මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Oct 17, 2011

පුංචි උන්ගේ සහ මගේ වැස්සේ වෙනස...

උදේ ඉඳන්ම  දරුණු හිසේ කැක්කුමකින්  පෙළුණු නිසා. පුංචි උන් එක්ක හිතේ තිබුනේ පොඩි තරහක්.. ඒත් නැවතිල්ලේ කල්පනා කරලා බලද්දි මගේ අසනීපෙ නිසා සුට්ටං උන්ගේ දඟකාරකම් වලට තහංචි දාන එක  අසාධාරනයි කියලත් හිතුනා...   පුංචි උන් මහ පුදුමාකාරයි...

“කෑගහන්න එපා ළමයිනේ මගේ ඔළුව රිදෙනවා...“ කියලා යටිගිරියෙන් කෑ ගහලා පන්තියට සත්තම දාපු  වෙලාවේ ඉඳන්ම   කෙල්ලෝ ටික වගේම සමහර කොල්ලොත් ලඟින් හෙලවුනෙ නෑ.. ඒත්  හැමදාම කරන දඟකාර කම් වලින් මිදෙන්න කාටවත් පුළුවන් උනේ නැහැ...
කෙල්ලෝ ටික මගේ සාරි පොටේ රැළි හදන්න වගේම කොණ්ඩ මොස්තර දාන්න රණුඩු උනා, කොල්ලෝ ටික එක් එක්කෙනා එක්ක රණුඩ කරන ගමන් ඇවිත් අඩු නැතිව කේලාම් ටිකත් කීවා. පුරුදු  විදියටම පුංචි උන්නේ රණ්ඩුවේදි අපක්ෂපාති උදාසිනයා වෙලා මම නිහඩවම බලා හිටියේ ඇත්තටම එවා අහද්දි දෙගුණ වෙන හිසේ ඇම්ම නිසාමයි..

අන්තිම කාලච්ඡේදයේ සිංහල/දමිල පාඩමට පොඩි උන් ටික පන්තියෙන් පිට උනාම හැමදාමත් වගේම හිතට දැනුනෙ පුදුමාකාර පාළුවක්. කොයි තරම් වද දුන්නත් ඒ අය නැත්නම් පන්තිය හරිම පාළුයි. ඒ පාළුව දෙගුණ තෙගුණ කරගෙන  ජනේලයෙන් එහා පේන අහස වහන් කර ගත්තේ බර වැහි වලාවක්. ජනේලයෙන් එබීගෙන ඒ දිහා බලන් ඉන්න කොට මිදුල අතුගාන කෙනා කියාගෙන ගියේ
“ අද නම් ටීචර් ලොකු වැස්සක් එන්න හදන්නෙ කියලා“
විනාඩි කිහිපයකින් පාසැල නිම වෙන්න නියමිත නිසාම මම ප්‍රාර්ථතනා කලේ වැස්ස තව පැයක්වත් පමා කරන්න කියලා

හොරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා බඳේ කඩ ඉමෙන් මෙහා

කියලා හිත මිතුරු සුළඟ අතේ පණිවිඩේ යවන්න හිතන්නත් කලින්  පාසල නිමාවේ සීනුවත්  එක්කම දොඹ ගෙඩි තරම් ලොකු වැහි බෝල එක ඔසේට කඩාගෙන වැටුනා.

ලොකු පොඩි පාසැල් ළමුන් එකා දෙන්නා මහ වැස්ස මැද්දේ පිට වීමේ ගේට්ටුව පැත්තට දුවද්දි ජනේලය අද්දර හිටිය මට දැනුනේ අනේ අද ගෙදර නොයා ඉන්න තියෙනවනම් කියලා. මහ වැස්සේ එළියට බහින එක මට කම්මැලි දෙයක් උනාට පුංචි උන්ටනම් ඒක හරිම සුන්දර අත්දැකීමක් උනා.. හැමදාමත් වැහි වැටෙන නුවරඑළියට මේ සා ධාරාණිපාත වැහි වැටෙන්නේ එහෙමත් දවසක.. වෙනදට වැටෙන හිරි පොද වැස්ස එපා වෙලා වගේ පොඩි දරුවෝ ඒ මහා ධාරානිපාත වැස්සේ තෙමුනේ  හරියට මල් වැස්සක නටනවා වගේ..

හිතින් මම දුවගෙන ගියේ මගේ පාසැල් කාලෙට.. මම නවය ශ්‍රේනියේ ඉගෙන ගන්න කාලේ තමයි  මුලින්ම පරිඝණක පනිත්යකට බැඳුනේ.. ඒ පන්තිය තිබුනේ පාසැල් වෙලාවෙන් පස්සේ.  ඉතින් දවසක් ඔය පනිත්ය පටන් ගන්නකල් පාසැල නිම වෙලා කල් මරද්දි , අද වැහැපු වැස්ස වගේම මහා වැස්සක් වැටුනා.. ඒ වෙද්දි මමත් මගේ යෙහෙලිය දිලේකත් රෙබරෝසියා ගස් දෙපැත්තේ වවලා තිබුන පාසැල් පාරේ ඇවිදන් යමින් හිටියේ.. දිල් අතේ කුඩයක් තිබුනා.. ඒ එක කුඩේ අපි දෙන්නවම වැස්සෙන් ආරක්ෂා කරන්න ප්‍රමාණවත් නෑ.. හදිස්සියේ හිතට දැනූනු හැඟිමක් නිසා මම කුඩේ උඳුරලා වීසි කරලා මල් පිරිලා තිබුනූ රෙබරෝසියා ගස් අතර පාරේ ඉස්සරහට දුවගෙන ගියා.. මදක් දුවගෙන ගිහින් ඇස් දෙක පියාගෙන අත් දෙපැත්තට විහිදගෙන හයියෙන් කරකුනා ඈතින් දුවගෙන ආපු දිල් ගේත්  අත් අල්ලන් අපි දෙන්නාට වැස්සේ කැරකුනා. පරාජිත නිහඬ වරිතයක් වුනු මම කරපු සුන්දර ඒ දඟකාර කම හැමදාමත් මේ වගේ වැස්සකදි මට මතක් වෙනවා..

ඒත් එක්කම එදා ඒ සිද්දිය අපිට හොරෙන් බලා හිටපු කෙනෙක් පසු කාලෙකදි මට දිල් අතේ එවන්න උත්සහ කරපු පෙම් පතකත් ඒ සිද්දියේ රස කියලා තිබුනා කියලා මට කීවේ දිල්.. ;)

ඊටත් වඩා වැස්සේ සුන්දර මතකය මගේ හිතට කා වැදුනේ මම ගොඩක්ම පුංචි කාලේදි.. එදා සෙනසුරාදාවක් වෙන්න ඔනි, සිකුරාදා රෑ අප්පච්චි වැඩ ඇරිලා එද්දි ගෙනාපු මිහිර පත්තරේ අරන් අත්තම්මාගේ කාමරේ ඇඳට උන්ඩි උනේ උදේ ඉඳන්ම සැරට වැස්ස නිසා.  ඉස්සර මම පත්තරේ ගත්ත ගමන් බලන්නේ මැද පිටුව.. මැද පිටුවේ පාට පාට පින්තූරත් එක්ක තියෙන කතන්දරේ කියවලා තමයි මම අනිත් කොටස් කියවන්නේ.. මහ වැස්සක් දවසක මම කියවපු ඒ  කතාවත් තිබුනේ නිල් පාට බට්ටිච්චෙක් ගැන.. අනිත් කුරුළු යාළුවෝ වැහි කාලෙට කූඩු හදාගන්න කොට කම්මැලි වුනු නිල් බට්ටිච්චට වැස්සෙදි විඳින්න වුනු කරදර තාමත් ඒ පින්තූරත් එක්ක මගේ හිතේ මැවිලා පේනවා.. අන්න එදා ඒ බට්ටච්චා තෙමුනා වගේ අපේ ඉස්කෝලේ පොඩ් උනුත් අද වැස්සේ තෙමෙද්දි මම බලා හිටියේ මගේ පුංචි කාලේ ගැන හිතේ ඇති වුනු ආසාවකින්..

හෑන්ඩ් බෑග් එකත් පොත් බෑග් එකත් උරහිසේ දාගෙන මාත් කුඩේ ඉහලන් පොඩි උන් අතරට එතකු උනේ වැස්ස තුරල් වෙනකල් පාසැල් වෑන් රථය රස්තියාදු කරන්න  බැරි නිසා.. . මම එලියට යද්දිම මගේ පනිත්යේ පුංචි කෙල්ලක් දුවනවා  වැස්සේ කුඩේකුත් නැතිව.. ඉක්මනින් පස්සෙන් දුවන් ගිහින් කෙල්ලව අල්ලගෙන සාරි පොටේ ඔතා ගත්තට මොකද ඒ වෙද්දි කෙල්ල හොඳටම තෙමිලා ඉවරයි..

“තෙමෙන්න එපා පුතේ ඔයා ලෙඩ වෙලා ඉස්කෝලේ එන්නත් බැරි වෙයි“ කියලා මම කියද්දි කෙල්ල පැහිච්චි කමට කීවේ.. “නෑ ටිචර් මම ඊයෙත් තෙමුනා.. ඒත් මම අදත් ඉස්කෝලේ ආවානේ..“ කියලා..
පොඩි කෙල්ලත් එක්ක පාසැල් වෑන් රථයට කිට්ටු වෙද්දි මාත් හරි ගානට  තෙමිලා හිටියේ..
 
ඔබ තෙමෙයි කියා බයයි
වැසි වැටෙයි සුලන් තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි

සළු පිලි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට සිතෙයි

අනේ ඉතින් එහෙම කියන්න කෙනෙක් හිටියනම් එහෙම කියයි කියලා මට කල්පනා වෙද්දි හීනියට හිනාවකුත් නැගුනා..
වෑන් එකේ පොඩි උන් දකිද්දි මගේ ඇඟත් එක්ක හිරිවැටිලා ගියා.. උදේ පිළිවෙලට ඇඳන් ආපු නිල ඇඳුම් දුඹුරු පාට ගැහිලා.. සීතල ඇතත් නැතත් දාන නිල ඇඳුමේම අංගයක් වුනු ජර්සිය තෙමිලා වතුර බේරෙනවා.. දරුවට උස්ස ගන්නවත් බැරි පොත් බෑග් එකත් හොඳටම තෙමිලා.. පුංචිම කෙල්ලෙක්ගේ පොත් බෑග් එකෙන් වතුර බේරෙනවා බලා ඉන්න බැරි තැන  පොත් ටික එළියට අරන් වේලෙන්න සීට් උඩින් දැම්මත් අනිත් ළමයින්ගේත් ඒ වගේම තමයි කියලා කල්පනා වෙද්දි මට හිතුනේ අද නම් පොඩි එවුන් ගෙදර ගිහින් අම්මලාගෙන් හොඳවයින් ගුටි කාවිමයි කියලා...

වැස්ස කොයි තරම් සැරද කියනවනම් පාරවල් වතුරින් යට වෙලා වෑන් එක යද්දි දෙපැත්තෙන් වතුර මලක් විහිදෙනවා.. පාර දෙපැත්නේ ඉන්න උදවිය ඒ වතුරට නෑවෙනවා...

නහවයි මා...
රිය සක මඩ වතුරේ...
නෑ හිත රිදුනේ
අදත්  එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ....



අන්න ඒ වගේ පුංච් උන්ට  මහත් විනොදයක් වුනු අපිට හිරිකිතයක් වුනු වැස්ස අද දහවලේ ඉඳන් මේ වනකලුත් අහසේ රජ කරනවා..
වැස්ස කියන්නේ හිරිකිතයක් උනාට ගේ ඇතුලට වෙලා ඉන්න කොට එළියේ වහිනවනම් මම හරිම ආසයි.. ඒ වෙලාවට බූල් බ්ලැන්කට් එක යටට ගුලි වෙලා පොතක් කියවන්න.. අවසානේ පොත අතේ තියාගෙනම නින්දට යන්න සුද්දි තරම් කෑදර කෙනෙක් තවත් නෑ..  ඒ වගේම.. උදේ පාන්දර නැගිටින කොටම හයියෙන් වහිනවනම් සුද්දි ඒත් කැමතියි..  මේ වැස්ස ගැන තවලමේ තියවුනු දෙවැනි  ලිපිය.. තව ඉදිරියට වැස්ස තව තව සුන්දරව තවලමට ගොඩ වදියි.. ඒ ඇයි දන්නවද.. වැස්ස කවදාවත් නෑවිත් ඉන්නේ නැති නිසා.


පසුව ලියමි


වීනාගේ කතාව අමතක වෙලා නැහැ ඉක්මනින් ලියනවා.. අසනිප තත්වය නිසා හිතට නිර්මානාත්මක අදහස් එනවා අඩුයි වගේ... වීනාගේ කතාව සමඟින් ඉක්මනින් හමු වෙමු :)

Oct 8, 2011

වීනා

රාජකාරිය අවසන් කොට පයින්ම නවාතැනට පැමිනි මා වෙහෙසින් බරවු මුහුනින් යුතුවම පඩි පෙල බැස මාගේ කාමරය කරා ඇවිද ගියෙමි. පඩි පෙල පාමුල දි මා පසු කරන් පඩිපෙල නැගීම ආරම්භ කලේ හැඩැති යුවතියකි. අසාමාන්‍ය ලෙස උස්වු ලැමක් සහිතවු ඇය දුටු සැනින්  මගේ සිතෙහි ඇතිවුයේ යම් අපැහැදිලි චිත්‍රයකි.

“කවුද ඇන්ටී ඒ..?“ මම නිවසේ මෙහෙකාරියගෙන් ඇසුවෙමි.

“අද ඉඳන් උඩ කාමරේට ආවේ බේබි. කෑම බීම මුකුත් එපාලු. රෑට නවතින්න තිබුනම ඇතිලු“ ඇය වටපිට බලා රහසින්  මෙන් කීවාය. එසැනින්ම ඉඟියෙන් ලැම පෙන්නවා අසාමානය ඉඟියක්ද කලාය.

පෙරලා ඇයට සිනහවකින් සංග්‍රහ කොට මමද කාමරයට ඇතුල් වුනෙමි.
ඉන් පසුව කිහිපවිටක් මා ඇය දුටුවේ රෙදි මැද ගැනීමට මාගේ ඉස්ත්‍රික්කය ඉල්ලා ගැනීමට මාගේ කාමරයට පැමිනිවිටකදී පමනි. නමුත් නිවසේ මෙහෙකාරිය තොරතෝංචියක් නොමැතිව ඇයගේ වැරදි මා හා කිවාය. නැති තැන වැරදි කියමින් අපහාස කිරිම ඇයටම ආවේනික පුරුද්දක් බැවින් එවා අසා මම නිහඬවම සිටියෙමි.


නමුත් ඇය පිළිබඳ සිතෙහි සැකයක් ඇතිවීමට තරම් ප්‍රමාණවත් සිද්දියක් සිදුවීමෙන් මා ඒ පිළිබඳව විමසිලිමත් වීමි.

දිනක් ඉස්ත්‍රික්කය ආපසු දෙන්නට පැමිනි ඇය මා නොවිමසාම ඇගේ තොරතුරු මා සමඟ කීවාය. මිතුරන් කිහිප දෙනෙක් හා එක්ව මුදල් ආයෝජනය කොට ලීබඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවත්. ව්‍යාපාරයේ පංගුකාරියක් වන තමා හොඳින් අධ්‍යාපනය ලබා ඇති බවත්, චතුර ලෙස ඉංග්‍රිසි භාෂාව හැසිරවිය හැකි බවත් කීවාය, එවෙලෙහි ඇය ඉංග්‍රිසි භෂාවෙන් කීටම උත්සහ කල දෙය නොවැටහුනෙන් මම එසැනින් ඇයගේ හැකියාවේ තරම මැන ගතිමි.  එහෙත් කිසිවෙකුගේ අධ්‍යාපන මට්ටමක් විවේචනය කිරිම නුසුදුසු වන බැවින් මම කිසිත් නොවිමසා නිහඬවම සිටියෙමි.

නමුත් කලකට පසු සියල්ලන් සමඟ ඇය කි මුසාවන්ගේ තරම දැන ගන්නා විට නවාතැන් හිමිකාරිය බෙහෙවිස් සසැලී මාහා ඒ පිළිබඳ විස්තර කතා කලාය.

“අද උදේ වීනා වැඩ කරන තැනින්ය කියලා ගෑණු ළමයි දෙන්නෙක් ආවානේ ළමයෝ... බොහොම හොඳට ඇඳ පැළඳ ගත්තු ළමයි දෙන්නෙක්...“ ඇය කිවේ ඔපාදුපයේ රස ඉස්මතුවන පරිදිය.

“ඉතින් ඇන්ටි“

“අනේ බලන්නකෝ ළමයෝ මේ කෙල්ල අපිට කියලා තියෙන්නේ බොරුනේ!! ඒළමයි දෙන්නාව එවලා තියෙන්නේ එතන ඔපිස් එකේ ලොකු මහත්වරු. කීවලු වීනා ඉන්න තැනක් හොයාගෙන ගිහින් එයා කියලා තියෙන විස්තර අහගෙන එන්න කියලා , අපිට කියපු විදියට මම කීවාම  ඒ ළමයි හිනා වෙනවා. රස්සාවක් නැතිව එද්දි  පව් කියලා අන්කම්පා කරලා එතන පොඩි රස්සාවක් දුන්නලු. ඒකත් හරියට කරන්නේ නැහැලු.. එතන අයටත් එක එක අයට එක එක විස්තර කියලා තියෙන්නේ. රුපියල් හාරදහක පඩියටලු වැඩ කරන්නේ“ ගෙහිමි කාන්තාව කීවේ ශෝකයෙනි.


“ඉතින් ඇන්ටි දැන් මොකද කරන්න ඉන්නේ“ මා විමසිලිමත් උනෙමි.

“මොනවා කරන්නද ළමයෝ.. හිටපු දවස් ගානට ගෙවලා යන්නෙයි කියනවා. මොන විදියේ එකියක්ද කවුද දන්නේ.. මට ඔනි නෑ මෙතන නම කැත කරන්න  අවුරුදු තිහක් ඉඳන් මෙතන නැවතුනේ වැදගත් පවුලු වල ගෑණු ළමයි.. අර අසරන වෙලා හදිස්සියේ ආවාට මම මුකුත්  හොයන්නේ බලන්නේ නැතිව වද්ද ගත්තට දැන්නම් මට මොහොතක් මෙහේ තියා ගන්න හිතෙන්නේ නැහැ“ ඇය කීවේ කොපයෙනි.

“අනේ මන්දා ඇන්ටි එයා ආවහම අහලා බලන්න බොරු කියන්න මොකක් හරි හේතුවක් ඇතිනේ..“  යි කියා කල්පනාකාරීව කි මා බරවු මනසින් යුතුව කාමරයට වැදුනෙමි.

එදින ඇය පැමිණි පසු හඬමින් මෙහෙකාරියත් නිවස හිමි කාත්තාවත් සමඟ කී කිසිවක් මට නෑසුනු නමුදු. ඇගේ දුක් ගැනවිල්ල නිදහසේ තියා දැමුවායැයි මට සිතිනි.

පසුදින උදෑසන ප්‍රමාද වී අවදි වු මා හට පෙර රැයෙහි සිදුවු සියල්ලක්ම ඉස්පිලි පාපිලි මග නොහැර මෙහෙකාරියගෙන් දැන ගන්නට ලැබිණි.

“ එයා බැඳලලු බේබි.. මනුස්සයා ඔන්න කොහේදෝ රස්සාව කරනවලු.. ඒ මනුස්සයා කලින් බැඳලා ළමයෙක් ඉන්නවලු.. ඒ ළමයා මෙයාගෙන් කිරි බොනවා කියන්නේ..ඒ උනාට බානු බේබිනම් කියනවා ඇඟ දැක්කම ළමයා එයාගේ කියලා හිතන්නත් පුළුන්ලු“ ඇය  ඔපාදූප රසයෙන් කීවාය.

“අනේ මන්දා ඇන්ටි“ මම කල කිරිමෙන් යුතුව කීවෙමි. ඇගේ හැඳුනුම් පත බලා  ඇය වයස දහනමයක යුවතියක් බව ගෙහිමි කාන්තාව දිනක් කී හැටි මා හට මතකය. ලාබාල යුවතිය ගැන ඇතිවු අනුකම්පාවෙන් යුතුව මම නාන කාමරයට වැදුනෙමි..

වීනා ගේ කතාව ඉදිරියට
මතුසම්බන්ධයි 

Oct 6, 2011

අපේ ගුරුතුමා (මී)යයි තාමත් ඉස්කෝලේ


නිමක් නැතිව ඔබ පොවන 
සිප්කිරෙහි මිල ගෙවාලන්නට
අවසරයි දිසාපාමොක් වරුනි අද
කවියෙන් කියන්නට ඔබේ ගුන..

මෙන්න මේ විදියට 2004 ඔක්තෝම්බර් 06 වැනිදා අපේ පාසලේ ගුරු දිනය සැමරුමට මුඳ්‍රණය කල  සමරු සටහනට පද ගලපලා දුන්නේ මම, කවි පෙල පේලි 24ක් දිගයි අවසනාවට මගේ මතකේ තියෙන්නේ  මෙපමණයි.. 

අද ලෝක ගුරු දිනය..මගේ වෘත්තීය ජීවිතේ 5වන ගුරු දිනය 2007  වසරේදි මේ දැන් ඉන්න පාසලේම 1 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේනිය දක්වා පරිඝණක විද්‍යාව ගුරුතුමිය වෙලා හිටපු කාලේ මගේ  ජීවිතේ ගුරුවරියක් වශයෙන් පළමුවරට ගුරු දිනයට මුහුණ දුන්නා. තාමත් මතකයි මට එදා අපිට පාසලේ දරුවන්ගෙන් කොළ පාටින් අයිසින් කරපු කේක් කෑල්ල ගානේ ලැබුනා.

 ඒ වෙද්දි මම වසසින් අඩුයි වගේම පාසැල් ලමුන්ට මිතුරියක් ගානයි.. ඊට පස්සේ උදා වුනු ගුරු දින තුනක්ම ගෙවුනේ IDM එකේ.. එහිදි අපි ගුරුවරු උනාට වැටුනේ ටියුෂන් ගුරුවරුන්ගේ ගනයට ඒත් දරුවෝ ගෞරවයේ වෙනසක් දැක්වුවේ නැහැ. ඒ කාලේදි අපි පුංචි උන්ට උගන්නනවාට වඩා කලේ වැඩිහිටියන්ට උගන්වපු එක.. හිමිහිට කල්පනා කරලා බලද්දි මගේ ගුරු ජීවිතේ හැම විදියකම අයට ඉගැන්විමේ පල පුරුද්ද මට තියෙනවා නේද කියලා හිතෙද්දි හිතට දැනෙන්නේ අහිංසක ආඩම්බරයක්..

මම ඉගැන්වීම පටන් ගත්තේ සාමාන්‍ය පෙල පන්තියේ ඉන්නකොට. පාසැල අහවර වෙලා ගෙදර ඇවිත් වටේ පිටේ ඉන්න පෙර පාසල් පැංචෝ තුන් දෙනෙක්ට ගෙදර වැඩ කර ගන්න උදව් කලා. එක්කෙනක් මාසෙට මට රුපියල් 200 ගානේ ගෙව්වා. ඒ මුදල් මම දුන්නේ අම්මට. අම්මා මගේ පන්ති ගාස්තු වලට වෑන් ගැස්තුව වගේම පොත්පත් වලටත් ඊට එහා වියදමක් දරන බව මම දැන්ගෙන හිටියා. ඊට පස්සේ ඒ ලෙවල් විභාගයෙන් පස්සේ මම දැන් වැඩ කරන ඉස්කෝලේ පරිඝනක විද්‍යා ගුරුවරිය උනා. ඒ අතරම හවස් වරුවේ IDM ඇවිත් වයස අවුරුදු 3 බබාගේ සිට වයස 55ට ආසන්න වැඩිහිටියා දැක්වා පරිඝනක විශයන් ඉගැන්නුවා.. 

ඔය අතර මුලින්ම මට අහුවුන වැඩිහිටි කාන්ඩය මධ්‍යම පලාතේ නුවර එළීය  දිස්ත්‍රික්කයේ පාසැල් 13ක විදුහල් පතිවරුන් 11කුත් විදුහල්පතිනියන් 2න්නෙකුත්.මගේ රාජකාරිය දේශකයාගේ සහයිකාව ඒ කියන්නේ ඉන්ස්ට්‍රක්ටර් .  

විශ්‍රාම යන්නට ආසන්න වයසේ හිටිය ඒ විදුහල්පති වරුන් මට කතා කලේ දුව කියලා “දුවේ මෙහේ එන්න මේක පැහැදිලි කරලා දෙන්න“ කියලා වයසින් අඩු මගෙන් ඒ අය බොහෝම නිහතමානිව ඉගෙන ගත්තා.ඔය අතර හිටියා අපේ අම්මා 10 වසරේදි පන්ති බාරව හිටපු ගුරුතුමා.. දවසක් මම අම්මා එක්ක පාරේදි මුනගැහුනු වෙලාවක එතුමා කිවේ ඔන්න දුවේ මම ඔයාගේ අම්මට ඉගැන්නුවා ඔයා මට ඉගැන්නුවා කියලා. 

ඒ වැඩ සටහන යන අතරතුර නුවර එළිය දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ කලමනාකාර සහකාරවරියන් තිදෙනෙක්ටත් මුලික විෂයන් කිහිපයක් ඉගැන්වීමේ අවස්ථාව මට උදා උනා.. ඒ මගේ ජීවිතේ වැඩිහිටියන් පිරිසකට නතිවම ඉගැන්වු පළමු වතාව. දින තුනක වේගවත් පාඨමාලාව අවසානේ ඒ අය සත්තෝසේ ප්‍රකාශකලේ ලොකුම ලොකු චොකොලොට් එකක් මට තෑගි දිලා..:) අහ්! අර විදුහල් පතිවරුත් මට තෑග්ගක් දුන්නා.. මේ තියෙන්නේ ඒක 



ඒ වැඩසටහන් දෙකත් සමඟ පටන්ගත් වැඩසටහන් මාලාවක් මම IDM එකෙන් අයින්වෙනකල්ම තිබුනා. අපි නම් කීවේ කැල්(CAL) කියලා. මේ වැඩසටහන් මාලාව කලේ ICTA ආයතනය. ඒ රජයේ සියලුම ගුරුවරුන් පරිඝණක දැනුමින් පොහොසත් කරන අරමුනින් එක දිගට දින 18ක් පැවැත්වෙන මේ වැඩසටහන් මාලාවෙන් වැඩ සටහන් 14කම මම වැඩ කලා. ඒතනදි ලැබුන හොඳම අවස්ථාව තමයි විවිධ ජාතින් වල විවිධ තරාතිරම් වල අධ්‍යාපන ක්ෂේත්‍රෙය් ප්‍රවිණයන්ට ඉගැන්වීමට ලැබීම, ඔය අතර මට මුහුණ දෙන්න වුනු අපුර්වතම සිදුවීම තමයි වරක් භික්ෂුන් වහන්සේ නමක් මගේ පත්තියේ සිටිම. උන්වහන්සේට කතා කරන විදිය පවා මට ගොඩක් සැලකිලිමත්ව කරන්න උනා. බෞද්ද කෙකේ විදියට . මොකද ගුරුවරුන් කියලා බලන්නේ නෑ වරදක් කලොත් මාත් ටිකක් සැරයි.. චූටි ටීචර් මිරිස් කරල වගේ කියලා එක සර් කෙනෙක් මම තරහා ගිහින් බනින වෙලාවක ගහපු පොටෝ එකකුත් අන්තිම දවසේ මට දීලා ගියා. ඒක නම්  හරිම අපූරු සිදුවීමක් මට අදහා ගන්න බැරි උනා උදේ අනවශ්‍ය ලෙස අන්තර් ජාලයේ ඉන්නවා කියලා සද්දේ දාලා මම පන්තියෙන් ගියේ දිවා විවේකය දීලා දිවා විවේකයෙන් පස්සේ අවසන් උත්සවය, උත්සවය අවසන් වෙද්දි උදේ බැනපු විදිය පොටෝ ගහලා මගේ අතටම ගෙනත් දීලා හිනා වෙවි ඉන්නවා. 

මෙන්න ඒ පොටෝව.. මාව නම් අඳුනන්නත් බැරිවෙයි.. දැන් ඉන්නවයින් බාගයකුත් නැහැනේ ;)



ඔය තරම්ම ඉමිහිරි මගේ ගුරු ජීවිතේට මම 2010 වසරේ මුල ආයුබෝවන් කියන්න කල්පනා කලා. මට ඔනි වුනේ ජීවිතේ වෙනසක් දකින්න. අළුත් දෙයක් කරන්න, එහෙම කියලා නුවරට ආපු මම අවුරුද්දක් යන්න කලින් සැහෙන්න පසුතැවුනා, ගත කරපු ජීවිතේ කොයිතරම් සුන්දරද කියලා පස්සේ දුක්වුනා.

අවසානේ ආපහු ඉරණම මාව අරන් ගියේ  පරණ ලොකේට. නුවර එළියේදි මට ඉගැන්වීම එහෙමත් නැතිනම් ගුරුවරියක් වීම හැර  සුදුසුයි කියන්න තරමේ රැකියාවක් හොයා ගන්න අමාරුයි. ඒ නැතත් මෙහේ මිනිස්සු මාව දන්නේ ගුරුවරියක් විදියට කොටින්ම අපේ අම්මා මා එක්ක ටවුන් එකට යන්න කැමති නෑ.. මගෙන් ඉගෙන ගත්ත පුංචි උන් මහපාරේදි “මිස්“ කියලා වඳින අවස්තා තියෙනවා 


ඉතින් අදට හරියටම මාසයක් උනා මගේ දෙවන ගුරු ජීවිතේට.. අසනීප තත්වයක් නිසා ඊයේ මම නිවාඩු ගත්තා අද උදෙත් නොයාම ඉන්නම් කියලා කල්පනා කරද්දි ආයිම හිතුනා අදත් නොගියොත් පුංචි උන් දඟේට වැටෙයි කියලා, එහෙම හිතලා ආයිම අමාරුවෙන් යන්න හිත හදා ගත්තා. ස්කූල් වෑන් එකේ වෙනදට Good Morning Teacher කියලා කියන ළමයි අද උදේ Happy Teachers Day Teacher කියලා කියද්දියි මතක් උනේ අද ලොක ගුරු දිනය කියලා.

 පන්තියේ ළමයින්ට මම තවමත් අළුත් නිසාත්, අවුරුදු 5ට හැඩරුවින් පවා වෙනස් වුනු මාව ළමයින්ට අමතක නිසාත් ගුරු දිනයේදි පොඩ්ඩන්ට මාව මතක තියෙයි කියලා මට හිතුනේම නැහැ. මම බලා පොරොත්තු උනේ කාල සටහනට වැඩ කරන තවත් එක දවසක්. ඒත් වෙනස පටන් ගත්තේ ගේට්ටුවෙන් අතුල් වෙද්දිම මගේ පන්තියේ පොඩ්ඩෝ ටික පිට්ටනියේ ඉඳන් දූවගෙන ඇවිත් වැඳ වැටිලා සුභ පතද්දි මොහොතකට හුස්ම ගන්න අමතක උනා.. 

ඒ වගේම පාසලේ ගුරු මන්ඩලයත් එකිනෙකාට ඉතාමත් සුහද විදියට සුභ පතා ගනිද්දි මගෙන් ඉගෙන ගත්තු මට බාල ගුරුවරියන් ඇවිත් මට වැඳලා සුබ පැතුවා. මොහොතකට මට කල්පනා උනේ අවුරුදු 4ක් තිස්සේ මම හම්බ කරපු මිනිස්සු නේද මේ කියලා.. අද උදෑසන තිබුනේ ආගමික වතාවත් ඉවර කරලා පන්තියට ඇතුල් වෙද්දි පුංචි උන් ටික බිත්ති පුපුරන සද්දෙට Happy Teachers Day Teacher  කියලා කෑ ගහගෙන මාව වට කර ගත්තේ ඉස්සෙල්ලාම වඳන්න, මගේ මුන ඉඹින්න, අවස්ථාව ගන්න තරඟ කරන ගමන්. තමන්ට පුළුවන් විදියට තමන්ගේ ආදරේ ගුරුතුමියට පෙන්වන්න මේ පොඩ් පැටව් කරලා තියෙන දේවල් බලන්නකෝ..













මගේ ඇස් නම් මේවා දකින දකින ගානේ තෙත් වෙනවා. උදේ පාන්දර නැගිටින්න වෙනවා තමයි, උදේ අටේ ඉඳන් පන්ති කාමරේට කොටු වෙනවා තමයි, මම කියලා දෙන දේ අහන් ඉන්නේ නැතිකොට තරහා ගිහින් බනිනවා තමයි, පීරියඩ් තුන හතරක් එක දිගට කෑ ගහද්දි උගුර වේලිලා  ලේ රහ වෙද්දි මට මං ගැනම දුකයි තමයි, ඒත් මම කොයි තරම් සැර කලත් මේ පුංචි එවුන් තමන්ගේ අම්මා තාත්තා ලඟට ඊලඟට ආදරේ කරන්නේ මට කියලා දැනෙද්දි දැනෙන්නේ පුදුමාකාර සතුටක්.. තව කොයි තරම් කාලයක් මම ගුරුවරියක් වෙලා ඉඳියිද මම දන්නේ නැහැ. ඒත් මට දැනෙනවා මම තනිවෙලා තියලා හිතාගෙන ජිවිතේ වෙනස්ම පාරකට හරවගත්තට මම දැන් තනිවෙලා නැහැ කියලා..

පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිත් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොලේ කජු
කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

රන් මසු පටපිළී අභරණ උරන වෙලා
සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩකඩිති...//

පද රචනය : මහින්ද චන්ද්‍රසේකර.
සංගීතය : රෝහණ වීරසිංහ.
ගායනය : සුනිල් එදිරිසිංහ.

පද ටික හොයලා ඊමේල් කලේ : ප්‍රියන්ත ගල්ගේපිටිය ;) ;)

කවදා හරි කවුරු හරි මට මෙහෙම කියාවී ජීවිතේ තනිකම මේ පොඩ් උන් එක්ක ඉදිරියට ගෙවාගෙන ගියාම :)



Oct 4, 2011

අදයි මගේ උපන්දිනේ!!

යන්තමින් අඩිය ගහල ඇවිදින්න පටන් ගන්න වයස..අකුරු එක එක ගලපලා කතාකරන්න පටන්ගන්න වයස.. තමන් වටේ ඉන්න අයව පැහැදිලිව වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වයස 
වයස අවුරුද්දක් කියන්නේ පුංචි ජීවිතේක වෙනස්කම් ගොඩක් සිද්ද වීම ඇරඹෙන වයසක්..  


ඔන්න එහෙනම් අදයි මගේ ඒ දවස..



දවසක් මුණු පොතේ ෂෙයා කරලා තිබුන ලින්ක් එකක් හරහා ගියාම අපේ හංසි ගොඩ උනේ සිංහල බ්ලොග් පිටුවකට,  තිබුනේ හද ඇද බැඳ ගන්න කතාවක්, කතාවේ නම ආදරේ අහස තරම්  බ්ලොග් අඩවිය රත්ගමයා  (ඒත් ඒක මේ දැන තියෙන බ්ලොග් අඩවිය නෙවෙයි.. රත්ගම මහත්තයා මම මේ කියන බ්ලොග් අඩවිය මැකුවා කියලා තමයි මටනම් ආරංචි උනේ)

ඉතින් අහන්නකෝ කියන්න ගිය කතාව..  ආදරේ අහස තරම් කතාව කියවාගෙන ගිහින් හංසි  හොයලා බැලුවා කවුද මේක ලීවේ කියලා.. ඉතින් ඔය විදියට හංසිට රත්ගමයා මහතාගේ බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න පුළුවන් උනා.. ඒ හරහා එහෙන් මෙහන් ක්ලික් කරලා කාරිය හංසිටත් යාන්තම් මාව අටවගන්න පුළුවන් උනා.. මේ සිද්දි දාමයට පැය බාගයක්වත් ගියේ නැහැ..ඒ දවස් වල හංසි පාව්ච්චි කලේ එයාගේ හැක් වුනු පේස් බුක් ගිණුම.. හංසි ඒකේ නෝට් විදියට එයා කුරුටු ගාන කවි නිර්මාණ පල කලා එයා දැනගෙන හිටියේ නැහැ මේ බිලොග් කලාව ගැන ඉතින් එදාට  මුණු පොතේ නෝට් එකේ දාන්න උන්න කවිය හංසි  දැම්මා එයා අලුතින් හදපු බ්ලොග් අඩවියේ.. ඒ වෙලාවේ එයාට  ඔනි උනේ වෙනත් නමකින් බ්ලොග් එක ලියන්න.. එක තත්පරේට මතක් වුනු නම සිදංගනාලු  ඒ වගේම මට එයා මුලින් දැම්ම නම කඳුලු පත්තිරු  මේ තියෙන්නේ සිදංගනා මුලින් ලියපු කවිය



කදුලු කැට.....

ගොඩක් අසරණ වෙලා
දගකාර මගෙ හිත,
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

කවුරැදෝ ගෙන ගිහින්
මගේ ඇස් වල සතුට
හෙමින් ඇවිදින් නෙතට
ලොකු බෝල කදුලු කැට...

තදින් ඔබටම බැදුන
මගෙ හිතේ ලෝබ කම
මට බයයි රත්තරන්
ඔයා නැති වෙයිද මට....

අහිමි වී යා නොදී
මං රකින සෙ‍නහසට
කදුලු පමනක් දෙයිද
රත්තරන් ඔයා මට.....

ඉතින් මේ විදියට කවියක් ලියලා දාලා හංසිත් දවස් ගනනක් මගේ වගක් නැතව වගේ  හිටියා..  හරියටම දවස් හතරකින් ආයිමක් පොඩි 
පද පෙලක් එක්කලා.. ඒ තමයි  හීන.. ඒ පද පෙලට අපේ රත්ගම මල්ලි කමෙන්ට් කරලා තිබුනා.. මෙන්න මෙහෙම 








නියමයි අක්කා...දිගටම ලියන්න..නවත්තන්න එපා..........කියවන්න බලගෙන ඉන්නෙ....සින්ඩියට එකතු කරන්න බ්ලොග් එක..එතකොට කට්ටිය එයි වැඩිපුර....සුබ පැතුම්........


මේක කියෙව්වට සින්ඩිය කියන්නේ මොකක්ද කියලා හංසි දන්නේ නැහැ ඔහොම යද්දි ටික දවසක් ගිහින් හදිස්සියේ අඳුනන්නේ නැති කෙනෙක් මුනු පොතේ හංසිත් එක්ක වැට් කලා 

අක්කා නේද සිදංගනා.. කියලා දඩබඩස් ගාලා අහද්දි හංසි තුෂ්නිම්භූත උනා, යකෝ  මේ යකා කොහොමද මේක දන්නේ කියලා... බලද්දි ඒ චැට් කරලා තියෙන්නේ ඉරු හෙවත් රත්ගමයා හංසිව අහු වෙලා තියෙන්නේ ඇත්ත ප්‍රොෆයිල් එකෙන් නෝට් එකයි බොරු ප්‍රොෆයිල් එකෙන් බ්ලොග් එකයි ලියද්දි දෙකම කියවන්න එකම රසිකයා වෙලා රත්ගමයා ආපු නිසා..
එදා රත්ගමයා නොහොත් හංසිගේ බ්ලොග් ගුරුන්නාන්සේ තමයි මාව  සින්ඩිවලට දාගන්න විදිය කියලා දුන්නේ.. ඊට පස්සේ හංසි ලියපු පිච්ච මල කතාව නිසා මාව  බලන්න යාළුවෝ ආවා ගියා.. හංසිත් යාළුවෝ අතරට සිදංගනා නමින්ම ගියා.. 

ඊට ටික කාලෙකට පස්සේ තමයි මගේ  ජීවිතේ දෙවන උපත සිදුවන්නේ ඒ හංසි ගූගල් බස් රියැදුරියක් වීම නිසා.. මුල්ම කාලේ ඉඳන් ගූගල් ප්‍රොෆයිල් එක හදාගෙන හිටියට හංසිට බස් ගැන වැඩි අවබෝධයක් තිබුනේ නෑ.. ජේ ඩී සේඩි මලයා තමා එයාව බස් පදින්න එක්කාසු  කරන් ගියේ.. ඒ උනත් එයා නැංගේ ජේඩි මලයගේ බස් වලට විතරයි.. ඊට පස්සේ දවසක හසී ගේ බස් එකකදි බස් සංගමේ අය අඳුන ගත්තා.. ඊට පස්සේ එයා ඒ අයගේ බස් වලටත් නගින්න ගත්තා.. මුලින්ම බස් නැගලා විනාස කලේ මගේ සඳ ලියන පසන් අයියාගේ බස් එකක් .. එදා ඇතිවුනු අඹ යාළු කමේ ප්‍රතිථලයක් හැටියට මමත් මගේ නමත් වගේම මගේ හංසිගේ නමත් වෙනස් උනා..


සිදංගනා කඳුලේ කවිකාරිය   ගේ කඳුලු පත්තිරු
සුදු හංසිගේ  සිහින තවලම | Caravan of Dreams



බවට පත් වුනා... ඔන්න ඔය විදියට ගමනක් ආපු මගේ උපන්දිනේ අද තමයි.. මම දන්නවා හංසි දුක සතුට දෙකේදිම ඉස්සෙල්ලාම මතක් කරන්නේත් හොයන් එන්නේත් මාව කියලා.. ඉතින් මගේ උපන්දිනේ  නිසා එයා  නිකම්ම හිටියේ නැහැ.. මහන්සි වෙලා පාටියක් ලෑස්ති කරලා.. මෙන්න එහෙනම් කේක් කාලා මුකුත් බීලා හේම යන්න....

Let's party time!!





ප:ලි
එහෙනම් බොහේම ස්තූතියි පාටියට ආවට... හැමදාමත් මා එක්ක තවලමේ යන්ට එකතු වෙන්ට ඔනි හොඳද මගේ යාළුවනේ!!

අනේ බලන්නකෝ මගේ බ්ලොගී කියන එවා අද උපනේදිනේ දවසේ !

සුදු හංසී