැන්නම් මට මොහොතක් මෙහේ තියා ගන්න හිතෙන්නේ නැහැ“ ඇය කීවේ කොපයෙනි.

“අනේ මන්දා ඇන්ටි එයා ආවහම අහලා බලන්න බොරු කියන්න මොකක් හරි හේතුවක් ඇතිනේ..“  යි කියා කල්පනාකාරීව කි මා බරවු මනසින් යුතුව කාමරයට වැදුනෙමි.

එදින ඇය පැමිණි පසු හඬමින් මෙහෙකාරියත් නිවස හිමි කාත්තාවත් සමඟ කී කිසිවක් මට නෑසුනු නමුදු. ඇගේ දුක් ගැනවිල්ල නිදහසේ තියා දැමුවායැයි මට සිතිනි.

පසුදින උදෑසන ප්‍රමාද වී අවදි වු මා හට පෙර රැයෙහි සිදුවු සියල්ලක්ම ඉස්පිලි පාපිලි මග නොහැර මෙහෙකාරියගෙන් දැන ගන්නට ලැබිණි.

“ එයා බැඳලලු බේබි.. මනුස්සයා ඔන්න කොහේදෝ රස්සාව කරනවලු.. ඒ මනුස්සයා කලින් බැඳලා ළමයෙක් ඉන්නවලු.. ඒ ළමයා මෙයාගෙන් කිරි බොනවා කියන්නේ..ඒ උනාට බානු බේබිනම් කියනවා ඇඟ දැක්කම ළමයා එයාගේ කියලා හිතන්නත් පුළුන්ලු“ ඇය  ඔපාදූප රසයෙන් කීවාය.

“අනේ මන්දා ඇන්ටි“ මම කල කිරිමෙන් යුතුව කීවෙමි. ඇගේ හැඳුනුම් පත බලා  ඇය වයස දහනමයක යුවතියක් බව ගෙහිමි කාන්තාව දිනක් කී හැටි මා හට මතකය. ලාබාල යුවතිය ගැන ඇතිවු අනුකම්පාවෙන් යුතුව මම නාන කාමරයට වැදුනෙමි..

වීනා ගේ කතාව ඉදිරියට
මතුසම්බන්ධයි 

7 comments:

  1. අනේ මන්දා ඔහොම බොරු කියන අයත් ඉන්නවා.හේතුවක් ඇතුවත් නැතුවත් කියනවා.ඒ වගෙ අයට අනුකම්පා කරන්නද,බනින්නද කියලා හිතාගන්න බෑ..

    ReplyDelete
  2. මොකක් හරි හේතුවක් ඇති...පව් වීනා.....

    ReplyDelete
  3. අලුත් කතාවක්...
    ආරම්භය හොඳයි. දිගටම යන්න. හොඳ අවසානයකුත් තියේවි කියා හිතනවා.

    ReplyDelete
  4. ඔතන තවත් කතා සැගවිලා ඇති... කතාව ඉදිරියට යනවනේ... අපි එතකොට බලමු මොකද වෙන්නේ කියලා...

    ReplyDelete
  5. අනේ දෙවියනේ .. අවුරුදු 19ක්.... කියන්නේ... අනේ මන්දා. මේ ළමයි...

    ජය....

    ReplyDelete
  6. හික්zz .... 'අසාමාන්‍ය ලැම දුටු විට' කිවව ගමන් මම හිතුව මොකක් හරි හුට්ටප්පරයක් වේගන යනවා කියලා .... :D :D :D
    …හලි හලි හංසි අක්කියො ලියාගෙන යමු.... අවසන කොහොම වෙයිද කියන්න නම් දන් නැ..එත් හිතෙනවා මට වීනා බොහොම අසරන චරිතයක් හිමි තැනැත්තියක් කියලා.

    ReplyDelete
  7. Anonymous10:55:00 AM

    හ්ම්ම් දැනුයි ආවෙ.. බලමු මොකද වුනේ කියල.. ඇත්තට.. මොකට ඔහොම බොරු ගොතනවද මන්ද.. කවදහරි ඕව එළිවුනු දාට තමන්ට වෙන දේ හිතෙන් නෑද මන්ද..

    ReplyDelete