මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Dec 16, 2011

නමක් නොදනිමි.. එහෙත් මෙය ආත්මාණු කම්පාව පිටකිරිමකි!!

මීදුමින් වැසුණු කඳු යාය කවදත් මම ආදරය කල දසුනකි..  එහෙත් බීරලු වැට අද්දරට වී ඒ සොබා සිරි නරඹන්නට අවසන් වරට කාමරයෙන් පිටතට ගියේ මීට දින කිහිපයකට කලිනි..  කාමරයේ මුල්ලක ඇති පරිගණකය හා ගත කරන හුදෙකලා ජීවිතයේ දුක සැප අතර  කොටුවී  සිටින මට, කාමරයෙන් ඉවත්වීම වදයකි.. එසේ ඉවත්ව ගියත් මිනිත්තු පහකට වඩා පිටත රැඳී සිටින්නට මසිත මට ඉඩ නොදේ.. අහවර නොකල මල් මොස්තරය සහිත කොට්ට උර පළුව සැටිය මත බලා සටී.. පරිගණක ඛේතයන් වන්නට  බලා සිටින කුරුටු පොතක කුරුටු ගෑ කවි සිත්තම් පසෙක ඇත.. අරුන්දතී අත්පිටපතද එසේමය..   කිසිදාක නොදැනුනු නොහැඟුණු තරමේ ගුප්ත හැඟීම් සමුදායක් විසිනි මා සිත වෙලා ගනු ලැබ ඇත.

ඔය මුහුන දකින්නට මසිත මට බල කරයි. ඔබට හොරා ,ලඟ තබා ගත් ඔබේ පින්තූරයක් පරිගණක තිරය මත රැස් විහිදයි.  ඔය මුහුන මට පෙනෙන්නේ කොතරම් හැඩටද.. ඔබ හා කතා කොට ඇත්තේ ස්වල්ප වචන ගනනක් වුවද යලි යලිඳු එය සිහිකරන්නට සිත මටම බල කරයි.. 

ඔබ කොහි සිටිනවාදැයි සොයන්නට මම රස්තියාදුවේ යමි.. නැත  ඔබ කිසි තැනක නැත. අහම්බෙන් හො දුටුවහොත් වහා මම සැඟවෙමි. රහසේ ඔබ කියනා දෙයක් කරනා දෙයක් බලා සිත සනසවා ගමි. ඒ ඔබේ ප්‍රතාපවත් පෞර්ශත්වයට ඇති බිය නිසායි.  සැබැවින්ම මා ඔබට ආදරය කරන්නේත් එම ප්‍රතාපවත් බවට නමුදු. හිමි වන්නටත් පෙර මට අහිමිව ගිය ඔබ හා එකදු වදනක් දොඩන්නට නොහැකි තරමේ අවාසනාවන්තියක වී බලා සිටිමි..

 සිහින වලින් මා අවදිවද්දි නැවතත් ඔබ අතුරුදන්ව ඇත.. යලිත් මම සයිබරය පුරා රස්තියාදුවේ යමි. බ්ලොග් පිටු අතර දකින හැම ආදර වදනක්ම මා සිත අළුතින් දවාලයි.. ආදරය තේරුම් ගත් හැක්කේ කාලයට පමණක් බව මධුරංග මල්ලී ඔහුගේ බ්ලොග් පිටුවේ ලියා තිබුනේය. මම සිතිවිලි වලින් ඔබ සොයා ගියෙමි.. කෙදිනක හෝ ඔබ විසින් මා තේරුම් ගනු ඇතැයි සිතා සිත සනසවා ගතිමි. එහෙත් බුද්ධිය විසින් මගේ දුර්වල මනසට ඔබ සදා කල්ම මට අහිමි දෙයක් බව යලිත් වටහා දුන්නෙන්.. සීතල සිතිවිලි හදවතටම සිරකරන් මම ගොළු උනෙමි.

අන්තර්ජාලයේ රෑදී සිටිම වේදනාවක් බව මට හැඟෙයි.. සිත සනසවාගන්නට මිතුරන් හා රණ්ඩුවට පැටලෙමි. එහෙත් අවසන රිදෙන්නේ මගේ හිතමය. විහිලු සියල්ලගෙන්ම ඇස් රතු කරවාගෙන වෙබ්බ්‍රව්සරය තිරයෙන් ඉවත් කර, වෙනත් පිටුවක් වෙත යමි. ගිගාබයිට් තිහකට ආසන්න ප්‍රමාණයක ගබඩාකර ඇති ගීත අසන්නට සිතෙන්නේම නැත. විසිතිස් ගනනකට වඩා ඇති චිත්‍රපට එකිනෙක මකා දමන්නේ එවා බැලීම සිතට වදයක් නිසාමය. අවසන මා නතර වන්නේ අධ්‍යාපනික යමක් ලියැවුනු  PDF පුටුවක් ලඟයි.. එහෙත් සිතිවිලි වලින් වෙහසුනු මනසට  එහි ඇති කිසිවක් නොවැටහේ..  මේ සතියේ උගන්වන්නට ඇති විශය කරුණු ඉතාමත් සංකීර්ණය . ඒවා ළමුන්ට තේරෙන අයුරින් සරලව ලියා ගැනිමට මා දැනටත් පරක්කු වැඩිය.. එහෙත් පරිගණක ක්‍රමලේඛනයන් අතරමගේ සිත නොරැඳේ..  එය අන්තිම මොහොතට ඉතිරි කර යලිත් මා අන්තර් ජාලයේ රසිතියාදුව පටන් ගනිමි.

සිහින තවලම,  හංස ගීතය මෙන්ම අක්ෂරයද මගේ ජීවිතයේ කොටස්ය. එහෙත් සිහින තවලම වෙනුවෙන් ලියන්නට බලා සිටින අළුත්ම පෙම් කතාව ලියන්නට මසිතට සිතිවිලි නැත.  හංස ගීතය වෙනුවෙන් ලියා ඇති පැදි  කුරුටු කවි පොතේ බලා සිටියද ඒවා ඛේතයන් බවට පත් කරන්නට සිතට නිදහසක් නැත.. අක්ෂරය වෙනුවෙන් අධ්‍යාපනික උපදේශන ලිපි මාලාවක් ලියන්නට රැස්කල කරුණු පරිගණක මේසයේ පැත්තක එහෙමමය.  
කිසිත් කරන්නට සිත නොදෙන්නේ මන්දැයි මම මගෙන්ම අසමි. ඇතැමි විට මෙය මානසික පීඩනයක් විය හැකි බව මටද සිතේ. 

ජීවිතයේ දනනා කාලයක සිට මෙවන් විවේකයක් මට ලැබී නැත. කුඩාම අවදියේ පටන් පාසැල් අධ්‍යාපනය නිමවන තෙක් පොතින් පතින් තොර ලොවක් මට නොතිබිනි. සාමාන්‍ය පෙල නිමවා ඊට පසුදිනම වාගේ උසස් පෙළ සඳහා පන්ති ආරම්භ කලෙමි.. එතැන් පටන් මුළු දිවියම ජීවවිද්‍යා විශයන්ට කොටුවිය.  එහෙත් අවසානයේ නොසිතූ ලෙස සියල්ල වෙනස් විය. ජීවිතයේ පළමු කඩා වැටීම ලෙස ප්‍රථම ප්‍රේමයෙන් පැරදී ජීවිතයට නව අරුතක් සොයා ගියේ උසස් පෙළ විභාගයද පසෙකලායි. මම පරිගණක විද්‍යාවට පෙම් බඳින්නට වුවෙමි.. සතියේ දින හතම IDM ආයතනයට වී ඩිප්ලෝමාව සාර්ථකව නිමකලෙමි. 

එය අවසන්කොට නිවසේ සිටියේ සතියකටත් අඩු කාලයකි. මට IDM ආයතනයේ රැකියාව ලැබුනෙන් මම මගේ ගුරු ජීවිතය ඉතාමත් අඩු වයසකදි ආරම්භ කලෙමි.

ඒ පටන් ගත්අළුත් ජිවිතයේ  ගතවන හැම තත්පරයක්ම යම්කිසි වැඩක් වෙනුවෙන් යොදවන්නට මා පුරුදු උනෙමි.. මාගේ ඉගෙනීම් වාගේම රැකියා කටයුතු නිසා මා ගතකලේ පුදුම තරමේ කාර්‍යබහුල දිවියකි.

නුවර රැකියාව ලද පසුද කරන්නට තරම් විශාල වැඩක් නොවුවත් මුළු දවසම කර්‍යාලයට වී කුමක්  හෝ වැඩක නිරත වී සිටීම මට විනෝදයක් විය. බෝඩිමේ ගත කල කාලය තුල කිසිම දිනක මා දහවල් කාලය බෝඩිමේ ගත නොකල බව මටම මහා පුදුමයකි.

නුවරින් සමු ගෙන නිවසට පැමින නිවසේ විවේකිව සිටියේ හරියටම දින හතරක් පමණි. යලිත් ගුරු ජීවිතය ආරම්භ කලෙන් මුළු දවසම සිසු සිසුවියන් ඇසුරේ ගෙවා..  හවස් යාමයේ නිවසේදීත් පාසලේ කටයුකු සඳහා සූදනම් වීම ජීවිතයේම කොටසක් විය..

නමුත් එළඹ ඇත්තේ පාසැල් නිවාඩු කාලයයි. එක දිගට සති තුනක් මට නිවසේ සිටින්නට සිදුවී ඇත. ජීවිතයේ ප්‍රථම වරට ලද මේ දිර්ඝ විවේකය දැන් දැන් දැන් මානසික වදයකි.

සංජු අක්කා කීවා හරිය. ඇය දිනක් කීවේ පාසැල් නිවාඩුව එපා වෙන එකක් බවයි.. ඇයගේ මුණු පොතේ සටහනට යටින් මම ලියුවේ හොඳට නිදා ගන්නට කදිම කාලයක් බවයි.. එහෙත් උපරිම උත්සහ කලද අඩුම තරමේ රාත්‍රියටවත් නින්ද මා කරා එන්නේ නැත. නිදා ගන්නවායැයි කියා පරිගණකය ලඟින් ඈත් වන්නේ අම්මාගේ වද කිරිම නිසා මිස නිදිමතක් නිසාම නොවේ.

 මට ජංගම දුරකතනයක් ඇති බව මට සිහි වන්නේ දිනකට වරක්වත් ආසිරි මල්ලි යුතුකමක් කොට සලකා කතා කරන වෙලාවට පමනි. ඒසේ නොවිනම් මගේ ජංගම දුරකතනයත් නිවසේ ඉවතලන පැරණි බඩුබාහිරාදිය අතරට එකතු වනු නියතය.

අසල්වැසි නිවසකින් අම්මා කියවන්නට ගෙන ආ නවකතා පොත් බොහෝ කලකට පෙර මා කියවුයේ කෑම බීම පවා අමතක කරයි. කොහෙන්හෝ පොතක් ගෙන ආවිට එය කියවන්නට අම්මාත් මමත් එකල තරඟ කලෙමු.. එහෙත් මෙකල මට බො ළඳ පෙම් කතා කියවීම වදයකි. නොඑසේනම් එවා කියවාගෙන යන විට හැඟෙන්නේ එහි ඇති වදන් සියල්ල හිස ඒවා බවයි.

නව යෞව්වනයේදි මා පියවි ලොව ගත කරන වේලාවට වඩා වේලාවක් ගතකලේ සිහින ලොවකය. මෙතෙක් කලත් මා අතින් බිහිවුනු කෙටි කතා වල චරිතයන් සමඟ ගතකල අවදිය ඉතාමත් සුන්දරය.. එහෙත් මෙකල එවන්  කතාවක් මනසින් මවන්නට මා අපොහොසත්ය.  

මගේම සිතිවිලි වල කෘරත්වයට මොහාතකට මම ශාප කරමි.  අවසන්වරට මා ලියු පෙම් කතාව වලාවෙන් වැසුණු සඳ ඔබලාට මතක ඇතුවාට සැක නැත..  වේගවත් ලෙස එය අවසන් කරන්නට තරමට මා මසිතට කෘර වු හේතුව නිසාම අදටත් මට පෙම් කතාවක් ලියන්නට වචන ගලපන්නට නොහැක.

හිම හංසි මේ දිනවල  ලියනා කතාව බලන හැම වරම වාගේම බනියා ලියන දිර්ඝකල කෙටි කතාව කියවන විටත් තවලම වෙනුවෙන් පෙම් කතාවක් ලියන්නට මගේ සිතිවිලි මට බල කරයි.. කතා කිහිපයක්ම සිතෙහි ඇති මුත්. ඉන් එකකට හෝ පන පොවන්නට මා හට ශක්තියක් නැත.. ඒම චරිත මාගේ සිහින ලෝක වල  මා දුක් විඳ නිමකල චරිත වුවද ලිවීම අතර මගදි සිත රිදවුනු විටෙක පහන් සහ අංජලීට අත්කල ඉරණමම ඒ චරිතවලටත් මා අත්කරන බව මම දනිමි. 

ආතමාණුකම්පාව විසින් මගේ  සිතිවිලි ගල් ගැසි ඇති මොහොතක සිත නිවා ගන්නට  මම මෙසේ සටහන් කරමි...

අහිමි බව දැන දැනත් ඔබටම පෙම් කරන මේ කඳුලේ කවිකාරිය.. හෙටත් බලා සිටිනු ඇත.. පුංචිම පුංචි බලාපොරොත්තුවක් වෙනුවෙන්... 


17 comments:

  1. අනේ මන්දා මගේ හිතින් බාගයක් විතර මේකෙ ලියලා. හැබැයි නොලැබෙන දේ වෙනුවෙන් අඬන එක බොරුම බොරු වැඩක්. මම නපුරු වෙලාද මන්දා වෙලාවකට මට එහෙම හිතෙනවා. හැබැයි ආදරේ මහ බොරුවක්. ඒත් මිතුරුකම නම් සෑහෙන්න වටිනවා. ඉඳලා හිටලා හරි යාලුවෙක් මූණු පොතේ හරි කතා කරලා කොහොමද මචං කියලා අහන එකම සමහර වෙලාවට වටිනවා සෑහෙන්න. මේවා කල්පනා කරලා නිකන් වෙලාවකට ඔළුව පුපුරන්න එනවා. ඒත් අපි ආදරේට හරි පෙරේතයි නෙ. කොහෙන් හරි ආදරේ හොයනවමයි.

    ReplyDelete
  2. ම්ම්ම්ම්ම්ම්..... ආත්මානුකම්පාව තරම් මනුස්සයෙක්ට වේදනාකාරී සිතුවිල්ලක් තවත් නැතිව ඇති... අක්කා කියලා තියන මේ කතාව, මට මහා හුගාක් සමීප විදියට දැනුනා.මගේ ජීවිතේට හුගාක් සමීපයි මේ සමහර සිද්ධි....

    අහිමි බව දැන දැනත්, ආදරේ කරලා පපුව පුච්ච්ගන්න එපා...ආදරේ කරන්න හිමි වෙන්න ඕනෙම නෑ තමා. ඒත් යථාර්තය තේරුම් අරන් ආදරේ කළොත් දුකක් වෙන එකක් නෑ මං හිතන්නෙ අක්කිට..:)

    ReplyDelete
  3. නුඹටත් කෙනෙක් හිඳීවි
    දවසක සොයාන ඒවී

    ඒ එනතුරා හිත හදාගෙන ඉඳින්.......

    ReplyDelete
  4. ආත්මානුකම්පාව අපව බොහෝදුරට අසරණ කරනවා කියලායි මට හිතෙන්නෙ.. ඒ මගින් අපට සත්‍යය දකින්න තිබෙන අවස්ථාවන් අවම කරවනවා. ඉතින් අපි හැමවිටම එකම තැනට වෙලා ආත්මානුකම්පාවෙන් තමන්ව නැතත් අනෙක් අයව සාධාරණීකරණය කරමින් ඉන්නවා.
    පොඩ්ඩක් උත්සාහ කරලා ආත්මානුකම්පාවෙන් මිදෙන්න උත්සාහ කරන්න. ලෝකය ලස්සන බව විශාල බව පෙනේවි එතකොට...

    ReplyDelete
  5. සයිබර්ද.. ඕනම නැත...

    ReplyDelete
  6. mata ahamben dakinna labune..man fb eke mage thinma adala daapu art eka oya lassanata kathawakata aragena..suba apthum..habai art eka mage..he he...awulak na..hodin karagena

    yanna..man ruwan kumara meddege

    ReplyDelete
  7. මට ලියාගන්න බැරි උන මගේ කතාවක්ද කියලා මට හිතුනා මේක කියවගෙන යද්දි.. ඒ තරමටම හදවතට සමිප වෙන්න අක්කා ලියලා තියෙනව..

    ReplyDelete
  8. මොනාද කියන්න ඕනෙ කියලා හිතාගන්න බෑ මටනම්...!

    ReplyDelete
  9. මේ දවස් වල මටත් එපා වෙලා.... ඔය අක්කා කිව්වා වගේම මටත් බ්ලොග් පෝස්‍ට් එකක් ලියන්නවත් හිතෙන්නේ නෑ...

    ReplyDelete
  10. අනේ මංදා අක්කෝ... මම හිතුවේ මේ විදිහට හිතෙන්නේ මට විතරයි කියලා... කරන්න කිසි දෙයක් නැති වුනාම ඔහේ ජංජාලේ පුරා කැරකෙනවා... කාලෙකින් බ්ලොග් එක පැත්තේ ගියේ නැ..යන්න හිතෙන්නෙත් නැ..ඉතින් මට හිතා ගන්න බැ ඔයාට මොනා කියන්න කියලා..

    ReplyDelete
  11. මමත් ජීවිතේ ගැන කලකිරිලා ඉන්නේ....
    අනේ මන්දා! මේ දවස්වල හැමෝම ඉන්නේ දුකින්..... :(((((((((

    ReplyDelete
  12. හිතට සැනසීමක් දැනෙන වචනයකටත් පෙම්බදින කාලෙක හිතට දැනෙන්න
    වචනයක් වත් නැතිවුනාම දැනෙන අඩුව වචන වලට වඩා
    සිතුවිලි දන්නවා අක්කණ්ඩියේ..
    අපි තාමත් මහපොලවේ
    ඒකයි අපි මේවා විදින්නේ
    විදවන්නේ

    ReplyDelete
  13. හ්ම්. අර පිශ් අයියා කිව්වා වගෙ මටත් මොනවා කියන්නද කියලා හිතා ගන්න බැ හංසි අක්කේ........ ඔය වගෙ වෙලාවක දැනෙන හිස් බව දරා ගන්න අමාරුයි තමා අක්කේ. .....කාර්‍යබහුලත්වය ඔකට හොද පිළියමක් අක්කේ... වැඩ අධික උනාම අපෙ මනස වෙනතකට යොමු වෙනවා ඉක්මනින්ම . ස්කොලෙ නිවාඩු කාලෙ නිසා මෙ දෙවල් වෙනදටත් වැඩියෙන් අක්කිය දැනෙනවා ඇති ,.....

    ReplyDelete
  14. සැහැල්ලුවට ලියාගෙන ගිහින් සරලයී
    ලස්සනයි කියලා කියන්න මට බැ මොකද ඒ කතාවෙ ලස්සනකට වඩ දෙයක් මම දැක්කා.................
    හිතට ටිකක් නිදහසක් ලබලා දෙන්න නංගා
    හැමදේම හීමිට නිරවුල් කරගන්න පුලුවන් වෙයී
    ජිවිතේ වෙලාවකට ඔහොම තමයි

    ReplyDelete
  15. කියන්න දෙයක් හිතට එන්නේ නැහැ....
    නමුත් මටත් ගොඩක් දරාගන්න අමාරු ආත්මානුකම්පාව බව අත්දැකීමෙන්ම දන්නවා
    කෙනෙකුට මගේ හිත රිද්දනවට වැඩිය ලේසියෙන් ආත්මානුකම්පාවට මගේ හිත රිද්දන්න පුළුවනි....

    ReplyDelete
  16. කාමරයක් ඇතුලට වෙලා ඉන්නකොට මුළු දවසම මේ ජන්ජාලෙට වෙලා ඉන්න කොට ජිවිතේ කලකිරෙනවා තමයි. කාමරෙටම වෙලා ඉන්නේ නැතුව පොඩ්ඩක් එලියට බහින්න. බලාපොරොත්තු වලින් හදවත පුරවා ගන්න. ජීවිතේට අරමුණක් තියා ගන්න. ඒ අරමුණ ඉටු කර ගන්න කැප වෙන්න. එතකොට දැනේවි ජිවිතේ කොච්චර ලස්සනද කියලා.......

    ReplyDelete
  17. සංජු අක්කා , .හිතුවක්කාරි, අනුරාධ, Roshan Herath, මාරයාගේ හෝරාව, ruwanඅයියා, Dinesh, මාළුවා , පූසා
    අකීකරු හිත, මහි, Janaranga , සිරි කොලුවා, අහිංසකි අක්කා ,ලොකු පුතා සහ රෙප් මහත්තයා.. ස්තූතියි මේ පැත්තේ ආවාට.. ස්තූතියි මගේ හිත සැනසෙන වචන කීවට... ඔයාලා හැමෝටම 

    ReplyDelete