Jun 4, 2011

වලාවෙන් වැසුණු සඳ 1 කොටස

තේ ගස් යාය මැදින් ගලාගෙන එන දියපාර දිහා බලන්න මට වෙලාවක් නෑ මම බලා උන්නේ මගේ සුදු කෙල්ලගේ  දිග ඇස් දෙක දිහා, හීනි ඇහිබැමට යටින් පියවුණු ඇස්වල ඝණට වැඩුණු  දිග ඇස් පිහාටු දිහා කොයිතරම් ‍වෙලාවක් බාලකා හිටියද කියලා මට මතක නැහැ. මගේ පපුවට හා පැටියෙක් වගේ තුරුල් වෙලා  හිටියට මේ වෙනකල් ඒ ලස්සන ඇස් ඇරියේ නැහැනේ මේ කෙල්ල.. 

ඒත් මගේ හිත පුදුමාකාර ආදරේකින් පිරුණා.. මම හෙමිහිට නෙළුම් පෙත්තක් වගේ ලස්සන ඒ ඇස් පියනට දෙතොල් ලං කලා..

"පහන්..... මී හරකෙක් වගේ නිදියන්නේ නැතිව නැගිටිනවා.."

බුදු අම්මෝ... තාත්තා කොයිනද පාත්  උනේ.. තාත්තගේ සද්දෙට උඩ වීසි වෙලා ඇහැරුණු මම වට පිට බලද්දි මම හිටියේ ලස්සන තේ යායේ නෙවෙයි.. ගනි මද්දහනේ මහ පාර අයිනේ නතර කරලා තිබුන තාත්තාගේ කාර් එකේ..

අත්දෙකින්ම ඇස් දෙක පිහදාන ගමන්  කම්මැලි විදියට ඇඹරි ඇඹරි සීටි එකේ හරිබරි ගැහෙද්දි තාත්තා කාර් එකෙන් බැහැලා යන්න ගියා. 

"ඉන්නවා ඔහෙම මම බැංකුවට ගිහින් එනකල්" මගේ පැත්තේ වීදුරුවට තට්ටු කරලා කියද්දි මට දැනුනේ මමත් තාත්තගේ ඉස්කෝලේ ළමයෙක් කියලා.

අපේ තාත්තා අපේ පැත්තේ ප්‍රසිද්ද ඉස්කෝලෙක විදුහල් පති තුමා, ඉස්කෝලෙට විතරක් නෙවේ ගෙදරටත් එයා ප්‍රින්සිපල්ම  තමයි ඉස්කෝලේ ප්‍රශ්ණ වලටත් එක්ක අම්මට සැර කරනවා වගේම මෙඩිකල් කොලේජ් ඉන්න අයියට සැර කරන්නෙත් තාමත් ඒ ලෙවල් කරන මට සැර කරණවා වගේමයි..

මං තරම් තාත්තගෙන් ගුටු කාපු පුතෙක් මේ මිහිපිට නැතිව ඇති කියලා තමයි අපේ අම්මා හැම වෙලාවේම කියන්නේ. තාත්තට ඉස්කෝලෙදිවත් මම වගේ දඩබ්බර ළමයෙක් මුණ ගැහිලා නැහැ කියලා ඊයේ තාත්තා බාප්පා එක්ක ෆෝන් එකෙන් කතා කරද්දිත් කියනවා මට ඇහුනා.. කතාවනම් සහතික ඇත්ත තමා.. මුලින්ම මම ගියේ තාත්තගේ ඉස්කෝලේට කොයිතරම් අණ්ඩපාලයෙක් උනත් හොඳින් ඔලෙවල් පාස් වුනු නිසා තාත්තා මාව කොළඹ ඉස්කෝලෙට දැම්මා, ස්කූල් හොස්ටල් එකේ.. යාළුවෝ ගොඩාක් එක්ක මම නිකම් හැසිරුනේ අළුත අත්තටු ලැබුණු කුරුල්ලෙක් වගේ.. මම මගේ නිදහස උපරිම වින්දා.. ඒ අතර වැඩිපුර තිබුනේ නරක වැඩ.. හොස්ටල් එකේ තාප්පෙන් පැනලා ගිහින්  බීච් එකේ රහමෙර පාටි දාන වැඩේ ඉස්කෝලෙට අහුවුනු දා තමයි නිදහස විඳීමේ රසට වේවැල් පාරේ රසයත් එකතු  උනේ... 

අපිත් එක්ක ඒ ගමන ගිය අයගෙන් බොහොමයකට පාසැලට සමු දෙන්න සිදු වුනත්  අධ්‍යාපන ප්‍රගතියයි තාත්තගේ විදුහල්පති කමයි නිසා මට දිගටම ඉස්කෝලේ ඉන්න අවසර ලැබුණත් ආපහු පාසැල් නේවාසිකාගාරේ පස් පාගන්නනම් අවසර තිබුනේ නැහැ.  ඒ අනූව මට  සඳුදා ඉදන් ඉස්කෝලේ යන්න අද මේ විදියට කොළඹ බාප්පලා දිහා නතර වෙන්න යන්න සිද්ද වුනා..


***********************************************************************
********************************
‍***************

බාප්පලා  ගෙදර මට අළුත් තැනක් නෙවෙයි.. පුංචි කාලේ හැම ඉස්කෝලේ නිවාඩුවකටම අයියයි මමයි හිටියේ බාප්පලා දිහා.. සෙනුරි අක්කයි මනුක අයියයි දෙන්නත් මට ආදරෙයි හැබැයි ඉතින් මට රෝසිගේ නම කියලා විහිලු කරන එක තමා ඒ දෙන්නගේ ඉවසන්න බැරි ගුණාංගය.

රෝසි කියන්නේ පුංචි අම්මාගේ මල්ලිගේ දුව එයාලා ඉන්නේ  බාප්පලාගේ ගෙදරට ගෙවල් දෙකකට එහා . හැබැයි ඉතින් රෝසිගෙ වැඩේ සෙනුරි අක්කා එක්ක කියව කියව මුළු දවසම එහේ ඉන්න එක තමයි..  රෝසිත් මගේම වයස එයාට ගෙදරට කියන නම රෝසි උනාට එයාගේ නම වෙන මොකක්ද එකක් ඒ නම නම් කවදාවත් මට මතක හිටින්නේ නැහැ.. 

මම ගියාම රෝසිගේ වැඩේ මොකක් හරි එකක් කියාගෙන මාත් එක්ක කතාවට එන එක.. අනිත් මොන අණ්ඩ පාල වැඩේ කලත් ගෑණු ළමයි කියන්නේ නම් මට අල්ලන සබ්ජෙක්ට් එකක් නෙවෙයි.. සෙනුරි අක්කා අරෙන්න මම කතා බහ කරන්න කැමති අපේ නැන්දගේ දුව ගිම්හානි අක්කා එක්ක විතරමයි..

දණ්ඩනීති සංග්‍රහය ව‍ගේ නීති මාලාවක් පණවලා තාත්තා මාව බාප්පලා ගෙදර ඇරලවලා ආපහු ඉක්මනින්ම ගියේ අම්මා තනියම ගෙදර නිසා. ඒ නීති වලින් හැම එකක්ම ඉවසන්න පුළුවන් උනත් මට ස්කූල් සර්විස් එකක ඉස්කෝලේ යන්න වෙනවා කියන එකනම් ඉවසන්නම බැරි උනා.. හෝඩියේ කොල්ලෙක් වගේ දැන් ඉතින් පලයන්කෝ පොඩි එවුන් යන ස්කූල් වෑන් එකක... කේන්තියට මගේ  කන් රතු වෙලා ඇස් දෙක පුපුරලා කඳුලකුත් පැන්නා.. මම එහෙමම ඇදට පැනලා බිත්තිය දිහාට රවාගෙන හිටියා..

"අහා.. පොඩි මල්ලියා.. මොකෝ මේ.. " සෙනුරි අක්කා ඇඳෙන් වාඩි වෙලා මගේ කොණ්ඩේ අවුල් කරනවා.. මම අක්කගේ අත අරන් පැත්තනකට දැම්මා.. 

"මේ මොකද හරියට මම කරපු දෙයක් වගේ.. " අක්කා රිදෙන්නේ නැති වෙන්න මගේ පිටට පාරක් ගහන ගමන් කීවා..

"ඉන්න දෙන්නකෝ අක්කේ..." මම බිත්තිය පැත්ටම හැරිලා කීවේ ඇස්  දෙකේ කඳුලු දැක්කොත් අක්කගෙන් උනත් නොන්ඩි කන්න වෙන නිසා.

"මම වඩාගෙන හිටියා ඇයි වදේ.. ඔයා ඉන්නකෝ.. මේ මේ... ඔය ඇඳට අළුත් රෙදි දාන්න ඔනි.. ටිකක් අයින් වෙන්න.. ඊට පස්සේ ඔනි එකක් කරගන්න " 
 අක්කා මාව අඳෙන් බ්මට අඳලා දාන්න කලින් මම නැගිටලා  ජනේල් කූරුවල එල්ලුනා..

"පොඩි මල්ලි මේ බලනවා රෝසි මේ සෙට් එක මැහුවේ.. ඔයාගේ ඇඳට දාන්න කියලා දුන්නා..." සෙනුරි අක්කා කොට්ට උර දෙකකුයි ඇඳ ඇතිරිල්ලකුයි පෙන්නලා මට කීවා.. මගේ හිතේ තිබුන කේන්තිය දෙක තුන උනා..

"ඔනි නෑ අක්කේ අම්මා ම‍ට ඒවා සේරම ලෑස්ති කරලා දුන්නා අනික හොස්ටල් එකේ පාවිච්චි කරපු ඒවා තියෙනවානේ..." මම මුණ වැල ගෙඩියක් කරන් කියද්දි සෙනූ අක්කා මගේ දිහාම බලන් හිටියා..

"ඇයි ඉතින් මොකද වෙන්නේ මේක දාපුවාම.." එහෙම කියලා එයා ඇඳ ඇතිරිල්ල එලුවා මටත් ඉතින් නිකම් ඉන්න බෑනේ මම ඉක්මනට පැනලා ඒක පැත්තකට වීසි කලා...

"මොකද හලෝ වෙලා තියෙන්නේ.. පිස්සුද ඔයාට..." අක්කා පුදුමෙන් මගේ දිහා බලාගෙන හිටියා

"ඔයාට මේක පාව්ච්චි කරන්නම ඔනිනම්.. ගිහින් බල්ලගේ කූඩුවට දාන්න.. එලලා දෙන්න... බව්වා සැපට නිදියයි.. ඒත් මට නම් එපා..." මම දුෂ්ඨ වනිදියට කියලා අහක බලා ගත්තා...

"අහා... ඇත්තද... ඔයා ඔයා ගැන හිතන් ඉන්න විදියහරිම සොක් හප්පා..මම අදනේ දන්නේ.. ඔයා ඔයාවම දාගෙන ඉන්න තත්වය..ඒත් ඉතින් පව් අර කෙල්ල....ඒ කෙල්ල පණ නහගෙන ආදරේ කරන්නේ ඔය වගේ කෙනෙක්ටද... ??" සෙනූ  අක්කා කේනිතියෙන් කියාගෙන ගියා. අන්තිමට කියපු දේට මගේ යකා ඩබල් උනා..

"එක්ස්කියුස් මී... ආදරේ කරන්නේ...?? කවුද කවදද කීවේ එයාට මට ආදරේ කරන්න කියලා...??" සෙනූ අක්කගේ උරහිස් දෙකෙන් අල්ලලා හොලවන ගමන් මම ඇහුවේ යකෙක් වගේ.. සෙනු අක්කා පැරදිලා මූන බිමට නවාගෙන හිටියා

" මේ මොන විකාර කතාවක්ද අක්කේ..  මම හීනෙකින් වත් හිතපු දෙයක් නෙවෙයි මේක.... " ගොඩක් වෙලාවකට පස්සේ මම සන්සුන් හඩින් කියලා අක්කව අත්ඇරියා..

"සොරි මල්ලියා.. ඉට් ජස්ට් එ ඉමැජිනේෂන්.." එහෙම කියපු සෙනූ අක්කා යන්න හැරුනා..

"ප්ලීස් අක්කේ.. රෝසියි මායි සම්බන්ධ කරලා විහිලු කරන්න එපා.. එයා මම හොයන ටයිප් නෙවේ.. නිකම් බොරුවට එයාට බලාපොරොත්තු දෙන්න එපා.. ඒක පව්.. මම ආස නෑ කිසි කෙනෙක්ගේ හිතක් රිදවන්න.. ‍මට මේ ජීවිතේ හරි නිදහස්.. ඒක ගෙවන්න ඔනි ප්ලීස්.."  අක්කා යන්න කලින් ඒ ටික කියා ගන්න මට පුළුවන් උනා...

ඊට පස්සේ හවස් වෙනකල්ම මම කාමරෙන් එළියට ආවේ නැහැ.. හවස මනුක අයියා වැඩ ඇරිලා ඇවිත් මාව ඇහැරවනකල් මට හොඳ නින්දක් ගියා.. 

"අහා.. ලොක්කා.. ජල්ලියක් මාට්ටුලු නේ..." මනූ අයියා මගේ පිටට රිදෙන්න පාරක් ගහන ගමන් ඇඳේ පැත්තකින් වාඩ් උනා...

"සික්.. කියලා වැඩක් නැ අයියේ.. චාටර්...." මම නිදි මතේම කීවා...

"චාටර් ...?? .. කවුද යකෝ චාටර්.. උඹනේ.. යකෝ.. අහු නොවෙන්න ගේමක් දෙන්න බැරි හැටි අම්මපා..." අයියා දිගටම මට වදේ ගහනනවා.. මොනා කරන්නද.. ඉවසනවා ඇරෙන්න...

" විලි ලැජ්ජිවේ සන්තොසේ බෑ අයියේ..." මම ඇඳෙන් නැගිටලා ඇඟමැලි කඩන ගමන් කීවා..

"කොල්ලා හෙට ඉඳන්  ස්කූල් සර්විස්ලු යන්නේ නේද...." මනු අයියගේ පල් හිනාවට මට පෙළව ලගන් යන්න හිතුනා..

"ආයිත් අහලා සැප සැප සුර සැප.. බස් වල තෙරපෙන්න ඔනි නෑ.. බස් නැතිව චා වෙන්න ඔනි නෑ... පින් කරන්න ඔනි ඔව්වා ලබන්න..." නොන්ඩිය වහගන්න මාත් පොර ටෝක් එකක් දුන්නා..

"අනේ බන් උඹත්.. දැන් එහෙමවත් කියපන්..." මනුක අයියා මහ හයියෙන් හිනා උනා....


13 comments:

  1. ආදර කතා ස්පේශලිස්ට් සුදු හංසි අක්කාගෙන් යුගයේ අලුත්ම ආදර කතාව...රසවිදිමින්... :)

    ReplyDelete
  2. ම්ම්ම්.... ආරම්භයනම් ලස්සනයි.. දිගටම ලියන්න මම සුභ පතනවා අක්කී.... ඔයාගේ අනිත් කතා වගේම මේකත් ලස්සන වේවි කියල හිතනවා.. :)

    ReplyDelete
  3. "ඔයාට මේක පාව්ච්චි කරන්නම ඔනිනම්.. ගිහින් බල්ලගේ කූඩුවට දාන්න.. එලලා දෙන්න... බව්වා සැපට නිදියයි.. ඒත් මට නම් එපා..."
    කතාවෙ මට අල්ලලාම ගිය කෑල්ල....

    ReplyDelete
  4. අක්කා ලියනවයි කියපු නව කතාව නේ. ලස්සනයි සුදු හංසි අක්කේ මේ කතාවේ ආරම්භය. ඔන්න කලින්ම කිව්වා අවසානය දුකක් වෙන්න ඉඩ තියන්න එපා හොද ද.මට මේ ටිකේම කියවන්න ලැබුන ඔක්කොම කතාවල අවසානය දුකක්

    කියවලා බාල්දි පිරෙන්න අඩන්න උනා.

    ReplyDelete
  5. මම ඉතින් කථා කියවන්න මාර ලයික් නේ... ඔන්න මේක නම් ඉක්මනට ලියන්න ඕනි මාසෙකට සැරයක් නැතිව..

    ReplyDelete
  6. ඔව් ඔන්න අක්කේ අපිට ඔනේ මාසේකට සැරයක් නැතුව,,,අද නම් සුපිරි ...එ වගේම හොදට දිගට ත් තියෙනවා කතාව....

    ReplyDelete
  7. ආරම්භය නම් එළටම ආවා. ඉතිරියත් එහෙමම ගෙනියන්න. දැන් කවදද ඊළඟ කොටස???

    ReplyDelete
  8. හරිම අපූරු ආරම්භයක් අක්කේ.. අනිත් කොටසට වැඩි කාලයක් ගන්නනම් එපා..

    ReplyDelete
  9. අනෙක් කොටසත් ඉක්මනට ලියන්නකෝ.....

    ReplyDelete
  10. නියමයි නංගී . . .

    ලස්සනට ලියල තියෙනවා . . .

    ඉස්සර සුලඟවගේ ඇවිදින් කියෙව්වා වගේ ආසාවෙන් කියවන්න පුලුවන් වෙයි වගේ . .

    එල එල දිගට ලියන්න . .

    සමහර විට කොටස් 5ක් 6ක් ගියාට පස්සේ ඇවිත් ඔක්කෝම කියවලා කමෙන්ට් දාන්නම් . .

    ජය

    ReplyDelete
  11. හෆ්ෆට සිලි සිලි කිව්වලු ... :D මෙ අක්කෙ අර රොසි කියන නම කොහෙන්ද අවෙ දෙවියනෙ. අයි එ නමම මතක් උනෙ .. :))
    …පටන් ගත්ත විදියෙන්නම් හිතෙනවා කතාව නැගලම යයි කියලා. එල එල ලියමු අක්කෙ එහෙනම්... තවලම පැත්තෙ එන්න මෙ සිරි මල්ලි අමතක කරන් නැ .........:))

    ReplyDelete
  12. අ....අලුත් කතාවක්....මට ඉතින් කතාවක් කිවොත් කියවල ඉවර කරනකම් සිහියක් නැනේ.....ඉතිරිය බලන්න මස ගණන් ඉන්න බෑ හොදේ
    ඉක්මනටම ඕන...අර අරුන්දතී කතාවත් ලියන්නකෝ අනේ.....

    ReplyDelete
  13. මාත් සෙට් වුනා කියවන්න..

    ReplyDelete