මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Oct 17, 2011

පුංචි උන්ගේ සහ මගේ වැස්සේ වෙනස...

උදේ ඉඳන්ම  දරුණු හිසේ කැක්කුමකින්  පෙළුණු නිසා. පුංචි උන් එක්ක හිතේ තිබුනේ පොඩි තරහක්.. ඒත් නැවතිල්ලේ කල්පනා කරලා බලද්දි මගේ අසනීපෙ නිසා සුට්ටං උන්ගේ දඟකාරකම් වලට තහංචි දාන එක  අසාධාරනයි කියලත් හිතුනා...   පුංචි උන් මහ පුදුමාකාරයි...

“කෑගහන්න එපා ළමයිනේ මගේ ඔළුව රිදෙනවා...“ කියලා යටිගිරියෙන් කෑ ගහලා පන්තියට සත්තම දාපු  වෙලාවේ ඉඳන්ම   කෙල්ලෝ ටික වගේම සමහර කොල්ලොත් ලඟින් හෙලවුනෙ නෑ.. ඒත්  හැමදාම කරන දඟකාර කම් වලින් මිදෙන්න කාටවත් පුළුවන් උනේ නැහැ...
කෙල්ලෝ ටික මගේ සාරි පොටේ රැළි හදන්න වගේම කොණ්ඩ මොස්තර දාන්න රණුඩු උනා, කොල්ලෝ ටික එක් එක්කෙනා එක්ක රණුඩ කරන ගමන් ඇවිත් අඩු නැතිව කේලාම් ටිකත් කීවා. පුරුදු  විදියටම පුංචි උන්නේ රණ්ඩුවේදි අපක්ෂපාති උදාසිනයා වෙලා මම නිහඩවම බලා හිටියේ ඇත්තටම එවා අහද්දි දෙගුණ වෙන හිසේ ඇම්ම නිසාමයි..

අන්තිම කාලච්ඡේදයේ සිංහල/දමිල පාඩමට පොඩි උන් ටික පන්තියෙන් පිට උනාම හැමදාමත් වගේම හිතට දැනුනෙ පුදුමාකාර පාළුවක්. කොයි තරම් වද දුන්නත් ඒ අය නැත්නම් පන්තිය හරිම පාළුයි. ඒ පාළුව දෙගුණ තෙගුණ කරගෙන  ජනේලයෙන් එහා පේන අහස වහන් කර ගත්තේ බර වැහි වලාවක්. ජනේලයෙන් එබීගෙන ඒ දිහා බලන් ඉන්න කොට මිදුල අතුගාන කෙනා කියාගෙන ගියේ
“ අද නම් ටීචර් ලොකු වැස්සක් එන්න හදන්නෙ කියලා“
විනාඩි කිහිපයකින් පාසැල නිම වෙන්න නියමිත නිසාම මම ප්‍රාර්ථතනා කලේ වැස්ස තව පැයක්වත් පමා කරන්න කියලා

හොරා දෙක තුනක් ඉන්න
නෑවිත් වැහි වලා බඳේ කඩ ඉමෙන් මෙහා

කියලා හිත මිතුරු සුළඟ අතේ පණිවිඩේ යවන්න හිතන්නත් කලින්  පාසල නිමාවේ සීනුවත්  එක්කම දොඹ ගෙඩි තරම් ලොකු වැහි බෝල එක ඔසේට කඩාගෙන වැටුනා.

ලොකු පොඩි පාසැල් ළමුන් එකා දෙන්නා මහ වැස්ස මැද්දේ පිට වීමේ ගේට්ටුව පැත්තට දුවද්දි ජනේලය අද්දර හිටිය මට දැනුනේ අනේ අද ගෙදර නොයා ඉන්න තියෙනවනම් කියලා. මහ වැස්සේ එළියට බහින එක මට කම්මැලි දෙයක් උනාට පුංචි උන්ටනම් ඒක හරිම සුන්දර අත්දැකීමක් උනා.. හැමදාමත් වැහි වැටෙන නුවරඑළියට මේ සා ධාරාණිපාත වැහි වැටෙන්නේ එහෙමත් දවසක.. වෙනදට වැටෙන හිරි පොද වැස්ස එපා වෙලා වගේ පොඩි දරුවෝ ඒ මහා ධාරානිපාත වැස්සේ තෙමුනේ  හරියට මල් වැස්සක නටනවා වගේ..

හිතින් මම දුවගෙන ගියේ මගේ පාසැල් කාලෙට.. මම නවය ශ්‍රේනියේ ඉගෙන ගන්න කාලේ තමයි  මුලින්ම පරිඝණක පනිත්යකට බැඳුනේ.. ඒ පන්තිය තිබුනේ පාසැල් වෙලාවෙන් පස්සේ.  ඉතින් දවසක් ඔය පනිත්ය පටන් ගන්නකල් පාසැල නිම වෙලා කල් මරද්දි , අද වැහැපු වැස්ස වගේම මහා වැස්සක් වැටුනා.. ඒ වෙද්දි මමත් මගේ යෙහෙලිය දිලේකත් රෙබරෝසියා ගස් දෙපැත්තේ වවලා තිබුන පාසැල් පාරේ ඇවිදන් යමින් හිටියේ.. දිල් අතේ කුඩයක් තිබුනා.. ඒ එක කුඩේ අපි දෙන්නවම වැස්සෙන් ආරක්ෂා කරන්න ප්‍රමාණවත් නෑ.. හදිස්සියේ හිතට දැනූනු හැඟිමක් නිසා මම කුඩේ උඳුරලා වීසි කරලා මල් පිරිලා තිබුනූ රෙබරෝසියා ගස් අතර පාරේ ඉස්සරහට දුවගෙන ගියා.. මදක් දුවගෙන ගිහින් ඇස් දෙක පියාගෙන අත් දෙපැත්තට විහිදගෙන හයියෙන් කරකුනා ඈතින් දුවගෙන ආපු දිල් ගේත්  අත් අල්ලන් අපි දෙන්නාට වැස්සේ කැරකුනා. පරාජිත නිහඬ වරිතයක් වුනු මම කරපු සුන්දර ඒ දඟකාර කම හැමදාමත් මේ වගේ වැස්සකදි මට මතක් වෙනවා..

ඒත් එක්කම එදා ඒ සිද්දිය අපිට හොරෙන් බලා හිටපු කෙනෙක් පසු කාලෙකදි මට දිල් අතේ එවන්න උත්සහ කරපු පෙම් පතකත් ඒ සිද්දියේ රස කියලා තිබුනා කියලා මට කීවේ දිල්.. ;)

ඊටත් වඩා වැස්සේ සුන්දර මතකය මගේ හිතට කා වැදුනේ මම ගොඩක්ම පුංචි කාලේදි.. එදා සෙනසුරාදාවක් වෙන්න ඔනි, සිකුරාදා රෑ අප්පච්චි වැඩ ඇරිලා එද්දි ගෙනාපු මිහිර පත්තරේ අරන් අත්තම්මාගේ කාමරේ ඇඳට උන්ඩි උනේ උදේ ඉඳන්ම සැරට වැස්ස නිසා.  ඉස්සර මම පත්තරේ ගත්ත ගමන් බලන්නේ මැද පිටුව.. මැද පිටුවේ පාට පාට පින්තූරත් එක්ක තියෙන කතන්දරේ කියවලා තමයි මම අනිත් කොටස් කියවන්නේ.. මහ වැස්සක් දවසක මම කියවපු ඒ  කතාවත් තිබුනේ නිල් පාට බට්ටිච්චෙක් ගැන.. අනිත් කුරුළු යාළුවෝ වැහි කාලෙට කූඩු හදාගන්න කොට කම්මැලි වුනු නිල් බට්ටිච්චට වැස්සෙදි විඳින්න වුනු කරදර තාමත් ඒ පින්තූරත් එක්ක මගේ හිතේ මැවිලා පේනවා.. අන්න එදා ඒ බට්ටච්චා තෙමුනා වගේ අපේ ඉස්කෝලේ පොඩ් උනුත් අද වැස්සේ තෙමෙද්දි මම බලා හිටියේ මගේ පුංචි කාලේ ගැන හිතේ ඇති වුනු ආසාවකින්..

හෑන්ඩ් බෑග් එකත් පොත් බෑග් එකත් උරහිසේ දාගෙන මාත් කුඩේ ඉහලන් පොඩි උන් අතරට එතකු උනේ වැස්ස තුරල් වෙනකල් පාසැල් වෑන් රථය රස්තියාදු කරන්න  බැරි නිසා.. . මම එලියට යද්දිම මගේ පනිත්යේ පුංචි කෙල්ලක් දුවනවා  වැස්සේ කුඩේකුත් නැතිව.. ඉක්මනින් පස්සෙන් දුවන් ගිහින් කෙල්ලව අල්ලගෙන සාරි පොටේ ඔතා ගත්තට මොකද ඒ වෙද්දි කෙල්ල හොඳටම තෙමිලා ඉවරයි..

“තෙමෙන්න එපා පුතේ ඔයා ලෙඩ වෙලා ඉස්කෝලේ එන්නත් බැරි වෙයි“ කියලා මම කියද්දි කෙල්ල පැහිච්චි කමට කීවේ.. “නෑ ටිචර් මම ඊයෙත් තෙමුනා.. ඒත් මම අදත් ඉස්කෝලේ ආවානේ..“ කියලා..
පොඩි කෙල්ලත් එක්ක පාසැල් වෑන් රථයට කිට්ටු වෙද්දි මාත් හරි ගානට  තෙමිලා හිටියේ..
 
ඔබ තෙමෙයි කියා බයයි
වැසි වැටෙයි සුලන් තදයි
කුඩයට ඔරොත්තු නොදෙයි
සාරිය පිට මඩ ඉහෙයි

සළු පිලි සිරුරට ඇලෙයි
පිට මිනිස්සුන්ට පෙනෙයි
සඟවන්නෙමි ඔබ මගෙයි
දිව එන්නට මට සිතෙයි

අනේ ඉතින් එහෙම කියන්න කෙනෙක් හිටියනම් එහෙම කියයි කියලා මට කල්පනා වෙද්දි හීනියට හිනාවකුත් නැගුනා..
වෑන් එකේ පොඩි උන් දකිද්දි මගේ ඇඟත් එක්ක හිරිවැටිලා ගියා.. උදේ පිළිවෙලට ඇඳන් ආපු නිල ඇඳුම් දුඹුරු පාට ගැහිලා.. සීතල ඇතත් නැතත් දාන නිල ඇඳුමේම අංගයක් වුනු ජර්සිය තෙමිලා වතුර බේරෙනවා.. දරුවට උස්ස ගන්නවත් බැරි පොත් බෑග් එකත් හොඳටම තෙමිලා.. පුංචිම කෙල්ලෙක්ගේ පොත් බෑග් එකෙන් වතුර බේරෙනවා බලා ඉන්න බැරි තැන  පොත් ටික එළියට අරන් වේලෙන්න සීට් උඩින් දැම්මත් අනිත් ළමයින්ගේත් ඒ වගේම තමයි කියලා කල්පනා වෙද්දි මට හිතුනේ අද නම් පොඩි එවුන් ගෙදර ගිහින් අම්මලාගෙන් හොඳවයින් ගුටි කාවිමයි කියලා...

වැස්ස කොයි තරම් සැරද කියනවනම් පාරවල් වතුරින් යට වෙලා වෑන් එක යද්දි දෙපැත්තෙන් වතුර මලක් විහිදෙනවා.. පාර දෙපැත්නේ ඉන්න උදවිය ඒ වතුරට නෑවෙනවා...

නහවයි මා...
රිය සක මඩ වතුරේ...
නෑ හිත රිදුනේ
අදත්  එදා සිහිවී
අපේ සබඳ කම් නෑ රිය සක දන්නේ....



අන්න ඒ වගේ පුංච් උන්ට  මහත් විනොදයක් වුනු අපිට හිරිකිතයක් වුනු වැස්ස අද දහවලේ ඉඳන් මේ වනකලුත් අහසේ රජ කරනවා..
වැස්ස කියන්නේ හිරිකිතයක් උනාට ගේ ඇතුලට වෙලා ඉන්න කොට එළියේ වහිනවනම් මම හරිම ආසයි.. ඒ වෙලාවට බූල් බ්ලැන්කට් එක යටට ගුලි වෙලා පොතක් කියවන්න.. අවසානේ පොත අතේ තියාගෙනම නින්දට යන්න සුද්දි තරම් කෑදර කෙනෙක් තවත් නෑ..  ඒ වගේම.. උදේ පාන්දර නැගිටින කොටම හයියෙන් වහිනවනම් සුද්දි ඒත් කැමතියි..  මේ වැස්ස ගැන තවලමේ තියවුනු දෙවැනි  ලිපිය.. තව ඉදිරියට වැස්ස තව තව සුන්දරව තවලමට ගොඩ වදියි.. ඒ ඇයි දන්නවද.. වැස්ස කවදාවත් නෑවිත් ඉන්නේ නැති නිසා.


පසුව ලියමි


වීනාගේ කතාව අමතක වෙලා නැහැ ඉක්මනින් ලියනවා.. අසනිප තත්වය නිසා හිතට නිර්මානාත්මක අදහස් එනවා අඩුයි වගේ... වීනාගේ කතාව සමඟින් ඉක්මනින් හමු වෙමු :)

7 comments:

  1. මමත් ආසයි වැස්සෙ තෙමෙන්න (තාමත්). ඒත් ඉතිං මේ වයසට වැස්සෙ නටන්න ගියාම විකාර කියලා බැනුම් අහගන්නනෙ වෙන්නෙ.:((

    ඒත් ෆිල්ම් වල ඉන්න කෙල්ලො කොච්චර වැස්සෙ නටනවද? ඒවට කවුරත් මුකුත් කියන්නෙ නැති හැටි අප්පා.

    ReplyDelete
  2. සුදු හංසි, මාත් හෙන ආසයි වැස්සට. මාත් ලිපි දෙකක් විතර ලිව්වා...

    වැස්සත් එක්ක දැනෙන සීතලයි, අඳුරු අළු පාට අහස එක්ක හිතට දැනෙන අමුතු බිය ගතියටයි මං හරි කැමතියි. ඇත්තමයි මට නම් කුඩේ හොයා ගත්ත එකා එක්ක තියෙන්නේ පුදුම කේන්තියක්.

    ඉක්මනට සනීප වෙයි ටීචර්, දැන් ඉතිං වයස නිසා පොඩි එවුන් එක්ක හරි හරියට තෙමෙන්න යන්න එපා.

    ReplyDelete
  3. මමත් වැස්සට ගොඩාක් ආසයි.බෝට්ටු අරින්න වැස්සෙ තෙමෙන්න.මරු නේ.

    ReplyDelete
  4. වැස්සට අපි උනත් ගොඩක් ආසයි.. මේ වැස්සත් එක්ක සොදුරුම මතක අපි කාගෙත් ජීවිත වලට එක් වෙලා තියෙනවා...

    ReplyDelete
  5. වැස්සට කව්ද අප්පා ආස නැත්තේ. වැස්සේ රගර් ගහල නෑ නේ.. මම නම් ගහල තියෙනවා.. මඩ නාගෙන,, මාරු අප්පා... අහන්න.. ලගදීම වැස්සට තේමෙන්න එපා කියන්න,, කුඩේ අල්ලන නොතෙමි එක්කගෙන යන්න කෙනෙක් හම්බුවේවි... එතකල් ඉවසන් ඉන්න .. ඉක්මන් වෙන්න එපා...

    ජය...

    ReplyDelete
  6. වැස්ස අපිව තෙමණවා..අපි තෙමෙනවා..භෞතිකව විතරක් නෙවෙයි ආධ්‍යාත්මිකවත්..ඒ මිහිරියාව සීතලත් එක්ක බැඳුණු සොඳුරු අත්දැකීම වෙන යමකින් දෙන්න පුළුවන්ද..කෘත්‍රීමව සීතල කරන ලද වතුර කරාමයක් යටට ගිහින් ඔළුව ඇල්ලුවම ඒක දැනෙනවද? කවදාවත් නෑ..ඒකයි වැස්ස අපිට එච්චරම ලඟ..

    ලස්සන අදහස් ගොන්නක්..

    ReplyDelete
  7. සිරි මල්ලි මෙ ලඟදි බුකියෙ ස්ටෙට්ටුවක් අප්ඩෙට් කලා '' හිත මිතුරු සුලඟ ___ ___ __ අද නොපැමිණ අන් දිනයක වැසි රැගෙන එන ලෙසින්'' කියලා. මෙ පොස්ටුව කියවද්දි මගෙ මතකයත් දිව ගියෙ එදා උන බොහොම සුන්දර අත්දැකිමකට .. ;)

    ReplyDelete