මම

මන්දාරම් අඳුරට පෙම් බඳිනා පහන් වැටිය විලසේ.... හිරු රැස් දහරට ආල වඩන මං බිනර මලකි පොළවේ....... දිය මත පිහිනා රැලී හැඩ ගන්වන විලත් අහිමි විලසේ........ ‍ කිසිත් නොදැන මට මා අහිමිව ඇත නොලැබ පෙමක පහසේ.........

Aug 11, 2011

වාසනා

ඊයෙ හවස German Shepherd බල්ලෙක් ගැන කතා කරද්දි මට  පරණ කතාවක් මතක් උනා. 2004 සහ 2005 අවුරුදු වල කාලේ සිද්ද වුනු දෙයක්. 

ඒ මම ඒලවෙල් කරපු කාලේ මම ඉස්කෝලේ ගියේ ස්කූල් වෑන් එකේ, උදේ හයයි කාලට ගේ ගාවින් නැංගහම හතයි හතලිස් පහ වෙද්දි බණ්ඩාරවෙල ධර්මපාලෙ ගාවින්  බහින්න පුළුවන්, හවස දෙකහමාරට ඉස්කෝලේ ගාවින් නැගලා හතර වෙද්දි ගෙදර එනවා, ඒත් ඉතින් ඉස්කෝලෙන් පස්සේ ක්ලාස් තියෙන දවසට  බස් එකේ ගෙදර එන්න ගියොත් හවස හතවත් පහු වෙනවා. ඔය ප්‍රශ්නේ නිසා අපේ අප්පච්චි මාව එයාගේ යාළුවෙක්ගේ ගෙදර නතර කලා

ඒ අන්කල්ලාගේ ගෙදර තිවුනේ  සෙන්තෝමස් පාරේ, බස් එකේ යන්නත් පුළුවන් පයින් යන්නත් පුළුවන් දුර, ඉතින් අප්පචිච මාව එක්කරන් ගියේ පයින් යන පාරේ, මට පළවෙනි දවසේම එපා වෙලා හිටියේ, හැබැයි ඒ ගෙදර තිබුන තැනනම් හරිම ලස්සනයි, වටේට ගස් පිරිලා. ගෙට පහලින් පොඩි තේ වත්තක්, අපි යනකොට ඉස්සරහට ලස්සන ගෑනු ළමයි දෙන්නෙක් මුණ ගැහුනා එයාලා අපිට හිනාවෙලා ‍පඩිපෙල දිගේ උඩට නැංගා, 

ඒ හම්බ උනේ ඒ ගොදර අන්කල්ගේ දුවලා දෙන්නා එක්කෙනෙක් වාසනා අනිත් කෙනා සුදූ. අක්කා තමයි සුදූ එයා තුන් වෙනි පාරට ඒ ලෙවල් කරනවා, දෙවැනියා වාසනා මගේ වයස, ඉතින් පයින් යන්න තිබුනත් මට අන්කල්ලාගේ ගෙදර යෑම සතුටක් උනා, මොකද සම වයසේ කෙල්ලෝ දෙන්නෙක් ඉන්නවනේ, අනික ඒ දෙන්නා උනත් අක්කා නංගිට වඩා හොඳම යාළුවෝ දෙන්නෙක් වගේ හිටියේ ඉක්මනින්ම මාත් ඒ යාළු ගැන්සියට එක් වුනා.

සූදූ අක්කට ‍ බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා..  ඒ අයියත් හරිම හොඳ්‍යි, හැබැයි ඒ ආන්ටි පොඩ්ඩක්වත් ඒ යාළු කමට කැමති නැහැ හැම වෙලොවේම සුදු අක්කයි ආන්ටියි රන්ඩු.. කොච්චර එපා කීවත් ඒ දෙන්නා ෆෝන් එකෙන් කතා කරනවා.. ගෙදර හැමෝම ඉන්න වෙලාවට උනත් මහ රෑ මැද කිසිම සද්දයක් පිටට නොඑන්න සුදු අකකට ලෑන්ඩ් ෆෝන් එකෙන් කතා කරන්න පුළුවන්,

ඒ  ගෙදර හිටිය අනිත් සාමාජිකයා තමයි බින්ගෝ කියන්නේ  ඌ German Shepherd බල්ලෙක්, ගෙදර කෙල්ලෝ දෙන්නට වඩා සැප තියෙනවා බින්ගොට, එයාට අනිවාර්‍යයෙන් බිත්තර ඔනි, දවසට බිත්තර 3ක් කනවා, ඒ ඇරෙන්න රෑට ගෙඩියක් පාන් කනවා, 

ඉතින් අපි කෙල්ලෝ තුන් දෙනාට පාඩම් කරන්න වෙනම කාමරයකුයි, නිදා ගන්න වෙනම කාමරයකුයි තිබුනා. කාමර දෙක එක ලඟ, පාඩම් කරන කාමරේ කොම්පියුටරෙයි පොත් මේස තුනයි. මම නම් වැඩි පුරම පාඩම් කලේ බිම ඉඳගෙන.. සමහර වෙලාවට වාසුත් (වාසනාට අපි කිව්වේ වාසු කියලා) එනවා බිමට. එයාගේ පුරුද්දක් තිබුනා වාඩි වෙන්නේ  අර දුටු ගැමුණු කුමාරයා හිටියැයි කියන විදියට අතපට ඔක්කොම එකට ගුලි කරගෙන, ඉතින් බින්ගොත් ඇවිත් අපි ගොඩේ වැටිලා ඉන්නවා.. බින්ගෝ කළුම කළුයි ඒ නිසා මම බින්ගොට බයයි, ඒ උනත් බින්ගෝ මට හීලෑයි බුරන්නේ එහෙම නෑ මම  එද්දි මාව පිලිගන්න එන්නේ උඩ පැනගෙන, මම එහේ  ඉන්නේ වීක් එන්ඩ් එකේ විතරක් උනත් බින්ගොට මාව ගෙදරම කෙනෙක් වගේ හුරුයි,

ඔය බින්ගෝට ටීවී බලන්න ඔනි, ඒ නිසා සාලේ වෙනමම පුටුවක් තියෙනවා බින්ගොට වෙන් කරලා ඒකා කන්නේ අපි තුන්දෙනා කන වෙලාවට, උදේට අපිට ඇහැරවන්න කියලා ආන්ටි එවන්නේත් බින්ගෝව. ඔන්න දවසක් නියම වැඩක් උනා. අපි නිදා ගන්න කාමරේ ඇඳන් දෙකක් එකට දාලා තමයි අපි නිදා ගත්තේ. මම මැද වාසුයි අක්කියි දෙපැත්තේ. ඉතින් මේ කියන දවසේ අක්කි කලින් නැගිටලා. මායි වාසුයි හොඳට නිදි  මම උන්නේ උදේ පාන්දරට එන තද නින්දේ. මට නිකම් දැනෙනවා දැනෙනවා වගේ මගේ නහට ලඟ පොඩි තෙත ගතියක් වගේ.. මුණ අල්ලන්න ඇඟට යට වෙලා තිබුණ අත ගනිද්දි. සිනිඳුවට දැනෙනවා පුළුන් බෝලයක් වගේ.. මගේ ගෙදර ඇඳේ පිරෙන්න ඉන්නේ ටෙඩියෝ මම ඒකෙක් කියලා හිතලා හොඳට තුරුලු කර ගත්තා. ඒතකොට දැනෙනවා රස්නයක්.. මම උඩ විසි වෙලා ඇස් අරලා බලද්දි බින්ගෝ... ඊඊඊඊඊඊයායායායායා


බය වෙච්චි පාරට මම හූ කියාගෙන නැගිට්ටා.. අක්කී ඉනට අත් දෙක තියාගෙන හිනා වෙවි බලන් ඉන්නවා. සද්දෙට වාසුත් ඇහැරිලා.. ආන්ටි හැන්දත් අරන් ඇවිත් බලා ඉන්නවා.. විලි ලැජ්ජාවයි මුකුත් උනේ නෑ වගේ මම බාර්ත් රෑම් එකට රිංගුවා. එදායින් පස්සේ නම්  උදේට බින්ගෝ එන්න කලින් මම නැගැටිනවා.

වාසුලෑ ආත්තම්මලා ගෙදර තිබුනේ ටිකක් දුරින් අපි තුන්දෙනා ඉඳලා හිටලා දවසක  හවසට යනවා ඒ පැත්තේ. එහේ තිබුනා නා ගස් දෙකක් මම ගියොත් කරන්නේ ගහ වටේ කැරකි කරකි නා මල් බලන එක.. සමහර දවසට නා මල් අරන් ඒ ලඟ තියෙන පන්සලටත් ගොඩ වෙනවා.

ආත්තම්ලෑ දිහා යන්නේ නැති දාට අපි යන්නේ කඩවෝරු කන්න. ඒ පැත්තේ තිබුනා හවසට උළුඳු වඩේ බදින කඩයක් උණු උණුවේ වඩේ ගෙනත් පාඩම් කරන කාමරේ කියන් කන එක අපි තුන් දෙනාට  හරිම ජොලි වැඩක්.. 

අක්කි කලේ කොමස්, මම බයෝ, වාසු ආර්ට්ස්. ඒ නිසා අපි පාඩම් කලේ වෙන වෙනම.. හැබැයි ඉතින් කියවිල්ලනම් අඩුවක් නෑ සමහර වෙලාවට ආන්ටි කියනවා වෙන වෙන ඒවා කරලත් සෑහෙන්ඩ සාකඡ්චා කරන්නේ තුන් දෙනාම කැම්පස් යයි වගේ කියලා.. ඒක නම් සාටර් කින්ඩියක්...

ආයිත් අපි කරන සුන්දරම වැඩේ හොඳට අව්ව තියෙන දවසට වත්ත පහල තියෙන පිහිල්ලට නාන්න යන එක.. ඒ වගේ සුන්දර දිය පාරක් මම මගේ ජීවිතේට ආයි වෙන කොහේවත් දැකලා නැහැ. 


මොන තරම් සුන්දර කාලයක් උනත් මට එහේ වැඩි කාලයක් ඉන්න ලැබුනේ නැහැ   අම්මා අසනීප වුනු නිසාත් මට නුවර එන්න වුන නිසාත් එහෙන් ආවා. ඊට පස්සේ අපි මුණ ගැහුනේ අප්පච්චිලාගේ වෙල් ෆෙයාර් ට්‍රිප් එකකදි. එතකොට මම දෙවනි පාර ඒ ලෙවල් කරනවා. අක්කයි මමයි වාසුයි, අප්පච්චිගේ අනිත් යාළුවාගේ පුතාලා දෙන්නයි, අපේ මල්ලියි අපි සෙට් එක ඒ ට්‍රිප් එකේ පුදුම විදියට සන්තෝස උනා දවස් හතරක්..  ඒත් එක වෙලාවක මගේ මල්ලි මාව අතෑරලා වාසුගේ අතින් අල්ලන් ගියා කියලා මට දුක හිතිලා ඇඬුනා. ඊට පස්සේ වාසුයි මල්ලියි දෙන්නා මාව හිනස්සවලා ඒ දෙන්නා ගානේ ම‍ටෙ අයිස් කෝපි අරන් දිලා.. මාව නලවා ගත්තා.


ඊට පස්සේ තමා මගේ ජීවිතේ මහා භයානක පෙරලිය.. මම ඒ ලෙවල් නතර කරලා ජොබ් එකට ගිහින් වැඩ කරන්න පටන් ගත්තට පස්සේ මට පරණ යාළුවෝ හැමෝම අමතක උනා. ජිවීතේ වැඩි හරියක් ගෙවුනේ කම්පියුටර් එක එක්ක නිසා.

ඔය අතරේ දවසක් අම්මා කෝල් කරලා කිව්වා අන්කල්ලාගේ එක දුවක් වහ බීලලු අක්කද වාසුද දන්නේ නැහැ එහේ යන්න  ගිහින් බලන්න හෙට නිවාඩු වක් දාලා එන්න කියලා. 

හරියටම 2009  මාර්තු  9 වැනිදා.. පහුවදා පෝය දවසක් උනත් අපේ ඔපිස් එකේ ක්‍රිකට් මැච් එකක් ඊටත් වඩා උපන්දින පාටියක්.. ඒ සේරම දාලා මම ගියා දියතලාව ඉස්පිරිතාලේට.. වහ බීලා තියෙන්නේ වාසු.. අක්කා බැඳලා බබාට තාම මාසයයිලු... ඇයි වහ බිව්වේ කියලා අහද්දියි දන්නේ වාසුත් මැරි කරන්න කෙනෙක් එක්ක එන්ගේජ් වෙලා හිටිය බවක්, ඒක අන්කල් නොදැන ආන්ටි විතරක් දැනගෙන සිද්ද වුන දෙයක්ලු.

කොහොම හරි ඒ කොල්ලා‍ නිතර වාසු එක්ක රණ්ඩු කරාලු. අන්තිමට ඔය සිද්දිය සිදද් වුන දවසෙත් ඒ දෙන්නා රණ්ඩු වෙලා. හේතුව වාසුට ඒ කොල්ලගේ තවත් ප්‍රේම සම්බන්ධයක් ආරංචි වුනු එක..

අන්කල් වගේම ආන්ටිත් හිටියේ ගොඩක් මානසිකව වැටිලා.. වාසු හිටියේ දැඩිසත්කාර ඒකකයේ.. ජීවිතේ බේර ගන්න පුළුවන් වෙයි කියලා ලොකු බලා පොරොත්තුවක් හැමෝටම තිබුනා.. එදා ඒද්දි මම ආන්ටිට කීවේ ළබන සතියේ ආයිම මම එනවා මට දෙන්න වාසුව මම නුවරඑළියේ ගෙනිහින් මගේ ගාව තියන් බලා ගන්නම් කියලා.. මම එහෙම කියද්දි ආන්ටි මාව තුරුල් කරන් හයියෙන් ඇඩුවා..

ඊළඟ සතියේත් මම ගියා ඒත්.. මම දොර ලඟින් යද්දිම ආඬාගෙන ආපු ආන්ටි කීවේ "සුදු පුතේ ඔයාට වාසුව එක්කරන් යන්න වෙන්නේ  මෙහෙම" කියලා වාසු නිදාගෙන උන්න පෙට්ටිය පෙන්නලා.. ඒ මගේ ජීවිතේ පළමු අහිමි වීම... මළ ගෙදර හිටිය හැමෝම මගෙන්  ඇහුවේ පුතේ ඔයා එක්කවත් වාසු කිසි දෙයක් කිව්වේ නැද්ද කියලා.. ඒත් මට කියාගන්න බැරි උනා.. මම මගේ හොඳම යාළුවාව ටික කාලෙකට අමතක කරාගෙන් මට එයාව බේර ගන්න බැරි උනා කියලා.



11 comments:

  1. අහිමි වීම එක් එක් අය දරා ගන්නේ එක් එක් ආකාරයට. ඒත් තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවන්න තරම් වරදක්ද ආදරය කිරීම. අනේ මට නම් තේරෙන්නේ නෑ. මම කිසාදා අනුමත කරන්නේ නෑ අහිමිවීම නිසා තමන්ගේ ජීවිතයෙන් වන්දි ගෙවීම සාධාරණයි කියා නම්. සුද්දියේ කලින් පොස්ට් එකෙන් මට දුන්නු අවවාදය වගේම අදත් මේ පොස්ට් එකෙන් අවවාදයකුත් දුන්නනම් කොතරම් අගේද?
    එහෙත් දාල ගිය එකනම් මම කිසිදා අනුමත කරන්නේ නෑ...:(

    ReplyDelete
  2. ගොඩක් දුක හිතෙන කතාවක් නේ සුදු හංසි අක්කේ !!!!
    ජීවිතේ හැටි තමයි

    ReplyDelete
  3. ඕක තමයි කියන්නේ යාලුවෝ අමතක කරන්න හොඳ නෑ කියලා...

    ReplyDelete
  4. හ්ම්.... දුක හිතෙන කතාවක්... කවදාවත් තමාගෙ හොදම යාලුවන්ව අමතක කරන්න එපා. :(

    ReplyDelete
  5. යාළුවෙකුගෙන් වෙන් වීම කොපමණ දුකක්ද කියල මත් අත් දැකීමෙන් ම දන්නවා......

    ReplyDelete
  6. අම් ‍මෝ මටත් ‍දෙයක් මතක් උනා...... දවස් කීපයක්ම යාළුකමට විශ්වා‍සෙට කියලා කාටවත් ‍නොකිය මට ‍කෙ‍නෙක් ඔ‍හොම කියලා මං පිච්චුන තරමක්. එයාට නම් වාසනාව තිබුනා. අම් ‍මෝ...... එ‍හෙම ‍දෙයක් උනා නම් මං ජීවිත කා‍ලෙම විඳවයි. ‍කො‍හොම අමතක කරන්නද....... මට ‍මොනවමහරි කරන්න තිබුන මාර්ගත් අහුරලා දැම්මම ඔය තීර‍ණේ කියලා.

    අනික මට හිතුනා අවසානයට එද්දි ඔ‍හොම ‍වෙයි කියලා. ‍මොකද සුවිසයිඩ් කරන්න ගියපු අය දකින දකින පාරට ‍රෝහ‍ලේ අය‍ගේ ‍ලේ ‍කෝප ‍වෙනවා ම‍ගේ හි‍තේ. ඒ ‍ගොල්‍ ‍ලෝ ‍ගොඩක් ‍වෙලාවට නරකට බනිනවා.

    ම‍ගේ යාළු‍වෙක්‍ ‍‍ගේ ‍බෝඩි‍මේ හිටි ළම‍යෙක් වස බීලා අමාරු ‍වෙලා ‍හොස්පිට්ල් ‍ගෙන්ච්චම කරන්න ‍දෙයක් නෑ විහින් කර ගත්තනම් විඳවන්න කියලා තිබිලා. කරන්න ‍දෙයක් නැතුව ඇති ඒත් හුස්ම ඇද ඇද අමාරු‍වෙන් මාව ‍බේරගන්න කියලා මුමුණන මනුස්ස‍යෙකුට කවුද ඔ‍හොම කියන් ‍නේ????? එයා මැරුණා. එයා‍ගේ මස්සිනා එයා රූම් එ‍කේ ඉද්දි වීඩි‍යෝ කරලා තිබුනා අවසන් ‍මො‍හොත ‍වෙනකම් කැමරා එකකින්. ඒක බලන්න නම් ඉතින් හිත ගලක් ‍වෙන්ට ඕනි.

    කාටවත් හි‍තෙන්න එපා තමන්ට ලැබුනු ජීවි‍තේ නැති කරගන්න.....!!!!! කවදාවත්ම කාටවත්ම එපා.......!!!!!

    ReplyDelete
  7. මම අක්කගේ බ්ලොග් එක ගොඩක් කල් ඉඳලාකියවනවනේ... අක්කා එහෙම ජීවිතේ නැතිකරගන්න හදලා නෑනේ කවදාවත්? ;)
    ජීවිතේ නැතිකරගන්නේ මොකටද ඔය ලව් කේස් නිසා? මට නම් ඒවා ඇහෙනකොටත් එයාලා ගැන හිතෙන්නේ පිස්සෝ! කියලා

    ReplyDelete
  8. කතාවක් විතරමද නෑත්නම් ඈත්ත සිදුවීමක්ද? මටත් සමීප පරිසරයක්...

    ReplyDelete
  9. ලස්සන අතීතයක් ගැන කියලා පටන් ගත්ත නිසා මමත් ආසාවෙන් කියවගෙන ගියා. අවසානය මෙහෙම වෙයි කියලා හිතුනේ නෑ. ජීවිතේ කොයි තරම් දෙවල් අපිට මග ඇරිලද වැඩ නිසා... අනේ ආයෙමත් අතීත‍යත ගිහින් ඒ දේවල් හරි ගස්සන්න පුළුවන්නම්...

    ReplyDelete
  10. කලකිනි බුදු කෙනෙකුන් උපදි න්   නේ
    දුකකිනි මිනිසත් බව ලැබග න්      නේ
    මෙදෙකිනි මෙසසර දුක් දුරල න්     නේ
    සුදනෙනි කිම වීරිය නොකර න්      නේ
                                     -ලෝවැඩසඟරාව-

    ReplyDelete
  11. අඩෙ මෙච්චර ලොකු ටොක්ස් දෙන මගෙත් ඇස් පියන් තෙත් කලා හංසි අක්කෙ ඔයා.
    මෙ විදියට ලිය වෙන්න තිබුණ දෙයක් නෙවෙ කියලා හිතෙනවා මට. අහන්න එප අයි කියලා . :(

    ReplyDelete